ශ්‍රී ලංකා - වියට්නාම් සබඳතා දැඩි කිරීමට අගමැතිවරු ප්‍රතිඥා දෙති

 ඡායාරූපය:

ශ්‍රී ලංකා - වියට්නාම් සබඳතා දැඩි කිරීමට අගමැතිවරු ප්‍රතිඥා දෙති

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ වියට්නාම් අග්‍රාමාත්‍ය ගුයෙන් ෂුඑන් ෆුක් (Nguyen Xuan Phuc) මහතා අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී දෙරට අතර ආර්ථික වශයෙන් පමණක් නොව දේශපාලන, ආගමික, සමාජයීය හා ව්‍යාපාරික අංශයන් අතරද හුවමාරු වැඩසටහන් ආරම්භ කරලීමේ වැදගත්කම පිළිබඳව වියට්නාම් අගමැතිවරයා ඊයේ (11) වියට්නාම අග්‍රාමාත්‍ය කාර්යාලයේදී රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවසීය.

ලබන වසරේ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උත්සවය වියට්නාමයේ හැනොයි නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන හෙයින් ඒ සඳහා ශ්‍රී ලංකාවේ සහාය ලබාදෙන ලෙසද එහිදී වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කෙරිණි.

දෙරට අතර බෞද්ධ නියෝජිත පිරිස් හුවමාරු කර ගැනීමේ වැදගත්කම අවධාරණය කළ වික්‍රමසිංහ මහතා, ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර පැවති ඓතිහාසික සබඳතා පිළිබඳ සොයා බැලීම සඳහා ප්‍රාමාණික විද්වතුන්ගෙන් යුතු ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමේ යෝග්‍යතාව සම්බන්ධයෙන්ද දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර ඉතා ඉක්මණින්ම මේ කමිටුව පිහිටුවිය යුතු බව වියට්නාම් අග්‍රාමාත්‍යරයාගේද අදහස විය.

වියට්නාම් ජාතිකයන් විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ අපේක්‍ෂාවෙන් පසුවන බැවින්, දෙරට අතර ඍජු ගුවන්සේවා ආරම්භ කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ෂුන් ෆුක් මහතා කරුණු පැහැදිලි කළ අතර, ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට ශ්‍රී ලංකාව සූදානම් බව වික්‍රමසිංහ මහතා පැවසීය. සංචාරක කර්මාන්තයේ උන්නතිය සඳහා දෙරට අතර වීසා රෙගුලාසි තවදුරටත් ලිහිල් කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡාවට භාජනය වී ඇත.

එළැඹෙන නොවැම්බර් මස ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික නියෝජිත පිරිසකගේ වියට්නාම් සංචාරයක් සංවිධානය කිරීමටද, ඉන් පසු ව්‍යාපාරික ක්ෂේත්‍ර‍යේ නිරන්තර හුවමාරු වැඩසටහන් සංවිධානය කිරීමටද මෙහිදී තීරණය කෙරිණි. ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ධීවර කර්මාන්තය පිළිබඳ අවබෝධතා ගිවිසුමක් සකස් කිරීමට එකඟ වූ දෙරටේ අග්‍රාමාත්‍යවරුන්, ආර්ථික සම්බන්ධීකරණ කාර්යන් වෙනුවෙන් ස්ථාපිත කර ඇති ඒකාබද්ධ කමිටුවේ කාර්යන් කඩිනම් කිරීමේ හා පුළුල් කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කෙරිණි.

කලාපීය, සමාජයීය, ආර්ථික හා දේශපාලන ප්‍රවණතාවන් සම්බන්ධයෙන්ද මේ සාකච්ඡාවේ දී අදහස් හුවමාරු කර ගැනිණි. ඉන්දීය සාගරයේ නිදහස් නාවුක ගමනාගමනය හා සාමය ආරක්‍ෂා කරලීම වෙනුවෙන් කැප වී කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරු දෙදෙනා එහිදී සහතික වූහ.

මාතෘකා