අධ්‍යාපන විෂය මාලාවට ජීවිතය සමත්වීමත් ඇතුළත් විය යුතුයි : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

 ඡායාරූපය:

අධ්‍යාපන විෂය මාලාවට ජීවිතය සමත්වීමත් ඇතුළත් විය යුතුයි : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

අධ්‍යාපනය සඳහා පසුගිය රජයන්ට වඩා වැඩි මුදලක් මෙම ආණ්ඩුව වෙන් කර තිබෙන බවත් වෘත්තිය පුහුණු අමාත්‍යාංශයට අයත් සියලු අධ්‍යාපන ආයතන, වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන සඳහා දරුවන් මාස් පතා ගෙවිය යුතු මුදල් වත්මන් ආණ්ඩුව මඟින් 2016 අවුරුද්දේ සිට මාසිකව ගෙවිය යුතු වියදමෙන්, නිදහස් කෙරූ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා (10) හම්බන්තොට කොටවාය මහා විද්‍යාලයේ නව තාක්ෂණ විද්‍යාගාරය සහිත දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට එක්වෙමින් පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද ප්‍රකාශ කළේය.

“අපි ජීවත් වෙන්නේ තරගකාරී සමාජයක. මිනිසුන් ආර්ථික, දේශපාලන, තාක්ෂණ ආදි විවිධ ක්ෂේත්‍රවල විවිධ අංශවලින් තරඟයක යෙදී සිටිනවා. ඒ තරඟය අධ්‍යාපනය ඉතාමත් වැදගත් වන්නේ රටක අනාගතය සඳහා දීර්ඝකාලීන වශයෙන් කරන්නා වූ වැදගත්ම ආයෝජනය වන්නේ අධ්‍යාපනය.

රටක් දියුණු වෙන්න ජනතාව උගතුන් වෙන්නට ඕනෑ. නැති බැරිකම්, අගහිඟකම්, ලොකු පුංචිකම්, උස්මිටිකම් අධ්‍යාපනය සහ දැනුම සමඟ වෙනස් වෙනවා. ඒ නිසා මිනිස්සු හදන්න නම් දැනුම දෙන්න ඕනෑ. රටක් හදන්න නම් දැනුම දෙන්න ඕනෑ. දැනුමින් සපිරි ජාතියක් ලෝකයේ මහා ශක්තිමත් ජාතියක් විදියට ගොඩනැගෙනවා.

“ගත වූ දශක කීපය තුළ සෑම ආණ්ඩුවක්ම විවිධ වූ වෙනස්කම්වලට අධ්‍යාපනය භාජනය කරලා තිබෙනවා. චන්දිමා රාසපුත්‍ර ඇමතිතුමා මගෙන් ඉල්ලීමක් කළා අධ්‍යාපනයට අපි පසුගිය රජයන්ට වඩා වැඩි මුදලක් වෙන් කරලා තිබෙන බව. අධ්‍යාපනයට වෙන් කරළා තිබෙන මුදල් කොතෙක්ද කියන එක ගණන් බලන්න ඕනෑ. අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන ඇමතිතුමාගේ අධ්‍යාපන අමාත්‍යංශයටයි පළාත් සභාවල අධ්‍යාපන අමාත්‍යංශවලටයි වෙන් කරලා තිබෙන මුදල් පමණක් නොවෙයි. අපි උසස් අධ්‍යාපනයට, විශ්වවිද්‍යාල අධ්‍යාපනයට වෙන් කරලා තිබෙන මුදල් පසුගිය දශක කීපයටම වඩා වැඩියි.

“මීට පෙර කිසිම ආණ්ඩුවක් නොකළ කාර්යයක් අපේ ආණ්ඩුව කළා. වෘත්තිය පුහුණු අමාත්‍යාංශයට අයත් සියලු අධ්‍යාපන ආයතන හෝ වෘත්තිය පුහුණු මධ්‍යස්ථානවලට යන දරුවෝ මාස් පතා සල්ලි ගෙවන්න ඕනෑ. නමුත් අපි 2016 අවුරුද්දේ සිට ලංකාවේ වෘත්තිය පුහුණු අධ්‍යාපනය ලබන දරුවන් මාසිකව ගෙවන වියදමෙන් නිදහස් කෙරුවා. රුපියල් කෝටි 700ක් වියදම් කරලා නෙදර්ලන්ත ආධාර යටතේ හදන වෘත්තිය පුහුණු අධ්‍යාපන ආයතනයකට දැන් දවස් දෙකකට කලින් පොළොන්නරුවේදි මම මුල්ගල් තිබ්බා.

“විවිධ ආර්ථික රටාවන් සහ ආර්ථික ක්‍රමවේදයන් සහ තාක්ෂණික දැනුමත් සමඟ ඉදිරියට යාමේදී හරිත ආර්ථිකය, නවෝත්පාදන ආර්ථිකය, නීල ආර්ථිකය වැනි ආර්ථික විද්‍යාවේ විවිධ ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව අපි කතා කරනවා. ලෝකයේ අනිත් ජාතීන් සමඟ දෙවන නොවන මහා ප්‍රබුද්ධ ජාතියක් විදියට ගොඩනැගෙන්න අපි ඒ ආයෝජනය පුළුල් කරලා තිබෙනවා. ප්‍රශ්නය තිබෙන්නේ මෙතන නෙවෙයි. ප්‍රශ්නය තිබෙන්නේ වෙන තැනක. විභාග ප‍්‍රතිඵලවලින් අපේ රට ඉතාමත් ඉහළ තැනක සිටිනවා.

 ඉතාමත් දක්ෂ උගතුන් බිහි වෙනවා. දශක හතකට වැඩි කාලය තුළ නිදහස් අධ්‍යාපනය නිසා ලබා ඇති ප්‍රතිඵල ඉතාමත් විශිෂ්ටයි. විභාග සමත් වෙන්න දන්න හැම කෙනෙක්ම ජීවිත සමත් වෙනවා නම් ලෝකයේ විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පෙන්වන දර්ශක අතරේ ජාත්‍යන්තරයේ අපි මීට වඩා හොඳ තැනක ඉන්න ඕනෑ. අපි කොතනද ඉන්නේ.

අපේ රට ලෝකයේ නිදහස් සෞඛ්‍ය සේවාව තිබෙන රටක්. විභාග සමත් වුණු ගණනට තමන්ගේ සෞඛ්‍ය ගැන මිනිස්සු හිතලා තිබෙනවා නම් ජාත්‍යන්තර සෞඛ්‍ය දර්ශක තුළ අපි ඉන්න ඕනෑ මීට වඩා බොහෝ ඉහළ ස්ථානයක. ලංකාවේ දියවැඩියා රෝගීන් කොච්චරද? ප්‍රතිශතයක් විදියට සියයට 20‍කට වඩා වැඩියි. යුද්ධය තිබුණු රටක් විදියට ලංකාවේ ආබාධිතයින්ගේ සංඛ්‍යාව වැඩි වෙලා තිබෙනවා.

ආබාධිතයන්ගේ සංඛ්‍යාව සියයට 18‍ක් පමණ වෙනවා. කණ්ණාඩි දාන සේරම මමත් එක්ක ආබාධිතයි. ලංකාවේ විභාග සමත් වෙන ගණනට සංවර්ධනයේ ප්‍රතිඵල පෙන්වලා තිබෙනවද විභාග සමත්වීමත් එක්ක. ඒ අපේ තිබෙන ආකල්පවල ප්‍රශ්නයක්.

“කොටවාය මහා විද්‍යාලයෙන් විශ්වවිද්‍යාලයට යන දරුවෝ කොච්චර සුන්දර බලාපොරොත්තු ඇතිවද එතනට යන්නේ. මම ඒ දරුවන්ට ආශිර්වාද කරනවා. මේ දුප්පත් දරුවෝ මම හැදුණා වගේම තමයි. මේ දරුවන්ගේ දෙමව්පියෝ තමන්ගේ දරුවා විශ්වවිද්‍යාලයට තේරුණා කිව්වහම මොනතරම් සතුටක් ලබනවද? මගේ පුතා දොස්තර කෙනෙක්.

මගේ පුතා ඉංජිනේරුවරයෙක්. මගේ පුතා නීතිඥයෙක්. මගේ පුතා උගතෙක්. මගේ පුතා රට පාලනය කරන පරිපාලකයෙක්. මගේ පුතා හොඳ ගුණවත් දේශපාලනඥයෙක්. ඒවා තමයි දෙමව්පියන්ට තිබෙන සිහින. හැබැයි ඒ සිහින සුන් කරන ම්ලේච්ඡත්වය රජකම් කරන විශ්වවිද්‍යාලවල අද දරුවන්ට කරන නින්දිත හිරිහැරවලට විරුද්ධව දෙමව්පියෝ අවදි වෙන්න ඕනෑ.

මේවාට ගුරුවරු අවදි වෙන්න ඕනෑ. මේ රටේ උගතුන් කියන හැම කෙනෙක්ම මේවාට පෙරමුණ ගන්න ඕනෑ. දරුවන්ගේ අත පය කඩනවා නම්, දරුවෝ මරනවා නම්, විශ්වවිද්‍යාලයට ගියාම වධහිංසා ඉවසගන්න බැරිව දරුවෝ සියදිවි නසාගන්නවා නම්, විශ්වවිද්‍යාලයට ගියාම දරුවන්ට ලිංගික හිරිහැර කරනවා නම් පාස් වෙන විභාගවල ප්‍රතිඵලය කුමක්ද කියලයි අපිට අහන්න සිද්ධ වෙලා තිබෙන්නේ. අපි කතා කරන උගත්කම් එක්ක අපේ සමාජ ආකල්ප, අපේ සිතුම් පැතුම්, හැදියාවන් කොතෙක් දුරට වෙනස් වෙලාද කියන කාරණය අපේ හදවත්වලින් අපිට අහන්න වෙලා තිබෙනවා.

“විශ්වවිද්‍යාලයට ගිහිල්ලා නවකවදය ඉවසන්න බැරිව සිය දිවි නසා ගත්ත තරුණ දියණියගේ මරණය පිළිබඳව 2015දී නිවැරදි පරීක්ෂණයක් සිදු කරලා නැති නිසා ඒ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පවා උසාවියට ගෙන්වනවයි කියලා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ගිය සතියේ කිව්වා. ඒ කතාවේ පිටුපස තිබෙන්නේ කුමක්ද? වද දීලා තට්ටු හතරක් උඩට ඒ දරුවාව ගෙනිහිල්ලා කිව්වා මේකෙන් බිමට පැනපන් කියලා. ඒ දරුවා බිමට පැන්නේ නැහැ. අවසානයේ ඒ දරුවා වෙනත් විදියකට සියදිවි නසා ගත්තා. මේක තමයි උගතුන් බිහි වෙන නිදහස් අධ්‍යාපනයෙන් උදම් අනන රටකට සිද්ධ වෙලා තිබෙන ඛේදවාචකය.

“මේ රටේ දුප්පත්කම ඇයි? මේ රටේ අගහිඟකම් ඇයි? මේ රටේ දුප්පත් ජනතාව තමයි වැඩිපුර මත්ද්‍රව්‍යවලට වියදම් කරන්නේ. මේ රටේ වැඩිපුර අරක්කු බොන්නේ, වැඩිපුරම සිගරට් බොන්නේ, වැඩිපුරම කසිප්පු බොන්නේ, වැඩිපුරම ගංජා උරන්නේ දුප්පත් ජනතාව. ලංකාවේ දුප්පත්කම වර්ධනය වෙන්න ප්‍රධාන හේතුව මත්ද්‍රව්‍ය. ඔබ සංඛ්‍යා ලේඛන දැකලා ඇති. ගමක සිගරට් අරක්කුවලට මාසයකට කොච්චර වියදම් කරනවද? ඒක කොළඹ නගරයේ ඉඳලා මේ රටේ ඈත ගම් දනව් සිසාරා යනවා.

හැම තැනම හැම ගම්මානයකම තත්ත්වය ඒකයි. යුද්ධයෙන් නිදහස් වුණු උතුරේ තත්ත්වය අද කුමක්ද? උතුරේ පවුල්වලින් විශාල පිරිසක් කැනඩාව, ඕස්ට්‍රේලියාව, නෝර්වේ, ස්වීඩන්, පැරිස් වැනි රටවල්වල රැකියාවන් කරනවා. ඔවුන් අද විශාල පෝසත්තු වෙලා තිබෙනවා. ඒ අය තමන්ගේ දරුවන්ට, නෑදෑයින්ට සල්ලි එවනවා. නමුත් ඔවුන් ඒ මුදල් ආයෝජනය කරන්න දන්නේ නැහැ. දෛනික ජීවිතයේ තමන්ට නොගැළපෙන දේවල් රාශියක් ඔවුන් කරනවා. ඇතැම් අය මත්ද්‍රව්‍යවලට වියදම් කරනවා.

“නව ආර්ථික රටාවට මුහුණ දෙන්න නම් අපි වෘත්තිය අධ්‍යාපනය දියුණු කරන්න ඕනෑ. ඒවගේම ප්‍රාථමික අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වාම විෂය නිර්දේශවලට ජීවිතය සමත් වෙන සැටිත් ඇතුළත් කරන්න ඕනෑ. අපි රටක් විදියට ඉදිරියට යන්න තව බොහෝ කැපකිරීම් කළ යුතු වෙනවා.

අපේ ජීවිතවල හැදියාවන්වල වෙනස්කම් කරගන්න සිදු වෙනවා. තමන් හැදෙන්න බොහෝ දේවල් ගත යුත්තේ තමාගේ ආත්ම ශක්තිය, ආත්ම ධෛර්ය තුළිනුයි. රටක් විදියට දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ උසස් විභාග ප්‍රතිඵල ගැන අපි ඉතාමත් සතුටු වෙනවා. අපි තව තවත් ප්‍රාර්ථනා කරනවා. ආශිර්වාද කරනවා.

චන්දිම රාසපුත්‍ර ඇමතිතුමා අවුරුදු අටහමාරක් දකුණු පළාතේ අධ්‍යාපන ඇමතිතුමා. පළාත් අධ්‍යාපන ඇමතිවරයෙක් විදියට එතුමා හොඳ ප්‍රතිඵල පෙන්වලා තිබෙනවා. අද ලංකාවේ ඉහළම ප්‍රතිඵල තිබෙන පළාත විදියට හොඳම දිස්ත්‍රික්කය විදියට හම්බන්තොට දිස්ත්‍රික්කය ගෙන එන්න එතුමාලා කරලා තිබෙන කැපවීමේ ප්‍රතිඵල තිබෙනවා. ඒකේ ගෞරවය එතුමාට විතරක් නෙවෙයි. ඒකේ ගෞරවය විශේෂයෙන්ම විදුහල්පතිතුමාලා, ගුරු මෑණිවරුන්ට පියවරුන්ටත් හිමි විය යුතුයි”

මාතෘකා