ජය පරාජය ගැන බිය නොවී අවදානම භාර ගන්න : - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

 ඡායාරූපය:

ජය පරාජය ගැන බිය නොවී අවදානම භාර ගන්න : - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

“අධ්‍යාපනය දැනුම වගේම ආත්මශක්තිය, ආත්ම ධෛර්යය, අධිෂ්ඨානය තමන්ට තියෙන්නට ඕනෑ. ජය පරාජය ගැන බය වෙන්නේ නැතිව අවදානම භාර ගන්න ඕනෑ ජීවිතය ගොඩනගා ගන්න. පොළොන්නරුවේ දරුවන්ට වගේම මුළු රටේම දරුවන්ට මට දෙන්න තිබෙන පණිවුඩය ඒකයි” යනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා (07) හිඟුරක්ගොඩ වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් පැවැසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.

“නෙදර්ලන්ත තානාපතිතුමිය සමඟ ප්‍රාදේශීය වශයෙන් සහ ජාතික වශයෙන් වැදගත් යුගයට අවශ්‍ය අධ්‍යාපනික මධ්‍යස්ථානයක ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ වැදගත් අවස්ථාවට ඔබ සියලු දෙනා සමඟ එක්වන්නට ලැබීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා.

“මේ ආයතනය නෙදර්ලන්ත රජය අපිට දීමට තීන්දු කළේ මීට වසර දෙකකට පෙර. ඒ තීරණය ශ්‍රී ලංකා රජයට දැනුම්දීමෙන් පසුව, මේ ආයතනය පොළොන්නරුව දිස්ත්‍රික්කයට ලබා දෙන ලෙස මේ අමාත්‍යාංශයෙන් මම ඉල්ලීමක් කළා. ඒ අනුව මේ ආයතනය හිඟුරක්ගොඩ ප්‍රදේශයට ලබාදෙන්න මම තීරණය කළා. පොළොන්නරුව නගරයට මේ වන විට විශේෂිත ආයතන ගණනාවක් ලබාදීලා තිබෙනවා.

චීන රජයෙන් ලැබුණු වකුගඩු රෝහලේ ඉදිකිරීම් කටයුතු වසර දෙකකින් අවසන් වෙනවා. ඉන්දීය රජයෙන් ලැබුණු ත්‍රෛ භාෂා පාසලේ ඉදිකිරීම් කටයුතු කෙරීගෙන යනවා. එහි වැඩත් ලබන වසරේ අවසන් කිරීමට නියමිතයි. රුපියල් කෝටි 700ක් පමණ වටිනා මෙම වෘත්තිය අධ්‍යාපන ආයතනය අපේ රටට ලබාදීම පිළිබඳ නෙදර්ලන්ත තානාපතිතුමියටත් එරට රජයට සහ එහි ජනතාවටත් මගේ විශේෂ ස්තූතිය පිරිනමනවා.

“අද විශ්වවිද්‍යාල තුළ මොනතරම් ශිෂ්‍යයෝ පිරිහිලාද දරුවනේ. උසස් අධ්‍යාපන ඇමැතිතුමා දැන් ගිය මාසේ සංඛ්‍යාලේඛන කිව්වා. පසුගිය අවුරුද්දේ විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබලත් නවකවදය නිසා විශ්වවිද්‍යාලයට ඇතුළත් නොවුණු ශිෂ්‍ය සංඛ්‍යාව 1500කට වැඩියි. පසුගිය අවුරුදු 25ක කාලය ගත්තොත් නවකවදය නිසා විශ්වවිද්‍යාලයට ගිය ළමයි සංඛ්‍යාවගේ මරණ සංඛ්‍යාව 25කට වැඩියි. අතපය කඩපු ගණන සිය දහස් ගණනකට වැඩියි. විශ්වවිද්‍යාලයට ගිය දරුවන්ට ලිංගික හිරිහැරත් සිදු වෙනවා

“විශ්වවිද්‍යාලයට ගිහිල්ලා රට භාරගන්න ඉන්න මේ දරුවන්ගේ අනාගතය විනාශ කරන්නේ කවුද? අපේ රටේ අනාගතය මේ විදියට විනාශ කරන්නේ දේශපාලන කණ්ඩායම්. උසස් අධ්‍යාපන ඇමැතිතුමා ඇතුළු අපේ රජය මේවා ගැන අවශ්‍ය තීන්දු තීරණවලට එළැඹෙමින් සිටිනවා. මේ විදියට විශ්වවිද්‍යාලයේ දරුවෝ විනාශ කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. රටේ නීතියක් තිබෙනවා. නවකවදය සම්බන්ධයෙන් දැඩි දඬුවම් දෙන නීතිය අභාවප්‍රාප්ත රිචඩ් පතිරණ ඇමැතිතුමා පාර්ලිමේන්තුවට ගෙනවිත් සම්මත කෙරුවා.

මෙතෙක් කල් ඒ නීතිය ක්‍රියාත්මක කෙරුවේ නැහැ. පොලීසිය ඒ පනත යටතේ නඩු නොදා හිටියා. නමුත් අපි කිව්වා ඒ පනත යටතේ නඩු දාන්න කියලා. ඇප නැහැ. හිරේ යනවා. කරන්න දෙයක් නැහැ. ඉතා සුළු පිරිසක් නිසා මේ රටේ අනාගතය භාරගන්න ඉන්න පින්වන්ත දරුවන්ගේ අනාගතය විනාශ කරන්න දෙන්න පුළුවන්කමක් අපිට නැහැ.

“අධ්‍යාපනය දැනුම වගේම ආත්මශක්තිය, ආත්ම ධෛර්යය, අධිෂ්ඨානය තමන්ට තියෙන්නට ඕනෑ. ජය පරාජය ගැන බය වෙන්නේ නැතිව අවදානම භාර ගන්න ඕනෑ ජීවිතය ගොඩනගාගන්න. පොළොන්නරුවේ දරුවන්ට වගේම මුළු රටේම දරුවන්ට මට දෙන්න තිබෙන පණිවුඩය ඒකයි.

මේ ආයතනය ඔබ වෙනුවෙන්. ඇයි අද අපි මේ පාසල් දරුවන්ට මෙතන්ට එන්න කිව්වේ. ඔබෙන් කොටසක් විශ්වවිද්‍යාලයටයි. අනික් කොටසට අපොස සාමාන්‍ය පෙළ, උසස් පෙළ සමත් වුණත් අසමත් වුණත් මෙතනින් ඔබේ අනාගතය ගොඩනගාගන්න පුළුවන්. තාක්ෂණික ලෝකයට ගැළපෙන පාඨාමාලා පුහුණුවීම් ක්ෂේත්‍ර ගණනාවක් මෙහි තිබෙනවා. කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය, මෝටර් කාර්මික, ගුවන් යානා තාක්ෂණය, ඒ වගේ විෂයන් ගණනාවක් තිබෙනවා.

පාඨමාලා 26ක් තිබෙනවා. මේ පාඨාමාල දවසින් දවස වෙනස් වෙනවා. සුදුසු දෙයක් ඔබට තෝරා ගන්න පුළුවන්. ඔබේ දක්ෂතාවයන් එක්ක ඉදිරියට යන්න පුළුවන්. රත්මලානේ ජර්මන් කාර්මික විද්‍යාලයේ පුහුණුව ලබන දරුවෝ සියල්ලම විදේශගත වෙනවා. එහි වෘත්තිය පුහුණුවට ගිහින් සමත් වෙන හැම කෙනාමටම විදේශගත වෙන්න අවස්ථාව තිබෙනවා. ඒ ආයතනය වසර තිහ හතළිහකටත් වඩා පරණයි. ඒ නිසා මේ ආයතනය ඔබට දෙන්නේ ඔබ හිඟුරක්ගොඩ කුඹුරුවලට බස්සන්න නෙවෙයි.

කුඹුරට බහින්න පවුලේ එක කෙනෙක් ඉන්න ඕනෑ. අනික් අය කුඹුරෙන් ගොඩවෙන්න ඕනෑ. මුහුදින් එගොඩට යන්න ඕනෑ. ගිහිල්ලා ඔබ වෙනුවෙන් වගේම ජාතිය වෙනුවෙන් ඔබේ දැනුම, ශ්‍රමය, කැපවීම වගේම ඔබේ කුසලතාවයන් සහ නිර්මාණශීලීභාවයන්, නිපුණතාවයන් ඔබ මුළු මහත් මානව සමාජයටම දායාද කරන්න ඕනෑ. මේ පසුබිම හදන්නේ ඒ සඳහායි. දැන් සති දෙකකට කළින් අපි ව්‍යාපෘති 181ක් දවස් තුනෙන් විවෘත කෙරුවා. ඒ විවෘත කළේ 2015 විතර විවෘත කිරීම් කළ ව්‍යාපෘති 100කට විතර පස්සේ ඉතුරු වුණු 180.

දැන් මම ඊයේ කොළඹදි ගණන් බැලුවා. දැන් ආපහු දිස්ත්‍රික්කයේ විසි ගණනක වැඩ අවසන් වෙලා තිබෙනවා. පොළොන්නරුව නව නගරයේ වැඩ අවසන් වෙලා තිබෙනවා. තාක්ෂණික කෞතුකාගාරයක් ලංකාවේ කොහෙවත් නැහැ. රුපියල් කෝටි 50ක වියදමින් එහි වැඩ අවසන් කරලා තිබෙනවා. කෞතුකාගාරය වගේම තොරතුරු තාක්ෂණයත් එක්ක අයිටී ලැබ් එකක්. දැන් තව මාස දෙකකින් විවෘත කරනවා. අපි අධ්‍යාපනයද, සෞඛ්‍යයද, කෘෂිකර්මයද, අනිත් යටිතල පහසුකම්ද ඒ සියලු දේ රජයක් විදියට සම්පූර්ණ කරගෙන යනවා.

“මම අද උදේ මෙතනට ආවේ පොළොන්නරුවේ ගිනිපෙට්ටි පාලම හදන්න මුල්ගල තියලා. ඉංජිනේරු මහත්වරු අද ඉඳලා එතන වැඩ. මේ දිස්ත්‍රික්කය අපි වේගයෙන් වෙනස් කරලා තිබෙනවා. ඒ වගේම මේ වේගවත් වෙනස රට වශයෙන් වෙනස් කරගෙන යනවා. සංවර්ධනය එක දිස්ත්‍රික්කයකට විතරක් නෙවෙයි. ආණ්ඩුවක් විදියට මුළු රටේම සංවර්ධන කටයුතු සමබරතාවයකින් අපි ඉෂ්ට කරනවා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විශේෂ ව්‍යාපෘති රාශියක් එක දිගට කරගෙන ගිහිල්ලා විවෘත කරලා දරුවන්ට සහ ජනතාවට දායාද කෙරුවේ පසුගිය කාලවලදි මේ දිස්ත්‍රික්කයට අසාධාරණයක් සිද්ධ වුණු නිසයි. සංවර්ධනයේදී සාධාරණය ඉෂ්ට වුණේ නැහැ. පාර හැදුවේ නැහැ.

සල්ලි දුන්නේ නැහැ. පාසල හැදුණේ නැහැ. සල්ලි දුන්නේ නැහැ. රෝහල් හැදුණේ නැහැ. සල්ලි දුන්නේ නැහැ. පානීය ජලය දෙන්න මුදල් ලැබුණේ නැහැ. මම මේ අවුරුදු තුනේ ඒවා 80‍ක් මේ වන විට සම්පූර්ණ කරලා තිබෙනවා. රට වශයෙනුත් මේ වැඩපිළිවෙළ ඒ විදයට ගෙනියනවා. විශේෂයෙන්ම මේ දරු පිරිසට මම කියන්න ඕනෑ. ඔබ අපේක්ෂා සහිතව වැඩ කරන්න. ඔබ අපේක්ෂා භංගත්වයකට පත් වෙන්න එපා”

මාතෘකා