අස්වනු පුරෝකථන තොරතුරු පද්ධතියක් සකස් කළ යුතුයි : අමාත්‍ය මහින්ද අමරවීර

 ඡායාරූපය:

අස්වනු පුරෝකථන තොරතුරු පද්ධතියක් සකස් කළ යුතුයි : අමාත්‍ය මහින්ද අමරවීර

අස්වනු පුරෝකථන තොරතුරු පද්ධතියක් වහාම සකස් කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ. ඊයේ (20) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“අප රටේ වගා කෙරෙන පලතුරු එළවළු මෙන්ම ධාන්‍ය වර්ගවලින් වාර්ෂිකව ලබා ගත හැකි අස්වනු ප්‍රමාණය පිළිබඳව මේ දක්වා නිවැරදිව පුරෝකථනය කිරීමට හැකි තොරතුරු පද්ධතියක් මෙතෙක් ස්ථාපිත කර නැහැ. මේ නිසා විවිධ ප්‍රදේශවල ගොවීන්ගෙන් ඉදිරි දිනවල වෙළෙඳපොළට පැමිණිය හැකි බෝග අස්වනු පිළිබඳව නිවැරදිව තොරතුරු ප්‍රකාශ කිරීමට හැකියාවක් නැහැ.

බොහෝ විට ගොවීන්ට තම අස්වනු අලෙවි කිරීමේදී වගේම පාරිභෝගිකයන් හට ඒවා මිලදී ගැනීමේදී අතරමැදියන්ගෙන් සූරාකෑමට ලක්වීමට සිදුවෙලා තිබෙනවා. මේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා අස්වනු පුරෝකථන තොරතුරු පද්ධතියක් හෙවත් Crop forcast information system (Crop Look) සකස් කරන්නැයි මම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නා.

“දැනට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් බෝග පුරෝකථන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා. නමුත් එහි අඩුපාඩු තිබෙන නිසා නිවැරදි සැලැස්මක් සැකසිය යුතුයි. ගොවීන් විසින් වගාකරන එළවළු, පලතුරු හා ධාන්‍යවල ලබාගත හැකි අස්වනු ප්‍රමාණය හා අස්වනු ලබා ගත හැකි කාලය හඳුනාගැනීම තුළින් ඒ බෝග ආනයනය වළක්වාලීමට පියවර ගන්න පුළුවන්.

එවිට දේශීය ගොවියාට තම නිෂ්පාදන සඳහා ඉහළ මිලක් ලබාදීමට හැකියාව අප සතුව තිබෙනවා. ඉවක් බවක් නැතිව ඇතැම් බෝග වර්ග ආනයනය කිරීමට ඉඩදීම නිසා දේශීය ගොවීන්ට තම අස්වනු අලෙවි කරගැනීමට හැකියාවක් නැහැ.

එය ඔවුන් වගාවෙන් ඉවත්වීම දක්වා වර්තමානයේ වර්ධනය වී තිබෙනවා. වර්තමානයේ අල හා ලූනු ගොවීන්ට සිදුවෙලා තිබෙන්නේ එවැන්නක්. එම නිසා ඉතා ඉක්මනින් අස්වනු පුරෝකථන තොරතුරු පද්ධතියක් සකස් කළ යුතුයි.”

මාතෘකා