විසුරුවීමට එරෙහිව ජවිපෙ අධිකරණය හමුවට යනවා : ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක

 ඡායාරූපය:

විසුරුවීමට එරෙහිව ජවිපෙ අධිකරණය හමුවට යනවා : ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක

09 වැනිදා රාත්‍රියේ සිදුකර ඇත්තේ 19 වැනි සංශෝධනය තුළින් යම් ප්‍රමාණයකට ස්වාධීනකර තිබූ පාර්ලිමේන්තුව ජනාධිපති ධුරය විසින් යළිත් යටත් කර ගැනීමක් බවත් ජනාධිපති ධුරයට 19 වැනි සංශෝධනයෙන් පැවරී නැති බලයක් මේ සඳහා උපයෝගී කොටගෙන තිබෙන බැවින් මෙය මුළුමනින්ම ව්‍යවස්ථාවට පටහැනි බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය. ඔහු මේ බව කියා සිටියේ පසුගියදා (10) පැලවත්ත ජවිපෙ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

"මේ නිසා ප්‍රධාන ප්‍රශ්න දෙකක් පැනනඟිනවා. ව්‍යවස්ථාවට පටහැනිව පාර්ලිමේන්තුව විසුරුවා නව පාර්ලිමේන්තුවක් පත්කර ගැනීම වලංගුද යන්න පළමුවැනි ගැටලුව. බොහෝ නීතිවේදීන් මේ වෙනකොටත් කියා තිබෙන්නේ මේ පාර්ලිමේන්තුව විසුරුවා හැර නැති බවයි, ජනාධිපතිවරයා ඊට අදාළ ප්‍රතිපාදන සම්පූර්ණ කර නැති බවයි. එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විසඳා ගත යුතුයි.

දෙවැනි ගැටලුව ‍වෙන්නේ මේ විසුරුවා හැරීම පිළිගන්නවා නම්, පාර්ලිමේන්තුවට තිබුණු යම් හෝ ස්වාධීන බලය මීට පෙර තිබුණාටත් වඩා වැඩියෙන් දැන් ජනාධිපති බලතලවලට යටකර තිබීම. 19 වැනි සංශෝධනය ගෙන ඒමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයාට බලයක් තිබුණේ පාර්ලිමේන්තුව රැස්වී වසරක් ගත වූවාට පසුවයි. අවුරුදු හතරහමාර කියන කාල පරිච්ඡේදය දක්වා දීර්ඝ කරනු ලැබුවේ වසරකට සීමාකර තිබුණු කාලයයි. එය නියතයක් ලෙස සමාජය පිළිගෙන තිබුණා.

"නිමල් සිරිපාල ද සිල්වා මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණේ අවුරුදු හතර හමාරක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට නොහැකි බවයි. 19වැනි සංශෝධනය ඉදිරිපත් කිරීමේදී ප්‍රමුඛතම අරමුණක් වී තිබුණේ ජනාධිපතිවරයා සතු, වසරකින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය වසර හතරහමාර දක්වා දීර්ඝ කිරීමයි. මේ සංශෝධනයෙන් පසු තහවුරු වූ මතය වූයේ ජනාධිපතිවරයාට මේ ආකාරයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි බවයි.

"ඔහුට හැකියාව තිබෙන බව තාවකාලිකව උපකල්පනය කළොත් ඉන් කියැවෙන්නේ ජනාධිපතිවරයාට ඕනෑම මොහොතක පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බවයි. 19 වැනි සංශෝධනයට පෙර වසරකින් පසු විසුරුවා හැරිය හැකිය යන තත්ත්වය අවලංගු වෙනවා. ජනවාරි 05 වැනිදා ඡන්දයෙන් පසු 06 වැනිදා ආණ්ඩුවක් පිහිටුවා ගත් පසු එදා රාත්‍රියේම ඕනෑ නම් ජනාධිපතිවරයාට විසුරුවා හරින්න පුළුවන්. මේ වගේ බලයක් ජනාධිපතිවරයාට තියෙනවාද කියලා වග විභාගයට ලක්කළ යුතුයි.

එය කළ හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණයි. නැවත අවධාරණය කරන්නේ මේ හිතුවක්කාරී විසුරුවා හැරීමෙන් පසු පත්වන පාර්ලිමේන්තුව වලංගුද නැද්ද යන්නත් එමෙන්ම ජනාධිපතිවරයාට ඕනෑම මොහොතක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් තිබේද යන්නත් වග විභාග කළ යුතුයි. 09 වැනිදා රෑ විසුරුවා හැරියේ 113ක් නැහැ කියලා. ජනවාරි 06 වැනිදත් එහෙම කරන්න පුළුවන්. මේ විගඩමට ඉඩ දෙන්න ඕනෑද? නෑ. නිසි අර්ථකථනයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාගත යුතුයි. ව්‍යවස්ථාවට පටහැනි මේ විසුරුවා හැරීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ අධිකරණය හමුවට යන්න බලාපොරොත්තු වෙනවා."

මාතෘකා