ලංකා ගමනාගමන මණ්ඩලයට නැවතත් දේශපාලනය එපා : ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

 ඡායාරූපය:

ලංකා ගමනාගමන මණ්ඩලයට නැවතත් දේශපාලනය එපා : ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

පසුගිය වසර තුන තුළ මූල්‍ය වර්ධනයක් ඇතිකළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තුළට නැවත දේශපාලනය සම්බන්ධ කරගනිමින් එය වලපල්ලට නොයවන ලෙසට තමා ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලු සේවකයන්ගෙන් ඉල්ලා සිටින බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පසුගියදා (10) බත්තරමුල්ල සෙත්සිරිපාය ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයකට එක්වෙමිනි. එදින වසර 06කට පසුව වැටුප් සංකේතාත්මකව සේවකයන්ට ලබාදීම සිදුකෙරිණ.

“මම සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිනවා කිසිම පොදු දේපළක් දේශපාලන කටයුතුවලට යොදා නොගන්න ලෙසට. ඒ වගේම ලංගම බස් රථද කිසිම අයුරකින් නොමිලේ දේශපාලන කටයුතුවලට ලබා නොදෙන ලෙසට ලංගම සභාපතිවරයාටත්, අමාත්‍යාශ ලේකම්වරයාටත් මම උපදෙස් ලබාදී තිබෙනවා. නමුත් ඕනෑම අයකුට, ඕනෑම පක්ෂයකට බස් රථ ලබාගැනීමට අවශ්‍ය වුවහොත් නියමිත මුදල් ගෙවා ලබාගැනීමට හැකියාව තිබෙන බව මේ අවස්ථාවේ මම පවසනවා. ඒ මඟින් ලංගමයට ආදායම් වැඩි කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.

“වසර 6කට පසුව එනම් 2012 වසරෙන් පසුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන්ට වැටුප් වැඩි කිරීමට හැකිවීම පිළිබඳව මා අමාත්‍යවරයා වශයෙන් සතුටට පත්වෙනවා. මුදල් අමාත්‍යාශය විසින්ද අඩු වැටුප් ලබන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන ලෙසට චක්‍රලේඛන මගින් දන්වනු ලැබුවත් පසුගිය කාල පරිච්ජේදයේ මණ්ඩලය තුළ තිබූ මූල්‍ය දුෂ්කරතාවන් නිසා වැටුප් වැඩි කිරීමට බාධාවක් වී තිබුණා.

නමුත් පසුගිය වසර එකහමාරක් වැනි කාලයක් තුළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තුළ ක්‍රියාත්මක කරන ලද නිසි මූල්‍ය පරිපාලන ක්‍රියාවලිය සහ අවම සේවක සංඛ්‍යාවක් තුළින් වැඩි සේවාවක් සපයා වැඩි ආදායම් ලබා ගැනීම හේතුවෙන් මෙම නව වැටුප් ගෙවීමට හැකියාව ලැබුණා.

ඒ අනුව රියැදුරු, කොන්දොස්තර, කාර්මික, කම්කරු හා ආරක්ෂක යන බිම්ගත ශ්‍රේණිවල සේවයේ නියුතු සේවකයන්ගේ මූලික වැටුප රු. 14,250 සිට රු. 25,550 දක්වා වැඩි වී තිබෙනවා. මෙහි දෙවැනි අදියර යටතේ විධායක ශ්‍රේණිවල නිලධාරීන්ගේ මූලික වැටුපද මේ හා සන්සන්දනාත්මකව වැඩි කිරීමට ඉදිරියේදී කටයුතු කරනවා. ඒ නිසා අද ලංගම සේවකයකු පෞද්ගලික අංශයේ සේවකයන් හා නිලධාරීන් ලබා ගන්නා වැටුපට සමාන වැටුපක් ලබා ගැනීමට අද හැකියාව ලැබී තිබෙනවා.

“ඒ නිසා මේ ලබාගත් මූල්‍ය ජයග්‍රහණය තවදුරටත් පවත්වා ගැනීමට සියලු සේවකයන් එක්ව කටයුතු කරන ලෙස මා මෙම අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. දේශපාලනඥයන් වශයෙන් අපි එනවා, යනවා. නමුත් කුමන දේශපාලනඥයකු මෙම ආයතනය භාරගත්තද මෙම ආයතන විනාශ නොකොට, ගුණාත්මකභාවයෙන් යුතු මහජන සේවාවක් ලබාදීමට කටයුතු කරන ලෙසට මා අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා”.

මාතෘකා