සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්වාධීන විගණනයක් කර වැඩ පටන් ගමු : සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය චමල් රාජපක්‍ෂ

 ඡායාරූපය:

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්වාධීන විගණනයක් කර වැඩ පටන් ගමු : සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය චමල් රාජපක්‍ෂ

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්පූර්ණ ස්වාධීන විගණනයක් සිදුකර ඉන් පසු වැඩ ආරම්භ කරමු යැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා පැවසීය.

අමාත්‍යවරයා එසේ පැවසුවේ පසුගියදා (09) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ භාරගැනීමෙන් පසු පැමිණි සිටි පිරිස අමතමිනි.

එහිදී අමාත්‍යවරයා තවදුරටත් මෙසේ පැවසීය.

ඔබ ඇමතීමට ලැබීම ගැන මම ඉතාමත් සතුටට පත්වෙනවා. මම සාමාන්‍යයෙන් තනතුරු හොයාගෙන යන කෙනෙක් නෙමෙයි. තියෙන තනතුරත් අතහරින කෙනෙක්. කෙසේ වෙතත් මේ අවස්ථාව අනුව ලබාදුන් මෙම තනතුර ප්‍රතික්‍ෂේප කිරීමට මට හැකියාවක් තිබුණේ නැහැ. තමුන්නාන්සේලා වර්ථමාන තත්ත්වය දන්නවා. මේ තත්ත්වය ගැන මම කතා කරන්න යන්නේ නැහැ.

07 වැනිදා කොටුව මහෙස්ත්‍රාත් උසාවියේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්තුමා ඉදිරියේ ඉදිරිපත් කළ කරුණු තමුන්නාන්සේලාට දැනගන්න ලැබුණොත්, මේ රටේ ඇති වෙන්න ගියපු අතිභයානක කුමන්ත්‍ර්‍රණය පිළිබඳව හා ලේ වැගිරීමක් පිළිබඳවත්, හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එම නිසා තමයි අතිගරු ජනාධිපතිතුමාට සිද්ධ වුණේ මේ තත්ත්වය ඇති කිරීමට. රටේ යහපතටත්, ජනතාවගේ යහපතටත් එතුමාට මේ තීරණය ගැනීමට සිදුවුණා.

ඒ අනුව අපිට ලොකු වගකීමක් පැවරිලා තියෙනවා. මම මේ ස්ථානයට අවේ ජනතා සේවකයෙක් හැටියට, අපි ඔබ සැම දෙනාම ජනතාවගේ සේවකයෝ. ජනතාව අපෙන් විශාල සේවයක් බලාපොරොත්තු වෙනවා. හිටපු අමාත්‍යතුමා සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳව විශේෂ ප්‍රකාශයකුත් කළා. නව ලේකම්තුමියත් මෙම සෞඛ්‍ය ක්‍ෂේත්‍රය පිළිබඳව මනා දැනුමක්, අවබෝධයක් ඇති නිලධාරිනියක්. මේ ක්‍ෂේත්‍රයට ලේකම්තුමියත් , මමත් අලුත් නිසා කාගේවත් කේලාම් හා ඕපාදූප අහන්නේ නැතිව යථාර්ථවාදීව අපිට ඉදිරියට වැඩ කරන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා.

අපි සෑම කෙනෙක්ම අසරණ වෙන්නේ ලෙඩ වුණාම. ඒ නිසා අපි හැමෝම මතක තියාගන්න ඕනේ අපි අසනීප වෙනවා, දුර්වල වෙනවා කියලා. ඉතින් ඒ වෙලාවට අපිට පිහිට වෙන්න ඉන්නේ වෛද්‍යවරුන් හා හෙද කාර්ය මණ්ඩලය ඇතුළු අනෙකුත් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ කාර්ය මණ්ඩලයයි. මම මේ මෑතකදී ගාලු මහ රෝහලට ගියා ලෙඩෙක් බලන්න.

ඉතින් ඒ වෙලාවේ ඒ ලෙඩා ඉන්න වාට්ටුව හොයා ගන්න මම බොහොම මහන්සි වුණා. ඉතින් මම එහි වැඩ කරන සේවකයන්ගෙන් ඇහුවා ඒ අයටත් ස්ථානය කියන්න බැරි වුණා. තවත් දවසක් ගියා පිළිකාවක් හැදුණු රෝගියෙක් බලන්න. හරියට ඒක භූත ගුහාවක් වගේ. ඉතින් සමහර වෙලාවට මම දැකලා තියෙනවා කාන්තා රෝහල්වලට ගියාම එක ඇෙඳ් දරුවන් තුන්දෙනා ගාෙණ් ඉන්නවා. ඉතින් මේවා පිළිබඳව අපේ සැලකිල්ල වැඩියෙන් යොමු කරන්න ඕනේ.

මම දැක්කා එනකොට කාසල් වීදියේ තියෙන රෝහල, එතන බිලියන 06යි ගාණකට හැදෙනවා විශාල රෝහලක්. ඉතින් මම නම් හිතන්නේ ඒ ගොඩනැඟිල්ල හදන වියදමින් දරුවන් ලැබීමට ඉන්න අම්මලාට හොඳ සුව පහසු විදිහට ඉන්න ඒ මුදල් වෙන් කරනවා නම් බොහොම පින් කියලා.

ඒ නිසා මම ලේකම්වරියගෙන් ඉල්ලනවා මේ පිළිබඳව අවධානය යොමු කරලා අමාත්‍යාංශයකට වඩා ජනතාවට වැඩ ඇති දේවල් මේ තුළින් ඇති කරන්න කියලා. ඒ වගේම හම්බන්තොට තියෙනවා රෝහලක්. දැනට ඒ රෝහල විවෘත කරලා අවුරුදු තුනක් පමණ වෙනවා. එයින් ජනතාවට ලැබෙන ප්‍රතිලාභයක් නම් නැති බවයි පෙනෙන්නේ.

ඉතින් අපි ඒවා සම්පූර්ණ කරමු, වාද භේද අත් හරිමු, අපිට කවුරුත් එකයි, සෑම නිලධාරියකුටම තියෙන වගකීම එකයි. ඉතින් අපි එක මවකගේ දරුවන් වාගේ අපිට පැවරෙන මේ කාර්යන් කෙටි කාලයක් හෝ දිග කාලයක් හෝ අපි අවංකව ජනතාවට සේවය කරමු. මම ලේකම්තුමියගෙන් ඉල්ලා සිටිනවා අපි අමාත්‍යාංශයේ සම්පූර්ණ ස්වාධීන විගණනයක් කරමු කියන එක. ඉන් පසුව අපි වැඩ ආරම්භ කරමු යැයි අමාත්‍යවරයා පැවසීය.

මාතෘකා