හිටපු අගමැති තව ඉන්න හදන්නේ මහා පරිමාණ දූෂණ වහගන්නයි

 ඡායාරූපය:

හිටපු අගමැති තව ඉන්න හදන්නේ මහා පරිමාණ දූෂණ වහගන්නයි

ශ්‍රී.ල.නි.ප. මහලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස

රටේ ජනාධිපතිවරයා විසින් නීත්‍යනුකූලව අගමැතිවරයෙක් පත් කර තිබියදී හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තම ධුරයෙ තවමත් රැඳී සිටීමට හේතූන් වන්නේ බල තණ්හාව සහ මෙතෙක් මෙරට බිහිවූ විශාලතම මූල්‍ය වංචාව වන බැඳුම්කර වංචාවේ කොටස්කාරයකු වන නිසා බව ශ්‍රී ලංක නිදහස් පක්ෂ මහලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පසුගියදා (07) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

“ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කළ නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පත්වීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ අය මේ දවස්වල ව්‍යවස්ථාව වැරදි ලෙස නිර්වචනය කරමින් සිටිනවා. මට තේරෙන, මා අසා ඇති, මම කියවා ඇති ව්‍යවස්ථාව අනුව පත්කළ නව අගමැතිවරයා පිළිබඳ යම් නීතිමය ප්‍රශ්නයක් තිබෙනවා නම් එය විසඳාගතහැක්කේ පාර්ලිමේන්තුවෙන් නෙවෙයි. ශ්‍රේෂ්ඨාධිකරණය මාරගයෙනුයි.

“හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මා නීති විශාරදයෙක් වෙලත් එතුමාගේ ප්‍රශ්නයට විසඳුමක් සොයන්න නීතියෙන් උපදෙස් ගන්නේ නෑ. එතුමා අධිකරණය ඉදිරියට ඇවිත් තමාට අසාධාරණයක් වෙලා තියෙනවානම් විසඳගන්නේ නැත්තේ එතුමා හොඳටම දන්නවා ජනාධිපතිතුමා විසින් පත් කළ නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පත්වීම නීත්‍යනුකූලයි කියා. රනිල් වික්‍රමසිංහ මහතා බල තණ්හාවෙන් හා තමා අගමැති වී සිටි කාලයේ කළ මහාපරිමාණ දූෂණ හෙළි වන නිසා අගමැති පුටුවේ තවදුරටත් ඉන්න හදන්නේ.

“රනිල් වික්‍රමසිංහ මහතාට කරගන්න දෙයක් නැතුව දැන් තානාපති කාර්යාලවලට යනවා ගිහින් ඒ ගොල්ලන්ට රට ගැන බොරු කියලා රට ජාත්‍යන්තරය ඉදිරියේ කොන් කිරීමේ වැඩපිළිවෙළක එතුමා මේ වන විට නියැලී සිටිනවා. එතුමාගේ නායකත්වයෙන් කොල්ලුපිටියේ වටරවුමේ පැවැත්වුණු ජන රැලියට සහභාගී වූ එක්සත් ජාතික පාක්ෂිකන් කියා තිබුණෙත් පක්ෂයට අලුත් නායකයෙක් අවශ්‍යයි කියන එකයි.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වශයෙන් ජනතාවට, ප්‍රගතිශීලී පක්ෂවලට, දේශප්‍රේමී බලවේග සහ සියලු කුඩා පක්ෂවලට අපි ආයාචනය කර සිටිනවා අප සමග එක් වී පුළුල් සන්ධානයක් ගොඩනඟා ජනතාව වෙනුවෙන් සේවය කිරීමට. ඉදිරියේදී නීතිමය වශයෙනුත් මේ අගමැති ගැටලුව අපිට ජයගන්න පුළුවන් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමෙනුත් අපිට අනිවාර්යෙන් ජයග්‍රහණය කරන්න පුළුවන්. සමාජ සාමය බිඳවැටීමට ඉඩ නොදී මෙම දේශපාලන පෙරළියට එක්වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”


හිටපු ඇමතිවරුන්ගේ නියෝග පිළිගන්න එපා

ඇමති රංජිත් සියඹලාපිටිය

එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරුන්ගේ ලිපි ශීර්ෂ යටතේ රාජ්‍ය සේවකයින්ට නිකුත් කරන නියෝග කිසිවක් පිළිනොගන්න ලෙසට තමා සියලු රාජ්‍ය සේවකයන්ට උපදෙස් දෙන බව විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පසුගියදා (07) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

ඉතිහාසයේ සිදු වූ විශාලම මූල්‍ය වංචාව වන බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ සියලු වැරදිකරුවන්ට නීතිමය පියවර ගැනීමට වත්මන් ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට අවස්ථාව උදා වී ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

“වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සුසංයෝගය අපි දීර්ඝ කාලයක සිට බලාපොරොත්තු වෙලා හිටියා. නව අගමැති පත්කිරීම පක්ෂයේ අවශ්‍යතාව නිසා ගත් තීරණයක් නෙමෙයි ජාතික අවශ්‍යතාව නිසා ඇතිවෙච්ච වෙනසක්.

“පසුගියදා අල්ලස් පනතෙ යම් යම් වෙනස්කම් කරන්නට තීරණයකට එළැඹුණා. ඒ වෙනස වූයේ ජනාධිපති කොමිසමක් මගින් කරන විමර්ශන වාර්තාව යම්කිසි පරීක්ෂණයකදී සාක්ෂියක් ලෙස පිළිගත යුතුයි කියන මතය තමයි තීරණය කරල තිබුණේ්. වර්තමානයේ සිදු වූ බරපතළම මූල්‍ය ගනුදෙනුව තමයි බැඳුම්කර ගනුදෙනුව. ඉහත සඳහන් කළ පනත පාර්ලිමේන්තුවට ගේන්න හදපු වේලාවේ ඒම යෝජනාව දින නියමයකින් තොරව කල් ගියා. ජනාධිපතිතුමාටත් වගකීමක් තිබුණා එතනදී. නමුත් එතුමාට එතනදී ස්වාධීනව තීරණ ගන්න දුන්නේ නෑ එක්සත් ජාතික පක්ෂයේ අගමැති ප්‍රමුඛ කණ්ඩායම. දැන් කිසි ප්‍රශ්නයක් නෑ පසුගිය (27) වැනිදා මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ස්වාධීනව තීරණ ගන්න පුළුවන්.

“හිටපු අමාත්‍යවරුන් කිසිදු වගකීමකින් තොරව ලිපි ශීර්ෂ ඔස්සේ සියලුම රාජ්‍ය සේවක ප්‍රධානීන්ට නැවත එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය ලෙස සේවය කරන්න කියා ලිපි යවා තිබෙනවා. අපි කියන්න කැමතියි එවැනි වගකීමක් නැති ලිපි ඔබට ආවට ඒ අනුව ක්‍රියාකරන්න එපා කියලා මම සියලු රාජ්‍ය සේවකයන්ට කියනවා. මෙවැනි බොළඳ තීරණ ගැනීම ඔස්සේ දේශපාලඥයාගේ චරිතය හෑල්ලුවට ලක්කරන්න එපා කියලා මම සියලුම මැති ඇමතිවරුන්ට කියනවා. කිසිදු විනය විරෝධී හෝ ව්‍යවස්ථා විරහිත පත්වීමක් මෙතෙක් කරලා නෑ, වත්මන් අගමැතිතුමා පත්කරල තියෙන්නේ නීත්‍යනුකූලවයි. නීති විශාරදයෝ පවා එහෙම කියනවා. කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා නම් රටේ ස්වාධීන නීතියක් තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් අසාධාරණයක් වෙලා තියෙනවා නම් විසඳගත හැකියි.”


සුදුසුම ක්‍රමය ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමයි

අැමති ඩග්ලස් දේවානන්ද

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව හා ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කටයුතු කර ඇති බවත් ඉදිරි පාර්ලිමේන්තු සැසි වාරයේදී 113ට වඩා වැඩි බලයක් පාර්ලිමේන්තුව තුළ පෙන්විය හැකි බවට විශ්වාසයක් පවතින බවත් නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පසුගියදා (07) දින පැවති මාධ්‍ය සාකච්ජාවකට සහභාගි වෙමිනි.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල අනුව ජනාධිපතිතුමා කටයුතු කර ඇති අතර පාර්ලිමේන්තුව කල් තැබූ පළමු අවස්ථාව මෙය නොවේ. වත්මන් රජය විසින් අයවැය වාර්තාවක් සකස් කරන තුරු පාර්ලිමේන්තුව 14 වැනි දින දක්වා කල් දමා ඇති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා එළැඹෙන 14 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

“එක් පාර්ශ්වයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කර තවත් පාර්ශ්වයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙස කටයුතු කර ඇති නිසා දේශපාලනික වශයෙන් ගැටලුවකට පත්ව තිබෙනවා. මෙය බේරුම් කර ගැනීමට සුදුසුම ක්‍රමය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමයි. ඉන්දියාව ඇතුළු විදෙස් රටවල් පවසා සිටින්නේ රටේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන ලෙසයි. එයට අමතරව විදෙස් රටවල් පවතින තත්වය පිළිබඳව අනවශ්‍ය ලෙස ශ්‍රී ලංකා රජයට අත පෙවීමක් සිදු කර නැහැ.

“1987දී මා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට ප්‍රවේශ වුණා. ප්‍රජාතන්ත්‍රවාදය තුළින් ජනතා ගැටලු විසඳිය හැකිය යන්න මාගේ විශ්වාසයයි. දෙමළ දේශපාලන නායකයන්ට හොඳ අවස්ථාවන් ලැබුණත් ඒවා නිසියාකාරව ප්‍රයෝජනයට නොගත් නිසා දෙමළ ජනතාවගේ ගැටලු විසඳීමට අවස්ථාව ලැබුණේ නැහැ. දෙමළ ජාතික සන්ධානය ප්‍රජාතන්වාදී ප්‍රවේශය තුළ සිටියත් දෙමළ ජනතාවගේ ගැටලු විසඳීම සදහා නිවැරදි යාන්ත්‍රණයට මෙතෙක් ඇතුළත් වී නැහැ.

“මා 1987 වර්ෂයේදී ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුළට ප්‍රවේශ වෙමින් ප්‍රජාතන්ත්‍රවාදය තුළින් ජනතාවගේ ගැටලු විසඳීමට මැදිහත් වූ‍යේ ස්වයං වාසියක් වෙනුවෙන් නෙමෙයි. වර්තමානයේදී මෙන්ම ඉදිරියේදීත් මූල්‍ය හෝ වෙනත් කිසිදු වාසියක් වෙනුවෙන් කටයුතු කරන්නේ නැහැ.

“එල්ටීටීඊ සංවිධානය මා ඝාතනය කිරීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කළා. එල්ටීටීඊ සංවිධානය බියට පත්ව සිටියේ මා වෙනත් ආයුධ සන්නද්ධ සංවිධානයක් බිහිකොට එල්ටීටීඊ සංවිධානයේ කටයුතුවලට එරෙහිව නැඟී සිටීවි කියලයි. නමුත් මා හෝ මාගේ පක්ෂය එලෙස කටයුතු කර නැහැ. පසුගිය රජය සිදුකරන ලද පරීක්ෂණවලින් පවා නීත්‍යනුකූල නොවන කිසිදු කාර්යයකට මා සම්බන්ධ වී නොමැති බව හෙළි වී තිබෙනවා.”


සමස්ත ජනතාවම ඉල්ලා සිටි නායකයා මහින්දයි

පා.ම. වීරකුමාර දිසානායක

රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරුන් පිරිසගේ අත්තනෝමතික පාලනය නිසා අගාධයට ගිය රට ගොඩගැනීමට මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති ලෙස පත් කළ නායකයා වෙනුවෙන් රටේ සෑම ජන කෝට්ඨාසයකම සහයෝගය ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පසුගියදා (07) නිදහස් පක්ෂ මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

“රටේ අභිවෘද්දිය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ අනෙකුත් කණ්ඩායම් සමඟියෙන් සිටිය යුතු බවට පක්ෂයේ බොහෝ දෙනෙකුගේ මතය වී තිබුණා. ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රමාත්‍ය ධූරය සඳහා මහින්ද රාජපක්ෂ මහතා පත් කර ගත්තා. හිටපු අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බලයේ සිටින කාලයේ රට සූදුපිටියක් කරගෙන හිටියා. ඔහුට හිතවත් කීපදෙනෙකුගේ අතේ තමයි පාලන බලය තිබුණේ. ඒ ගොල්ලෝ ඕන ඕන විදිහට වැඩ කරගෙන ගියා. ජනතාව බදු බරින් මිරිකෙලා හිටියේ.

“හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ එක වෙලාවකට විහිළු කාරයෙක් ලෙස කටයුතු කරනවා, තව වෙලාවකට ඒකාධිපතියෙකු ලෙස වැඩ කරනවා. මේ විහිළුව දිගින් දිගට ජනතාව දැක්කා. එතුමාට රටක් පාලනය කරන්න බෑ කියලා ජනතාව දැක්කා. මෙතෙක් රට ආපස්ට ගිය යුගය නිමා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත්ත තීරණය නිවැරදියි කියලා ආගමික නියෝජිතයන්, නීතිඥ සංගම්, විද්වතුන්, බුද්ධිමතුන් සියල්ල ප්‍රකාශ කරනවා.

“මේ රටේ පොදු මහජනයා දුක් වුණේ නෑ නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීම පිළිබඳව, එක්සත් ජාතික පාක්ෂිකයා කනස්සල්ලට පත්වෙන්නේ නෑ. මොකද ඒ අයගේ හදවත දන්නවා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපය ගැන. සමස්ත ගොවිජනතාව, වෙද, කම්කරු, ශිෂ්‍ය යන ජන කොට්ඨාස ඉල්ලූ නායකයා වන මහින්ද රාජපක්ෂ මහත්තයට නිසි තැන මේ වන විට ලැබිලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය විසින් විනාශ කළ රට ගොඩගැනීමට වැඩසටහනක් ආරම්භ කරමින් යනවා ඒකට සහයෝගය දෙන්න කියා මම සමස්ත ජනතාවගෙන් ඉල්ලනවා.

“අරලියගහ මන්දිරයේ මේ දවස්වල මැජික් පෙන්වනවා. වීරකුමාර දිසානායකත් එක්සත් ජාතික පක්ෂයට එනවා කියලා මඩ ප්‍රචාරයක් යනවා. ඒක සම්පූර්ණ අසත්‍යයක්. කීයටවත් මං පක්ෂය දාලා යන්නේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් යනවා කියලාත් මඩ ප්‍රචාර සමාජ මාධ්‍ය ජාලාවල යනවා. ඒවා සම්පූර්ණ අසත්‍ය චෝදනා කියලා මම කියන්න කැමතියි. පාර්ලිමේන්තුවේ 113 හදලා ඉවරයි. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් අප සමඟ අත්වැල් බැඳගනිමින් සිටිනවා. අපි ඒ සියල්ල එකතුකරගෙන ජනතාවට වැඩකරන්න පුළුවන් පුළුල් සංධානයක් ගොඩනඟනවා.”

මාතෘකා