අලුත් ඇමතිවරු මෙසේ කියති

 ඡායාරූපය:

අලුත් ඇමතිවරු මෙසේ කියති

නව රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පස්දෙනෙකු පසුගියදා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය. යහපාලන ආණ්ඩුවේ නිල කාලය තවත් වසර දෙකක කාලයක් දක්වා ඉතිරිව තිබේ. අභිනවයෙන් පත් වූ නව රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් තම අමාත්‍යංශවල වැඩකටයුතු කරන්නේ කෙසේද? ඔවුන්ගේ ඉදිරි සැලසුම් මොනවාද? මේ, ඒ පිළිබඳව අප ඔවුන්ගෙන් කළ විමසීමකි.


සියයට සියයක් බැරි වුණත් උපරිමයෙන් වැඩ කරනවා

පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම

ජනාධිපතිතුමාගේ අමාත්‍යංශයේ නියෝජ්‍ය ඇමතිකම තමයි මට ලැබෙන්නේ. පරිසර අමාත්‍යංශය කියන්නේ බොහොම සංකීර්ණ අමාත්‍යංශයක්. මේ අමාත්‍යංශයේ වංචා, දූෂණ වැඩි නිසාම තමයි මේක ජනාධිපතිතුමා අතට ගත්තෙත්. ජනාධිපතිතුමා මේ අමාත්‍යංශය හරහා මට රටට යමක් කරන්න පුළුවන් කියන විශ්වාසය උඩ මේ අමාත්‍යංශය දීලා තියෙනවා. පරිසරය කියන්නේ මිනිස් ජීවිතයට ඉතාම කිට්ටු සම්බන්ධයක් තියෙන එකක්. පරිසරය යහපත් ආකාරයෙන් පවත්වාගෙන ගියහොත් පමණයි මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපේ පරිසරය මීට වඩා යහපත් ලෙස පවත්වාගෙන යන්න අවශ්‍ය වැඩ කටයුතු සැලසුම් කරන්න බලාපොරොත්තු වෙනවා. සියයට සියයක් කරන්න බැරි වුණත් උපරිමයෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.


ගොවියාගේ ආර්ථිකය ඉහළ නංවනවා

කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය අංගජන් රාමනාදන්

මම නියෝජනය කරන ජනතාව වැඩිපුර ඉන්නේ උතුරු පළාත්වල. ඒ පළාත්වල වැඩිපුර ඉන්නේ ගොවි ජනතාව. ඔවුන් වෙනුවෙනුත් වැඩ කරන්න මට අවස්ථාවක් ලැබිලා තියෙනවා. අපිට වැඩ කරන්න තියෙන්නේ අවුරුදු දෙකයි. ඒ කාලෙදි කරන්න පුළුවන් උපරිම සේවය රටේ ගොවි ජනතාවට කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔවුන්ගේ ආර්ථික මට්ටම ඉහළ නංවන්න පියවර ගන්නත් කටයුතු කරනවා. මට ලැබිලා තියෙන්නේ ඉතාම හොඳ ඇමතිවරයෙක්. එතුමාගේ අධීක්ෂණයෙන් දැනටමත් වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක වෙනවා. ඒවාටත් මගේ සහයෝගය දෙන්න බලාපොරොත්තු වෙනවා.


විමර්ශන කටයුතු කඩිනම් කරනවා

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර

මේක වගකීම් රාශියක් සහිත අමාත්‍යංශයක්. නමුත් මම ආවා කියලා විශේෂයක් නැහැ. දැනටමත් එහි වැඩකටයුතු සිදු වෙමින් පවතිනවා. හොඳ අමාත්‍යවරයෙක් එක්ක වැඩ කරන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා. නීතිය හා සාමය ඇමතිතුමා වැඩපිළිවෙළ රාශියක් ක්‍රියාත්මක කරලා තියෙනවා. පහුගිය කාලේ විවිධ දේවල් නිසා යටගැහුණු විමර්ශන මේ වෙද්දි සිදු කෙරෙමින් පවතිනවා. ඒ කටයුතු කඩිනම් කරන්න වගේම ඒ සියලු කටයුතුවලට ඇමතිතුමාට සහයෝගය දෙන්න බලාපොරොත්තු වෙනවා.


වතුකරය සහ ගම්මාන දියුණු කරනවා

යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන

බොහෝම කෙටි කාලයක් අපිට ලැබිලා තියෙන්නේ. ඒත් අපි වැඩ කරනවා. අවුරුදු 30කට සැලසුම් කරලා තිබුණ මහවැලිය අවුරුදු හයෙන් ඉවර කරලා පෙන්නුවා එක්සත් ජාතික පක්ෂය. ඒ නිසා මේ කෙටි කාලේ විශාල සේවයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේවා පොඩි වැඩ. මේවා කරන එක අමාරු නැහැ. හොඳ කැබිනට් ඇමති කෙනෙකුත් අපිට ලැබිලා තියෙනවා. වතුකරයේ වගේම ගම්මානවලට නිවාස අහිමි ජනතාවට ඉඩම් ලබා දීලා නව නිවාස ලබාදෙන්න පියවර ගන්නවා.


වැඩ කරන්න ජාති - ආගම් භේද අදාළ නැහැ

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ

මේ අමාත්‍යංශයේ වැඩ කරන්න විශාල මුදලක් වෙන් වෙලා තියෙනවා. ඒත් අවශ්‍ය සමහර දේවල්වලට මුදල් වැය වෙලා නැහැ. ඒ ගැන මම අවධානය යොමු කරනවා. ඒ වගේම සංචාරක කර්මාන්තය දියුණු කරන්නත් අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් සමඟ සාකච්ඡා කරලා සහයෝගය ලබාදෙනවා. මට හොඳ ඇමති කෙනෙක් ලැබිලා ඉන්නවා. මම බෞද්ධයෙක් නිසා ඔහු ක්‍රිස්තියානි කටයුතු ගැන මට වඩා අවධානය යොමු කරනවා. අපිට වැඩ කරද්දි ජාති භේද, ආගම් භේද නැහැ.

 

[නිර්මාණි බණ්ඩාරනායක]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?