අාධ්‍යත්මික සමාජයක් හදන්න බුදුදහම මඟ කියනවා

 ඡායාරූපය:

අාධ්‍යත්මික සමාජයක් හදන්න බුදුදහම මඟ කියනවා

ජනපති‍ මෛත්‍රිපාල සිරිසේන

බ්‍රිතාන්‍ය පාලනයෙන් පසුව නිදහස් ලංකාවේ ගෙවීගිය වසර 70ට ආසන්න කාල සීමාව තුළ භෞතික සම්පත් සංවර්ධනයෙන් අපි දියුණුව කරා පැමිණ තිබෙන බවත්, මේ වනවිට රජය මෙන්ම අනෙකුත් සියලු ආයතන ආර්ථිකය ගොඩනැගීම, භෞතික සම්පත් සංවර්ධනය සඳහා පුළුල් කැපකිරීමක් කරන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා (22) පොළොන්නරුව, බුද්ධි මණ්ඩපයේ පැවති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික පාර්ශ්වයේ මහා සංඝ සභා සම්මේලනය අමතමින් පැවසීය. එහිදී ජනාධිපතිවරයා මෙසේද කීය.

“අද මේ උතුම් මහ සඟ සමුළුව ඓතිහාසික බෞද්ධ පුරවරයේදී පැවැත්වීමට ඔබ වහන්සේලා තීරණය කිරීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. දිවයිනේ සතර දිසාවෙන් ඔබවහන්සේලා ඓතිහාසික බෞද්ධ නගරයට වැඩම කරවීම මම දකින්නේ මංගල කටයුත්තක් වශයෙන්. අපේ රට ඇතුළු ආසියාතික රටවල් ප්‍රමුඛ වූ සියලු මහා පුණ්‍ය භූමීන් තුළ ආචාරශීලී, ගුණවත්, යහපත් මිනිසුන් සහිත ආධ්‍යාත්මික සමාජයක් ගොඩනගන්න බෞද්ධ දර්ශනය මග පෙන්නුම් කළ බව ඔබ වහන්සේලා ප්‍රමුඛ අප සියලු දෙනා පිළිගන්නා වූ කාරණයක්.

අපේ රටේ භෞතික සම්පත් සංවර්ධනය පිළිබඳව සතුටු විය හැකියි. බ්‍රිතාන්‍ය පාලනයෙන් පසුව නිදහස් ලංකාවේ ගෙවීගිය වසර 70ට ආසන්න කාල සීමාව තුළ භෞතික සම්පත් සංවර්ධනයෙන් අපි දියුණුව කරා පැමිණ තිබෙනවා. අදත් රජය මෙන්ම අනෙකුත් සියලු ආයතන ආර්ථිකය ගොඩනැගීම, භෞතික සම්පත් සංවර්ධනය සඳහා පුළුල් කැපකිරීමක් කරනවා. එහෙත් ලෝකයේ තිබෙන විවිධ සමාජ බලවේගයන් බොහෝ දේ තමාගේ ආත්ම ලාභය සඳහා ලබාගත හැකිය, ලබාගත යුතුය කියන මානසික තත්ත්වය මිනිසුන් තුළ ඇතිවීම නිසා සමාජය පිරිහීමට ලක් වී තිබෙනවා. ඒ පිරිහීමෙන් ගොඩගන්නට බෞද්ධ දර්ශනය තරම් උතුම් දර්ශනයක් නැහැ. ඒ නිසා බෞද්ධයකු විදියටත්, වර්තමානයේ රටේ භාරකාරයා විදියටත්, මා සැමවිටම ගෞරවණීය මහා සංඝරත්නයේ අනුශාසනා, උපදේශකත්වය, මගපෙන්වීම, ඉතාමත් ගරු කොට පිළිගන්නා කෙනෙක්. ඔබවහන්සේලාගේ උතුම් අදහස්, අනුශාසනා සැමවිටම මා උපරිම ලෙස ක්‍රියාවට නංවන කෙනෙක්.

ජනාධිපතිවරයා ලෙස මා පත්වූ පසු උපදෙස් ලබා ගැනීම සඳහා අපේ ගෞරවණීය මහා සංඝරත්නය නියෝජනය කරන සංවිධාන, ආයතන කිහිපයක් සමගම මගේ ඉතාම සමීප සම්බන්ධයක් තිබෙනවා. බෞද්ධ බුද්ධි මණ්ඩපය මාස තුනකට වතාවක් අපි රැස්වෙනවා. සියලුම නිකායන්හි ගෞරවණීය ස්වාමීන් වහන්සේලා බෞද්ධ බුද්ධි මණ්ඩපය නියෝජනය කරනවා. එමෙන්ම ජාතික ශාසනාරක්ෂක මණ්ඩලය, අපි මාස තුනකට සැරයක්වත් හමුවෙනවා. මාසික වැඩසටහන්වලදී සතියේ වැඩසටහන්වලදී දෛනිකව ඔබවහන්සේලා වරින් වර හමුවීම, සාකච්ඡා කිරීම, උපදෙස් ලබා ගැනීම මා විසින් කරනු ලබනවා.

මීට අවුරුදු දෙකකට පෙර බෞද්ධ පුනර්ජීවන අරමුදල නමින් නව අරමුදලක් මා විසින් ඇති කළේ වෙහෙර විහාරස්ථාන සංවර්ධනය සඳහා. එම යෝජනාවත් ගෞරවණීය මහා සංඝරත්නය මා වෙත ඉදිරිපත් කළ යෝජනාවක්. යුද්ධය නිසා විනාශ වූ අපේ රටේ උතුරු, නැගෙනහිර ප්‍රදේශවල වෙහෙර විහාරවල සංවර්ධනය, බෞද්ධ භික්ෂූන් වහන්සේලාට තිබෙන අඩුපාඩුකම් සැපිරීම, ආවාස, වැසිකිළි කැසිකිළි, පානීය ජලය, විදුලිය වැනි අත්‍යවශ්‍ය පහසුකම් සැපයීම සඳහායි එම අරමුදල ඇති කළේ. ගෙවීගිය අවුරුදු තුනහමාරක කාලය තුළ රුපියල් කෝටි 150ට වැඩිය වෙහෙර විහාරස්ථාන සංවර්ධනය සඳහා අප පරිත්‍යාග කර තිබෙනවා. යුද, නාවික,ගුවන් ත්‍රිවිධ හමුදාව, වෙහෙර විහාරස්ථාන සංවර්ධනය සඳහා, ප්‍රතිසංස්කරණය සඳහා යොදවා තිබෙනවා. මේ සඳහා අප විසින් ප්‍රමුඛ වගකීමක් ලබා දෙමින් කටයුතු කරනවා. ගෞරවණීය ධම්මපාල නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අනුශාසනා කළ පරිදි, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තිබෙන වෙහෙර විහාරස්ථාන ප්‍රතිසංස්කරණ සඳහා, අලුත්වැඩියා සඳහා, නව ගොඩනැගිලි ඉදිකිරීම සඳහා පියවර ගෙන තිබෙනවා. මේ දිස්ත්‍රික්කයේ පිරිවෙන් තිබෙන්නේ 15 යි. අලුත් ගොඩනැගිලි සහිතව ගෙවීගිය වසර තුනෙහි මේ වන විට පිරිවෙන් 12ක වැඩ අවසන් වී තිබෙනවා. ලබන වසරේ මැද විට එම පිරිවෙන් 15ම අංග සම්පූර්ණ පිරිවෙන් බවට පත්වෙනවා. ලංකාවේ කිසි පිරිවෙනක නොමැති ආකාරයට අවශ්‍ය පහසුකම්වලින් සපිරි රුපියල් කෝටි 40ක් වැය කර ඉදිකළ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ නව පිරිවෙන් ගොඩනැගිල්ල පසුගිය පසළොස්වක පොහෝ දිනයේදී විවෘත කරනු ලැබුවා.

දැනට මාසයකට පෙර ඓතිහාසික උණගලා වෙහෙර චෛත්‍ය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ භාරකත්වය යටතේ එහි උපදෙස් තුළ තාක්ෂණික උපදේශකවරුන්ගේ මගපෙන්වීම තුළ ඉතාමත් අලංකාර, අංග සම්පූර්ණ නව චෛත්‍යයක් බවට පත් කළා. මේ ඓතිහාසික බෞද්ධ පොළොන්නරුව නගරයට පැමිණෙන කෙනෙකුට මග දෙපස බුදුන් වහන්සේගේ ප්‍රතිමාවක් දැක ගන්න තිබුණේ නැහැ. බුද්ධි මණ්ඩපය තිබෙන තැනම එහා පැත්තේ පොළොන්නරු නගරයට ඇතුළු වන ස්ථානයේ බුද්ධ ප්‍රතිමාව මීට අවුරුදු විසිපහකට පෙර නිර්මාණය කළේ මම. එසේ කරන ලද්දේ විශේෂයෙන්ම පොළොන්නරුවට පැමිණෙන සැදැහැවත් සියලුදෙනාට මුලින්ම බුදුන් වහන්සේගේ ප්‍රතිමාවක් දැක ගැනීමට අවශ්‍ය නිසයි. රට වශයෙන් වගේම පොළොන්නරුව දිස්ත්‍රික්කය වශයෙන් බෞද්ධාගමික වෙහෙර විහාරස්ථාන ප්‍රතිසංස්කරණය, අලුත්වැඩියා කිරීම, නව ගොඩනැගිලි ලබා දීමේ කටයුතු සඳහා අපි ප්‍රමුඛත්වයක් දී ක‍්‍රියාකිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.

ඔබ වහන්සේලා එක්රැස් වූ මේ උතුම් මහා සංඝ සමුළුව පොළොන්නරුව ප්‍රදේශයට වගේම රටට ආදර්ශයක් විදියටයි අපි දකින්නේ. වාණිජ සමාජයේ තරඟකාරිත්වය තුළ ඇතිවන පිරිහීම් ගැන ඔබවහන්සේලා ජනතාව දැනුවත් කිරීම සඳහා සාකච්ඡාව, සංවාදය ඉතාමත් වැදගත් වෙනවා. මෙය මුළු රටටම ආශිර්වාදයක් ලෙසින් අපි දකින්නේ. රට පුරා ගෞරවණීය මහා සංඝරත්නය මෙවැනි මහා සඟ සමුළු, සාකච්ඡා, ධර්ම මණ්ඩප පැවැත්වීම ඉතාමත් කාලෝචිත වූ යුගයේ අවශ්‍යතාවයක් බවයි මා දකින්නේ. සමාජයේ ඇති වන විවිධ පිරිහීම්වලදී නීතියෙන් හදන්න බැරි දේ ආධ්‍යාත්මික වශයෙන් මිනිසුන්ගේ මනස සකස් කිරීමේ උතුම් පුණ්‍ය කටයුත්තයි ඔබ වහන්සේලා සිදුකරන්නේ. අමරපුර මහා නිකාය ධර්මධර, විනයධර, පින්වත්, නැණවත්, ගුණවත් මහා භික්ෂු පරපුරක් ලෙසයි අපි දකින්නේ. ඔබවහන්සේලා සඳහන් කළ පරිදි මේ රටේ ඓතිහාසික වෙහෙර විහාරස්ථාන භාරව ඒවායේ ආරක්ෂාව සහිතව ඔබ වහන්සේලා කරන්නාවූ උතුම් මහා ශාසනික සේවාව අප ඉතාමත් අගය කරනවා.

රටට මෙන්ම මුළු මහත් ලෝකයටම ථේරවාදී බෞද්ධ දර්ශනය තුළින් යහපත් සමාජයක් ගොඩනගන්න ඔබවහන්සේලා කරන්නාවූ උතුම් මෙහෙවර අගය කරමින්, ඔබවහන්සේලාට පින් දෙමින්, මේ මහා සඟ සමුළුවේ උතුම් අරමුණු සියලු ආකාරයෙන්ම සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරමින් ඔබවහන්සේලා ගන්නා වූ තීරණ, යෝජනා, ක‍්‍රියාත්මක කිරීමට පෞද්ගලිකවත් රජය වශයෙනුත් සැමවිටම කටයුතු කරන බව ප්‍රකාශ කරමින් සමුගන්නවා.”

මාතෘකා