නීතියත් පරිපාලනයත් එක්කොට රට හදන හැටි අගමැති කියයි

 ඡායාරූපය:

නීතියත් පරිපාලනයත් එක්කොට රට හදන හැටි අගමැති කියයි

ඕනෑම රජයක මූලිකම යුතුකම වන්නේ පරිපාලනයත්, නීතියත් එක ලෙස ක්‍රියාත්මක කරමින් රට ඉදිරියට ගෙන යාම බවත්, රටක් පිළිබඳව නිගමනයකට එළැඹිය හැක්කේ එම රටේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය අනුව බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 14 වැනිදා ගොකරැල්ල පොලිස් ස්ථානය හා ඉබ්බාගමුව දිසා ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද කීය.

“රටක් තුළ සාමාන්‍ය ජනතාවට ගැටලුවකින් තොරව ජීවත් විය හැකිද? රාත්‍රියේ මාර්ගයක බියෙන් සැකෙන් තොරව ගමන් කළ හැකිද? කාන්තාවකට ගැටලුවකින් තොරව තම වැඩකටයුතු ඉටු කරගැනීමට හැකිද? ආදියෙන් රටේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබිඹු වෙනවා. රටක් පිළිබඳව නිගමනයකට එළැඹිය හැක්කේ එම රටේ නීතිය ක්‍රියාත්මක වන ආකාරයටයි. අපේ කලාපයේ විශාලතම ත්‍රිවිධ හමුදා බලය තිබෙන ඉන්දියාවේත් පොලීසිය ක්‍රියාත්මක වන්නේ ස්වදේශ කටයුතු අමාත්‍යංශය යටතේයි. ඇමරිකාවේ පොලීසිය එක් ලේකම්වරයකු යටතේත්, හමුදාව එක් ලේකම්වරයෙකු යටතේත් ක්‍රියාත්මක වෙනවා. මෙම ආයතන දෙක එකට පාලනය කිරීමට නොහැකියි. හමුදාව යුද මෙහෙයුම් කටයුතු සිදු කිරීමේදී ඇතැම්විට නීති උල්ලංඝනය විය හැකියි. නමුත් පොලීසියට තිබෙන්නේ නීතිය ක්‍රියාත්මක කරමින් ආරක්ෂා කිරීමටයි. එම කාර්යයන් එකට මිශ්‍ර කළ නොහැකියි. අපේ රටේ මීට පෙර විවිධ ගැටලු ඇති වූයේ මේ ආකාරයට කටයුතු නොකළ නිසයි.

රටක් තුළ මෙවැනි ආයතන දෙකක් පිහිටා තිබෙන්නේ රටේ ආරක්ෂාව වෙනුවෙනුයි. එම නිසා 2015 වසරේ සිට පොලීසිය මේ රටේ අපරාධ වැළැක්වීමට, අපරාධ පරීක්ෂණ කරමින්, වැරදිකරුවන්ට දඬුවම් දීමට ආදියට යොදවන්නට අපට හැකි වුණා. ඒ හරහා මේ වනවිට රට තුළ විශාල වැඩ කොටසක් සිදු කර තිබෙනවා.

මේ සියලු දේවලට වඩා අද ග්‍රාමීය මට්ටමට බලපාන කරුණ වී තිබෙන්නේ මත්ද්‍රව්‍යයි. 2002 පමණ වන විට රටේ මත්ද්‍රව්‍ය බහුලව තිබුණේ කොළඹ නගරවල පමණයි. අවාසනාවකට ඇතැම් විද්‍යාලවල පවා මත්ද්‍රව්‍ය තිබෙන තත්ත්වයක් දැන් නිර්මාණය වී තිබෙනවා. මේ ස්ථානයේ අපත් සමග සිටින දේශපාලනඥයින් අතුරින් තරුණම අමාත්‍යවරයා අකිල විරාජ් ඇමැතිතුමායි. එතුමාගේ කාලයේවත් මත්ද්‍රව්‍ය මේ තරම් ව්‍යාප්ත වී නොතිබුණු බව එතුමා දන්නවා. නමුත් අද රටේ ඕනෑම තැනක මත්ද්‍රව්‍ය තිබෙනවා. එය රටට විශාල ප්‍රශ්නයක්. ඉහළින් මත්ද්‍රව්‍ය වැටලීමට නියෝග ආවත් ඊට පහළින් සිටි ඇතමුන් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධව සිටියා. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කවුරුන් හෝ අත්අඩංගුවට ගත්විට ඇතැම් දේශපාලකයින් සෑම ස්ථානයකටම දුරකථනයෙන් කතා කර ඔහු මුදාහරින ලෙස පවසනවා. ඒ ඔවුන් දේශපාලන හෙංචයියන් නිසායි. ඒ කාලයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කිරීම, කාන්තාවන් දූෂණය කිරීම ආදිය ප්‍රාදේශීය සභාවේ සභාපති වීමට මූලික සුදුසුකම් ලෙසයි හැඳින්වූයේ. නමුත් 2015 දී සිට මත්ද්‍රව්‍ය මැඩලීමට අවශ්‍ය දැඩි පියවර ගන්නා ලෙස අප පොලීසියට උපදෙස් ලබා දුන්නා.

අතීතයේදී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපවත්වනවා යැයි පවසමින් මත්ද්‍රව්‍ය බෙදාහරින පුද්ගලයකු පමණක් නීතියට හසු කරගන්නවා. බෙදා හරින්නෙකු පමණක් නීතියට කොටු කර ගැනීමෙන් මත්ද්‍රව්‍ය සැපයුම, ජාවාරම නතර වන්නේ නැහැ. විශාල පරිමාණික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දේශපාලන රැකවරණය දී තිබෙනවා නම් මත්ද්‍රව්‍ය බෙදාහරින්නන් පමණක් නීතියේ රැහැනට හසු කර ගැනීමෙන් පලක් නැහැ. එක්කෙනෙකු හෝ දෙදෙනෙකු අල්ලා ගත් විට පුවත්පතක පළ කිරීමෙන් පලක් නැහැ. ඒ කාලයේ දිගින් දිගටම මාධ්‍ය හරහා මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව ප්‍රකාශ කළා නම් එම මාධ්‍යවේදීන් අතුරුදහන් වෙනවා. එකල පැවති දේශපාලනයට මාධ්‍ය එතරම් බියක් දැක්වූවා.

නමුත් 2015 දී අප මෙම ක්‍රමවේදය වෙනස් කළා. එම නිසා මත්ද්‍රව්‍ය සැපයුම් ජාලාව බිඳ හෙළීමට අප තීරණය කළා. 2015 දී හෙරොයින් කිලෝග්‍රෑම් 46 ක්, 2016 දී කීලෝග්‍රැම් 207 ක්, 2017 දී කිලෝග්‍රෑම් 350 ක්, 2018 ගෙවුණු මාස 07 තුළ කිලෝග්‍රෑම් 150 ක් පමණ අත්අඩංගුවට ගත් බවට මට ඔවුන් වාර්තාවක් ලබාදුන්නා. සාම්පූර්හිදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය පිළිබඳව තොරතුරුද මේ වන විට පුවත්පත්වල පළවී තිබෙනවා.

2015 දී ගංජා කිලෝග්‍රෑම් 6570 ක්, 2016 දී කිලෝග්‍රෑම් 4178 ක්, 2017 දී කිලෝග්‍රෑම් 4987 ක්, 2018 ගෙවුණු මාස 07 තුළදී කිලෝග්‍රෑම් 2900 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2015 දී කොකේන් කිලෝග්‍රෑම් 06 ක් , 2016 දී කිලෝග්‍රෑම් 1571 ක්, 2017 දී 221 ක්, 2018 දී ගෙවුණු මාස 07 තුළ දී කිලෝග්‍රෑම් 14 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අප දැන් සැපයුම් මූලයන්වලට ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. ඔවුන් අතර ගැටුම් ඇති වන විට ඔවුන් පිළිබඳ තොරතුරු හෙළි වෙනවා. එවිට ඔවුන් අත්අඩංගුවට ගැනීම පොලීසියට වඩා පහසු වෙනවා. ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය සැපයුම්කරුවන් කිහිපදෙනෙක් රටින් පැනගොස් සිටින නිසා එම රටවල්වල සිට ඔවුන් ශ්‍රී ලංකාව තුළට මත්ද්‍රව්‍ය සැපයීමත් සිදු කරනවා. එය නතර කිරීමටත් අපට සිදුව තිබෙනවා. ඉන්දියාව, පකිස්ථානය, ඩුබායි ආදී රටවල ඔවුන් ජීවත් වෙනවා. නීතිය හා සාමය අමාත්‍යතුමාත්, විදේශ කටයුතු අමාත්‍යතුමාත්, අධිකරණ අමාත්‍යතුමියත්, පොලිස්පතිතුමාත්, නීතිපතිතුමාත් දැනුවත් කරමින් අපි උපදෙස් ලබා දුන්නේ එම රටවල්වලට ගොස් මෙම පුද්ගලයින් නැවත රටට ගෙන ඒමේ නියෝග ලබාගන්නා ලෙසයි. ඊට අවශ්‍ය තොරතුරු අප මේ වනවිට එකතු කරමින් සිටිනවා. මේ ආකාරයට පොලීසියත්, විශේෂ බළකායත් හරහා මත්ද්‍රව්‍ය පාලනයට තදින් ක්‍රියා කරමින් සිටිනවා. නීතිය හා සාමය අමාත්‍යංශයට භාරවී තිබෙන්නේ මත්ද්‍රව්‍ය උවදුර රටෙන් තුරන් කර දැමීමයි. එය අප ඉදිරියටම ගෙන යනවා. අප සැපයුම් ජාලයන් සොයා ගත යුතුයි. එක් බෙදාහරින්නෙක් හෝ දෙදෙනෙක් නීතියට හසුකර ගැනීමෙන් එය නතරවන්නේ නැහැ. ඒ වෙනුවෙන් ජනතාව, මේ රටේ තරුණ පරපුර දැනුවත් කිරීමට පූජක පක්ෂයත් එකතු කර ගත යුතුයි.

මේ ප්‍රදේශයේ පොලිස් සේවාව දියුණු කිරීමට රංජිත් මද්දුමබණ්ඩාර මැතිතුමා විශාල උනන්දුවක් දක්වනවා. බිම් මට්ටමේ පරිපාලන කටයුතු පාලනය ස්වදේශ කටයුතු අමාත්‍යංශයට භාරව තිබෙනවා. එම නිසා වජිර අබේවර්ධන ඇමතිතුමා රට පුරාම මෙවැනි කාර්යාල, ශ්‍රවණාගාර ඇති කිරීමට අවශ්‍ය මුදල් ලබාදී තිබෙනවා. එසේ නම් ඉතා පහසුවෙන් ජනතාවට සේවය කිරීමට හැකි පරිසරයක් දැන් නිර්මාණය වී තිබෙනවා.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල යනු රටේ පරිපාලනයේ කේන්ද්‍රස්ථානයක්. ගම් මට්ටම වෙනුවෙන් එතුමා සිදු කරන සේවාව අප අගය කළ යුතුයි. පරිපාලනය, නීතිය වර්තමානයේ ඉතා සාර්ථකව රට තුළ ක්‍රියාත්මක වනවා. රටේ ආර්ථිකය නඟා සිටුවීම අපේ අනෙක් ප්‍රධාන කාර්යයි. ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමා සිටින්නේ එම වැඩකටයුත්ත වෙනුවෙනුයි. මේ රටේ බිම් මට්ටමේ කුඩා කර්මාන්ත සඳහා ආධාර උපකාර කිරීම එතුමාගේ අමාත්‍යංශයට භාරවී තිබෙනවා. කර්මාන්ත නවීකරණය කිරීමත් සිදු කළ යුතුයි.

සෑම දියුණු රටක්ම සිය රටවැසියාට වැඩි වශයෙන් රැකියා ලබාදී තිබෙන්නේ රාජ්‍ය අංශයෙන් හෝ මහා පරිමාණ කර්මාන්ත අංශයෙන් නොවෙයි. බොහෝ දෙනෙක් රැකියා වල නිරත වන්නේ ප්‍රාථමික කර්මාන්ත මූලික කරගෙනයි. එම නිසා ප්‍රාථමික කර්මාන්තවල අගය වැඩි කිරීමේ විශාල වැඩ කොටසක් එතුමා විසින් සිදු කරනවා.

ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන අමාත්‍යවරු ගණනාවක් අද මෙම ස්ථානයේ සිටිනවා. අධ්‍යාපන ඇමැතිවරයා වන අකිල විරාජ් ඇමැතිවරයා, අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන භාර නාවින්න ඇමැතිතුමා, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල අමාත්‍යතුමා, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ අමාත්‍යතුමා සහ නීතිය සාමය නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර අමාත්‍යතුමාත් මෙහි සිටිනවා. මේ සියලු දෙනාම රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් වැඩදායී ලෙස කටයුතු කරනවා. ඒ වගේම බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා ඇමැතිතුමාත් මෙහි සිටිනවා. ඒ ආකාරයට අමාත්‍යංශ ගණනාවක්ම මේ ප්‍රදේශයට ලැබී තිබෙනවා.

පරිපාලනයත්, අධ්‍යාපනයත් යන අංශ දෙකම කුරුණෑගලට ලැබී තිබෙනවා. මේ ප්‍රදේශයට කර්මාන්ත කලාප ගෙන එනවා. ඉදිරි වසරේ සිට ශ්‍රී ලංකාවේ පළමු වාහන කර්මාන්තශාලාව වයඹ ප්‍රදේශයේ ආරම්භ වෙනවා. සංචාරක ව්‍යාපාරය මේ ප්‍රදේශයේ දියුණු කරනවා. ඒ වගේම ගල්ගමුව සංවර්ධන යෝජනාත් ලබාගැනීමට නියමිතයි. වෙළඳ කලාප 02ක්, අධිවේගී මාර්ගය ඇතුළුව විශාල වෙනසක් මෙහි සිදු කිරීමට නියමිතයි. ඒ පිළිබඳව ඔබ සැකයක් ඇති කර ගන්නට එපා.”

මාතෘකා