හිරේ ඉන්නේ දෙවැනි පෙළ අය,මහ කුඩු ව්‍යාපාරිකයන් එළියේ

 ඡායාරූපය:

හිරේ ඉන්නේ දෙවැනි පෙළ අය,මහ කුඩු ව්‍යාපාරිකයන් එළියේ

අමාත්‍ය මංගල සමරවීර

 

රටේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් කිසිදිනක සිරගත නොවීම හේතුවෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය සාධාරණිකරණය කළ නොහැකි බව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා පසුගියදා (13) මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය. අපරාධකරුවෙකුට දියහැකි හොඳම දඬුවම ජීවිතාන්තය දක්වා සිරගත කිරීම බවත්, මරණ දඬුවම ක්‍රියාත්මක වන කිසිදු රටක අපරාධ අඩු වී නැති බවත් පැවසූ ඇමතිවරයා, හිරගෙවල්වල ඉන්නේ දෙවෙනි පෙළේ කුඩු ව්‍යාපාරිකයන් වන බවත් මෙරට පළමු පෙළේ කුඩු ව්‍යාපාරිකයන් කිසිදා බන්ධනාගාරගත නොවන අතර එවැන්නන් ඉන්නේ ලයන්ස්, රොටරි වැනි සමාගම්වල හා බෞද්ධ සංවිධානවල ප්‍රධාන උපාසක මහත්වරුන් හැටියට බවත් අමාත්‍යවරයා පැවසීය.

ඇමතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසුවේය."මම මරණ දඬුවමට එදත් විරුද්ධයි, අදත් විරුද්ධයි. මොකද මරණ දඬුවම තිබෙන කිසිම රටක අපරාධ අඩු වෙලා නෑ. උදාහරණයක් ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ සමහර ප්‍රාන්තවල තවමත් මරණ දඬුවම ක්‍රියාත්මක වෙනවා. නමුත්, ඒ ප්‍රාන්තවල තමයි වැඩි මිනීමැරුම් වාර්තා වෙන්නේ. කුඩු හා මතුද්‍රව්‍ය ගැටලුව අපි රජයක් විදියට සැහැල්ලුවට ගතයුතු දෙයක් නෙමෙයි. මේක අනාගාත පරම්පරාවට බලපානවා. නමුත් කුඩුවලට ඇබ්බැහි වන තරුණයන් හා මේ රටට කුඩු ගෙන්වන මුදලාලිවරු එක ගොඩට දාලා බලන්න බෑ. කුඩුවලට ඇබ්බැහි වන තරුණයන්ගෙන් හිරගෙවල් පිරෙව්වා කියලා අපරාධ අඩු වෙන්නේ නෑ. මහ මුදලාලිව අල්ලන්න බෑ, අහුවෙන්නේ නෑ. පොලිසිය, ජූරිය සමහර වෙලාවට එකක් වන රටක එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න බෑ.මම පෞද්ගලිකව කැමති නෑ මිනී මරන්න. නමුත් මේ යෝජනාව කැබිනට් මණ්ඩලයේ අනුමත වුණා. මම විරුද්ධ වුණත් පොදු තීරණයක් තිබෙනවා."

 

මාතෘකා