අඳුරු යුගය ගේන්න රාජපක්ෂලා සැරසෙනවා

 ඡායාරූපය:

අඳුරු යුගය ගේන්න රාජපක්ෂලා සැරසෙනවා

පා.ම. තුෂාර ඉඳුනිල්

රාජපක්ෂ පාලන යුගයේදී මාධ්‍යවේදීන් 11ක් අතුරුදන් වූ බවත් ලසන්ත වික්‍රමතුංග මහ දවාලේ මහමඟ මරා දැමූ බවත් අදත් මහින්ද රාජපක්ෂ මහතා උත්සාහ කරන්නේ මේ රට ආපසු ඒ අඳුරු යුගයට ගෙන එන්න බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉඳුනිල් ප්‍රකාශ කරයි. පසුගියදා සිරිකොත එජාප මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.

මන්ත්‍රිවරයා එහිදී මෙසේද පැවසීය.

බැඳුම්කර සිද්ධියේදී බැඳුම්කර කොමිසම බලාපොරොත්තු වූයේ අගමැතිතුමාගෙන් ලිඛිත ප්‍රකාශයක් ලබා ගන්නයි. නමුත් එතුමා කොමිසම ඉදිරියේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදී කොමිසමේ කටයුතු පහසු කළා. එක්සත් ජාතික පක්ෂයේ විනය කාටත් එකයි. මලික් සමරවික්‍රම, විජයදාස රාජපක්ෂ, රවි කරුණානායක ඇමැතිවරුන්ට විනය එක ලෙස ක්‍රියාත්මක වූවා. එහෙත් මහින්ද රාජපක්ෂ පාලන යුගයේ විනය ඒ ආකාරයට ක්‍රියාත්මක කළාද?

රූපවාහිනියට කඩාපැන්න, නිලධාරීන් ගස් බැන්ද මර්වින් සිල්වාට නීතිය ක්‍රියාත්මක කළාද. බිරිය දූෂණය කර ඇගේ සැමියා මරා දැමූ ප්‍රාදේශීය දේශපාලනඥයන්ට එරෙහිව විනය පියවර ගත්තාද? ඇතැම් අයට අද මේවා අමතකයි. නිව්යෝර්ක් ටයිම්ස් පුවත පිළිබඳව එම පුවත්පතට එරෙහිව නඩු පවරනවා දැයි මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසූ විට ඔහු අපූරු පිළිතුරක් දී තිබුණා. මම මොකටද නඩු පවරන්නේ. මම එහෙන් ඡන්දේ ඉල්ලනවා දැයි එතුමා පවසා තිබුණා. එහෙම කියපු එතුමා තවත් තැනක පවසා තිබුණේ එක ඩොලර් එකක් හරි ගත්තා කියා ඔප්පු කළොත් බෙල්ල කපා ගන්නවා කියලයි. එතුමා බෙල්ල කපාගන්න වුවමනා නැහැ. මෝඩ උත්තර නොදී එතුමාගේ ඇමෙරිකා පුරවැසිකම් හිමි සහෝදරයෝ දෙන්නා ලවා පිළිගත හැකි ප්‍රකාශයක් කරන්න තිබුණා.

මාතෘකා