අතරමඟ නැවතූ වැඩ අපි අවසන් කරනවා : අගමැති

 ඡායාරූපය:

අතරමඟ නැවතූ වැඩ අපි අවසන් කරනවා : අගමැති

කෙටිකාලීන සහ මධ්‍යකාලීන වැඩසටහන් යටතේ මහනුවර දියුණු කිරීමට සැලසුම් සකස් කරන බවත්, ඉදිරියේදී මහනුවරට හොඳ අනාගතයක් ලැබෙන බවත් අගමැතිවරයා ප්‍රකාශ කළේය.  
අගමැතිවරයා මේ බව පැවසුවේ පසුගිය දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්මන්ත්‍රණ ශාලාව විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

 ජපාන ආයෝජන මත ලංකාවේ ආරම්භ කිරීමට නියමිත කර්මාන්ත කලාපය මහනුවර ප්‍රදේශයේ ඉදිකිරීමට අවශ්‍ය ඉඩම් හා ජල පහසුකම් තිබෙනවාද පිළිබදව සලකා බලන බවද අගමැතිවරයා පැවසීය.  

  "මහනුවර යනු අපේ රටේ පැරණි අගනුවරයි. මහවැලි සංවර්ධන වැඩසටහනේදී මහනුවර එහි කේන්ද්‍රස්ථානය බවට පත් වුණා. නමුත් පසුකාලීන පැවැති දේශපාලන ක්‍රමයන් තුළ ඔවුන්ට මහනුවර සංවර්ධනය අමතක වුණා. මෙම තත්ත්වය වෙනස් කිරීමට 2015 ජනවාරි 08 වනදායින් පසු අපි කටයුතු කළා. නැවත වතාවක් රටේ සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට මහනුවර පත් කිරීමට අප වැඩකටයුතු ආරම්භ කළා. අපේ ආණ්ඩුව බලය ලබා ගැනීමෙන් පසු සංවර්ධන වැඩකටයුතු ආරම්භ කරන විට විවිධ ප්‍රදේශවල යටිතල පහසුකම් කිහිපයක් සංවර්ධනය කර තිබුණා. නමුත් ඒවායේ එකිනෙක සම්බන්ධයක් තිබුණේ නැහැ.  

 මහනුවර අධිවේගී මාර්ගය සඳහා ශ්‍රී ලංකාවේ මුදල් මෙන්ම චීනය, ජපානය ඉන්දියාව ආදී රටවල් ද මුදල් ලබා දෙනවා. මහනුවර සංවර්ධනයේ මූලික නගර සැලසුම මේ වන විට ජපානය සමග සාකච්ඡා කර සිදු කරමින් සිටිනවා.

 යටිතල පහසුකම් ඇති තරමක් දියුණු ප්‍රදේශ හඳුනාගනිමින් අප පළමු සංවර්ධන කලාප ඇති කළා. එහි අප ප්‍රමුඛස්ථානය ලබා දුන්නේ මධ්‍යම අධිවේගී මාර්ගයටයි. එය ඉදිකරමින් අනෙකුත් අවශ්‍ය යටිතල පහසුකම්ද ඉදිකිරීමෙන් පසු මහනුවර සිට හම්බන්තොට දක්වා විශාල සංවර්ධන කලාපයක් ඇති කිරීමට හැකි වෙනවා. ඒ සියලූ කටයුතු අවසන් වී 2020 පමණ වන විට පැය 3-4 න් මහනුවර සිට හම්බන්තොට දක්වා ගමන් කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම ක්‍රියාකාරී වරාය දෙකක් ඇති කිරීමට අපට හැකියාව ලැබුණා. අපේ රජය යටතේ හම්බන්තොට වරාය ක්‍රියාකාරී වරායක් බවට පත් කිරීමට අපට හැකි වුණා. තවත් ටික දවසක් ගත වන විට මත්තල ගුවන් තොටුපළත් ක්‍රියාකාරී මට්ටමකට ගෙන ඒමට හැකි වනවා. ඒ අනුව අපේ රටට ගුවන් තොටුපළ 02 ක සහ වරාය 02 ක සේවය ලැබෙනවා. ඒ සියල්ලෙහි කේන්ද්‍රස්ථානය බවට මහනුවර නගරය පත්වෙනවා. සියලු වැඩකටයුතු අවසන් වන විට කටුනායක සිට මහනුවරට ගමන් කිරීමට ගත වන්නේ පැයකටත් අඩු කාලයක්.  

 මේ සියල්ල සමඟ මහනුවර වෙනස ආරම්භ වනවා. නමුත් තවත් වැඩකටයුතු රාශියක් සිදු කිරීමට තිබෙනවා. මෙම දියුණුව මහනුවර සිට දිගන දක්වා ගෙන යා යුතුයි. අතීතයේ කොළඹසංවර්ධනය සීමාවූයේ කොටුවට පමණයි. පසු එය පාමංකඩ ආදී ප්‍රදේශ දක්වා පැමිණියා. අද එය ජයවර්ධනපුර කෝට්ටේ අගනුවර වීම දක්වා දියුණුවී ව්‍යාප්ත වී තිබෙනවා. ඒ ආකාරයට මහනුවරින් පසු දිගන ප්‍රදේශයත් දියුණු නගරයක් බවට පත් කළ යුතුයි. ඊට සැලසුම් අවශ්‍යයයි. පාසැල්, වෙනත් පහසුකම් ආදිය අවශ්‍යයි.  

 රාවුෆ් හකීම් අමාත්‍යතුමා පැවසූ ආකාරයට සංවර්ධනය සම්බන්ධ ගැටළු කිහිපය අප විසදාගත යුතුයි. කොළඹ දියුණු කරන ආකාරයටම මහනුවර නගරයත් අප දියුණු කළ යුතුයි. රට අභ්‍යන්තරයේ ඇති ප්‍රධාන නගරය ලෙස සලකන්නේ මහනුවර නගරයයි. එම නගරයේ දියුණුවට අවශ්‍ය ජල පහසුකම්, මාර්ග සංවර්ධනය,රථ ගාල්, නව ගොඩනැගිලි නව වෙළඳ සංකීර්ණ ආදිය සංවර්ධනය කළ යුතුයි. කල් දැමීමකින් තොරව ඒ සියලූ සංවර්ධන කටයුතු සිදු කළ යුතුයි.  
 ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයෙන් පසුව මම මහනුවර ප්‍රදේශයට පැමිණ කෙටි කාලයක් මෙහි ගත කරමින් මෙම සියලූ වැඩසටහන් ඒකාබද්ධ කරමින් විශේෂ සැලසුමක් නිර්මාණය කරමින් මහනුවරට විශාල සංවර්ධනයක් ගෙන ඒමට කටයුතු කරනවා යැයිද අගමැතිවරයා පැවසීය.

මාතෘකා

ජනප්‍රිය ලිපි