මාව විශ්වාස කරන්න : මැදිරිගිරිය දියසෙන්පුර රැළියේදී ජනපති කියයි.

 ඡායාරූපය:

මාව විශ්වාස කරන්න : මැදිරිගිරිය දියසෙන්පුර රැළියේදී ජනපති කියයි.

"අපේක්ෂකයන් පිළිබඳ නොයෙකුත් විවේචන තියෙන්න පුළුවන්. ඒ නිසා අපේක්ෂකයාට වඩා මාව විශ්වාස කරන්න. මං හික්මීමක් ඇති මන්ත්‍රීවරු ලබාදෙන්න ඔබට පොරොන්දු වෙනවා" යැයි ඊයේ (11 වෙනිදා) මැදිරිගිරිය දියසෙන්පුර ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රැළිය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ පැවසීය.

“මීට අවුරුදු 49කට පෙරයි මෙවැනි කොට්ටාස ඡන්ද ක්‍රමයක් තිබුණේ. මේ කොට්ටාස ඡන්ද ක්‍රමය අහෝසිවෙලා මනාප ඡන්ද ක්‍රමය ලැබුණාට පස්සේ පත්වෙන මන්ත්‍රීවරු ගම්සභාවේ, ප්‍රාදේශීය සභාවේ, පළාත් සභාවේ, එහෙමත් නැත්නම් පාර්ලිමේන්තුවේ බොහෝ වෙලාවට තමන්ගේ ගම අමතක කරලා වැඩකරන්න පටන් ගත්තා. ඡන්දයක් වෙලාවට ඔවුන් තමන්ගෙ ගමෙන් පිට ඕනෑම දිහාවක ගිහිල්ලා ඡන්ද ටිකක් එකතු කරගෙන දිනන්න පුරුදු වුණා. පහුගිය අවුරුදු 30 ක් 35ක් අතර කාල සීමාවේ සිද්ධ වුණේ ඒක. ඒ නිසා ඔවුන් ගමේ ජනතාව අමතක කළා. හුඟක් සල්ලි හම්බකරන්න ගත්තා. ඉස්සර ගම් සභා නියෝජිත මහත්තයා එහෙමත් නැත්නම් මැම්බර් මහත්තයා කිව්වාම මේ ඉන්න ගමේ වැඩිහිටි දෙමව්පියෝ ඔහුව හොඳට දන්නවා. ඔහු ඉතාම ගුණ යහපත් කෙනෙක්. ගම් සභාවට තෝරලා ඇරියෙ ගමේ හිටපු හොඳ හික්මීමක් තියෙන, හොඳ වැදගත් චරිතයක් තියෙන, ඒ වගේම ගමේ මරණයට, මගුලට, පිංකමට හැම තැනටම එන කෙනෙක්. නමුත් ඒ ඡන්ද ක්‍රමය වෙනස් වෙලා දේශපාලන සංස්කෘතිය වෙනස් වුණා. මන්ත්‍රීවරු හිතන විදිය වෙනස් වුණා. තමන් මුදල් හම්බ කරගෙන ජනතාවගේ ඡන්දය අරන් තමන් කොහොමද පොහොසත් වෙන්නෙ කියන තත්වයට ඒ අයගේ සිතුවිලි, චින්තනය වෙනස් වුණා. ඒ නිසා බොහෝ ගම්වල කරන්න තියෙන වැඩ කොටස් අතපසු වුණා.   

“මම ජනාධිපති ධුරයට පත් වෙලා අවුරුදු තුනයි. පොළොන්නරුව දිස්ත්‍රික්කය දේශපාලන පක්ෂ භේදයෙන් තොරව විශාල ජයග්‍රහණයක් මට ලබා දුන්නා ඒ වෙලාවේ. මේ අවුරුදු තුනේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සිදු වුණු වෙනස්කම්, සංවර්ධනය කළ යුතු කාර්යයන් කිරීමට මම "පිබිදෙමු පොළොන්නරුව" කියන අලුත් යෝධ සංවර්ධන වැඩසටහන දියත් කළා. මේ දිස්ත්‍රික්කයේ කිසිම ආණ්ඩුවක්, කිසිම කාලයක, කිසිම නායකයෙක් වැඩසටහනක් ක්‍රියාත්මක කරලා නැහැ. "පිබිදෙමු පොළොන්නරුව" වැඩසටහන අනෙක් අමාත්‍යංශවලට, පළාත් සභාවට, ප්‍රාදේශීය සභාවලට සියලු දේට මුදල් ලබා දුන්නා. මේ දිස්ත්‍රික්කයේ පාසල් 242න් මේ වන විට පාසල් 109ක් අංගසම්පූර්ණ කරලා තියෙනවා.

“මට මෙතනට ආව ගමන් කොහොඹදමන විද්‍යාලයේ ශිෂ්‍ය නායක දරුවෙක් ලියුමක් ගෙනත් දුන්නා. ඒ, පාසලට අවශ්‍ය පරිපාලන හොඩනැගිල්ලක් ගැන. මම 1989 වසරේ පාර්ලිමේන්තුවට පත් වෙලා පළමු අවුරුද්දෙම වෙන් කළ විමධ්‍යගත අරමුදලින් කොහොඹදමන පාසලට 1990 - 1991 වර්ෂවල ඒ කාලයේ ගොඩනැගිල්ලක් දුන්නා කියලා මගේ හිතේ තියනවා. එදා මෙදා කාලය තුළ මේ දිස්ත්‍රික්කයේ වෙනස්කම් රාශියක් අපි කළා. යුදගනාවට පාසලක් තිබුණේ නැහැ. මම 1989 වසරේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදියට යුදගනාවට අලුතින් පාසලක් හදලා දුන්නා. ජනාධිපතිවරයෙක් වුණාම ඇමතිවරයෙකුට, මන්ත්‍රීවරයෙකුට වඩා වැඩ කළ යුතු වෙනවා.

“ඒ නිසා තමා මම අලුත් ව්‍යාපෘතියක් පටන් ගත්තේ. ඒ අනුව මං කිව්වා වගේ දැනට පාසල් 150ක වැඩ ඉවරයි. මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේත් කරන්න තියෙන වැඩ, ඉවර වෙලා තියෙන වැඩ ආදියේ නම් ලයිස්තුවක් මට කියන්න පුළුවන්. අපි පොළොන්නරු දිස්ත්‍රික්කයේ රෝහල් සංවර්ධනය කරලා තියනවා. මැදිරිගිරියට පමණක් පහුගිය අවුරුදු දෙක තුන තුළ මම ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් ලබාදී තිබෙනවා. මම සෞඛ්‍ය ඇමති වී ඉන්න කාලෙ අඩුපාඩුකම් රාශියක් ඉෂ්ට කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ දිස්ත්‍රික්කයේ ගම්වල තිබෙන පානීය ජල ප්‍රශ්නය, මාර්ග අලුත්වැඩියා කටයුතු ආදී වැඩකටයුතු රාශියක් අපට කරන්න තියෙනවා. ඒ වගේම කරලාත් තියෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිරිවෙන් 15යි තියෙන්නේ. ඒ 15න් පිරිවෙන් අටක අලුත් ගොඩනැගිලි හදලා වැඩ ඉවර කරලා තියෙනවා. සමහර ඒවා විවෘත කරලා තියෙනවා. ඉදිරි අවුරුද්දක දෙකක කාලය තුළ ඉතිරි පිරිවෙන් සියල්ලම අංගසම්පූර්ණ කරනවා.

“මේ වසරේ සිට රත්නපුර, කෑගල්ල ප්‍රදේශවල ජල ගැල්මෙන් එන ජලය උතුරුමැදට විශාල නළ මාර්ගවලින් යවන්න වැඩපිළිවෙළක් අපි සකස් කරලා තියනවා. හෙට ඉඳන් ගොවීන්ට බැංකුවලින් ණය ගන්න පුළුවන්. නියඟයට පත් වෙලා ඉන්න ජනතාවට බිත්තර වී අපි නොමිලේ ලබාදෙනවා. ඒවගේම ජලය සපයන්න බලාපොරොත්තු වෙනවා.

“මේ රටේ වෙලා තියෙන්නේ ‘හොරා කවුද?’ කියලා මිනිස්සු දන්නවා. ඒත් හොරා පස්සෙම මිනිස්සු දුවනවා. ඉතින් අපි ඒ තත්වය වෙන්න ඉඩ දෙන්නෙ නැහැ. අපට ඕන විනයගරුක සමාජයක්. හොඳ රටක්.”
අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් මෙහිදී ජනතාව ඇමතූහ.

මාතෘකා