රාජපක්ෂට එරෙහි වූ සමස්ත බහුතර පුරවැසියන් පිළිබඳව අපට වගකීමක් තිබෙනවා : ඇමති මංගල | ඇස පාදන රැස


රාජපක්ෂට එරෙහි වූ සමස්ත බහුතර පුරවැසියන් පිළිබඳව අපට වගකීමක් තිබෙනවා : ඇමති මංගල

 ඡායාරූපය:

රාජපක්ෂට එරෙහි වූ සමස්ත බහුතර පුරවැසියන් පිළිබඳව අපට වගකීමක් තිබෙනවා : ඇමති මංගල

මෙරට බහුතර ප්‍රගතිශීලීන්ගේ සම්මුතියෙන් ඉදිරිපත් වූ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දර්ශනයට 2015 ජනවාරි 8 වෙනිදා ශ්‍රී ලාංකිකයෝ සියයට 51ක් තම ඡන්දය පළ කළහ. එහි ප්‍රතිඵල වශයෙන් මෙරට පැවති ඒකාධිපති ආඥාදායකත්වය අවසන් වූයේය. එහෙත් එය අවසන් වූයේ නිකන්ම නොවේ. ප්‍රථමයෙන් එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් දේශපාලනඥයින්, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ජාතික සංධානය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ ආදී දේශපාලන පක්ෂ එහිදී එක් තැනක එකට සිටගත්හ. දේශපාලන හා සමාජ ක්‍රියාකාරික කණ්ඩායම්ද තිහකට අධික සංඛ්‍යාවක් ඒ තැන එකට සිටියහ. ඔවුන් පෙළගැසුණේ භීතිය වෙනුවට නීතිය රජයන සමාජයක් වෙනුවෙනි. ඉදින් ඔවුන් එදා පෙරට තැබූ අඩිය දැන් ආපිට හැරවිය නොහැකිය. දැන් කළ යුත්තේ එක පවුලක් හෝ ඔවුන්ගේ අතවැසියන්ට පමණක් සේවා සපයන රජයක් වෙනුවට පොදු මහජනතාවට සේවය සපයන රජයක් වෙනුවෙන් යළි අප එකාවන්ව පෙළගැසීමය.

රාජ්‍ය සේවය ස්වාධීන කිරීම, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සහ නීති පද්ධතිය තුළ සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් අපි ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමට පොරොන්දු වීමු. අද මහජනතාව අප පොරොන්දු වූ කාරණා අවශ්‍ය පමණ ඉටු නොකළ බව ඡන්ද ප්‍රතිඵලයෙන් පවසා ඇත.

අබලන්ව පැවති යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය යළි ගොඩනැංවීම සඳහා කඩිනම් සහ ස්වාධීන ක්‍රියාමාර්ග ගැනීමට අපි පසුගිය වසර තුන තුළදී කටයුතු කළෙමු. සංකීර්ණ අපරාධ, මිනීමැරුම් සහ වංචා විමර්ශනය කිරීම සඳහා අවශ්‍ය වූ උපකරණ සහ තාක්ෂණය ලබා දී පොලිසිය බල ගැන්වීමට අපි කටයුතු කළෙමු.

වැරැද්දක් පිළිබඳ චෝදනාවක් ලද විගස අමාත්‍යවරුන් වුව සිය ධුරයෙන් ඉවත් කරන ලද ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම රජය බවට අපි පත් වීමු. ඇත්ත වශයෙන්ම රජයේම පාර්ශ්වකරුවන් සම්බන්ධ චෝදනා විමර්ශනය කර ස්වාධීනව නීතිය ක්‍රියාත්මක කළ ප්‍රථම රජය අපි වීමු. නමුත් ජනතාව අප සිදු කළ වැඩ කොටස ප්‍රමාණවත් නොවන බව පවසා ඇත.

ජනතාවගේ ඡන්ද ප්‍රතිඵලයෙන් මෙම පණිවුඩය එජාපයට තදින්ම දැනී ඇති අතර අපි වසර තුනකට පෙර වූ පොරොන්දු ඉටු කිරීමටත්, මහජන විශ්වාසය පවත්වා ගැනීමටත් දැඩිව අදිටන් කරගෙන සිටිමු. කෙසේ වුව පසුගිය සෙනසුරාදා අප දුටු විශිෂ්ට කාරණා දෙකක් නිසා ශ්‍රී ලාංකිකයින් වශයෙන් අපට ආඩම්බර විය හැකිය. පළමුවැන්න නම් ස්වාධීන මැතිවරණ කොමිසම සහ පොලිසියේ අනුග්‍රහය යටතේ මැතිවරණයක් පැවැත්වීමයි. රාජ්‍ය සේවකයන්, අරමුදල්, සම්පත් සහ රාජ්‍ය මාධ්‍ය ආණ්ඩුවේ දේශපාලන න්‍යායපත්‍රයෙන් තොරව හැසිරවීම මින් පෙර මෙරට කිසිදු රජයක් විසින් සිදු කර නොමැත. මෙම ස්වාධීන ආයතන යටතේ අප අපගේ මැතිවරණයට බාධා කරන දූෂණය, බියගැන්වීම් හා ප්‍රචණ්ඩත්වය පිළිබඳ අවසන් වතාවට ශ්‍රී ලංකාව දැක තිබේ. මෙම ස්වාධීන ආයතන යටතේ ස්වාධීන මැතිවරණවලට බාධා කරන දූෂණය, බිය වැද්දීම් සහ ප්‍රචණ්ඩත්වය ආදිය අප සහමුලින් අවසන් කර ඇත.

2015 ජනවාරි මාසයේදී සිය ජනාධිපතිවරණ සටන තුළදී රුපියල් මිලියන 5.77ක් (47.6%) ඡන්ද ලබා ගැනීමට සමත් වූ ඒ මහින්ද රාජපක්ෂම, පසුගිය සතියේ පැවති මැතිවරණයේදී ඡන්ද මිලියන 4.95ක් වත් ලබා ගැනීමට අසමර්ථ වූ බව ඉතා පැහැදිලි කාරණයකි. අප වෙනුවෙන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ 46%ක් වූ ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් පමණක් නොව, නැවත රාජපක්ෂ පාලනයක් පැමිණීම වැළැක්වීම උදෙසා ඡන්දපොළට ගිය මිලියන 6.1ක් වූ (55.3%) සමස්ථ බහුතර පුරවැසියන් පිළිබඳව අත් නොහැරිය හැකි භාරධුර වගකීමක් එක්සත් ජාතික පක්ෂය පිට පැටවී ඇත. පොරොන්දු සහ වගකීම් නිවැරදිව ඉටු කිරීම මගින් අපගේ ඡන්ද දායකයන් පිරිස තවදුරටත් නංවා ගනිමින් අවංක සහ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන කණ්ඩායම් සමඟ අත්වැල්බැඳ අපගේ මාතෘ භූමිය ඔසවා තැබීමත්, මැර බලයෙන් පාලනය කරන යුගයක් නැවත මෙරට ඇති වීම වැළැක්වීමත් අපේ ප්‍රමුඛ වගකීම වේ. එ් වගකීම අනුව කටයුතු කිරීමට අප අදිටන් කර සිටින අතර එහිලා අප කෙසේවත් අසමත් නොවිය යුතුය. මන්ද අපගේ ප්‍රජාතන්ත්‍රවාදය, අපගේ ජනරජය එම අභිප්‍රාය මත රඳා පවතින නිසාය.

මාතෘකා