එජාපය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැප වෙනවා

 ඡායාරූපය:

එජාපය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැප වෙනවා

පා.ම. අකිල විරාජ්

වර්තමානයේ ඇති වී තිබෙන දේශපාලන අර්බුදකාරී තත්ත්වයට එක්සත් ජාතික පක්ෂයේ බොහෝ පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා පක්ෂයත්, ප්‍රජාතන්ත්‍රවාදයත්, රටක් ආරක්ෂා කිරීම වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග සහ කැපකිරීම් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා ලෙස තමා කෘතවේදීව සිහිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (06) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ ආයතන සංවිධානය කොට නැවත ශක්තිමත් කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද විශේෂ රැස්වීමක් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

“ඇතැම් අවස්ථාවලදී තමා වෙනුවෙන් කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොලබන පුද්ගලයන් පවා මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂය වටා එක් වෙමින් විශාල කැපකිරීමක් සිදු කරනවා. පසුගිය කාලය මුළුල්ලේම එක්සත් ජාතික පක්ෂය විසින් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් බොහෝමයකට ජනාධිපතිවරයා විසින් අකුල් හෙලමින් කටයුතු කිරීම කනගාටුදායක තත්ත්වයක්.

“බොහෝ අවස්ථාවලදී ජනතා ප්‍රසාදය එක්සත් ජාතික පක්ෂයට ලැබේය යන බිය හේතුවෙන් ජනාධිපතිවරයා මෙම බාධා කිරීම සිදුකළ බව පැහැදිලියි. මම නායකත්වය ලබා දෙමින් ක්‍රියාත්මක කළ වෙහෙර විහාරස්ථාන දොළොස් දහසක් ප්‍රතිසංස්කරණය කිරීමේ “සසුනෝදය වැඩසටහන” නතර කර දැමීම ඊට හොඳම නිදසුනක්. විවිධ කණ්ඩායම් විසින් එක්සත් ජාතික පක්ෂය පිළිබඳ ගෙන යන දුර්මත පරාජයට පත් කරමින් යථාර්ථය සමාජගත කිරීමත්, නීතිය ප්‍රජාතන්ත්‍රවාදය සහ සාධාරණත්වය සමාජය තුළ ස්ථාපිත කිරීමත් අරමුණු කර ගනිමින් මෙම අනුබද්ධ සංවිධාන සියල්ල තවදුරටත් පුළුල් කරමින් ප්‍රතිසංවිධානය කිරීමට නියමිතයි.”

මාතෘකා