පාර්ලිමේන්තුවේ කටයුතු සොයා බැලීමට කොමිසමක් පත් කළ යුතුයි

 ඡායාරූපය:

පාර්ලිමේන්තුවේ කටයුතු සොයා බැලීමට කොමිසමක් පත් කළ යුතුයි

පා.ම. මහින්ද යාපා අබේවර්ධන

පාර්ලිමේන්තුව තුළ මේ දිනවල සිදුවන කටයුතු පිළිබඳව කොමිසමක් පත්කර පරීක්ෂණ සිදුකරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. ඊයේ (06) බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

“එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රටේ ආර්ථිකය වගේම රටේ ස්වාධිපත්‍ය පාවා දෙන වැඩසටහනක නියැළී සිටින බව දක්නට ලැබෙනවා. මේ වන විට බලය රැක ගැනීම සඳහා ඕනෑම පාවා දීමක් සිදු කරන තැනකට එක්සත් ජාතික පක්ෂය පැමිණ තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය විසින් ඕනෑම තානාපති කාර්යාලයක් ඉදිරියට ගොස් දණ ගසා සිටීමටද සූදානම්ව සිටිනවා. මෙම තත්ත්වයට රට ඇද දැමීම සිදු කරමින් රට ගෙන ඒම සිදු කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයයි. මෙතෙක් කාලයක් පාර්ලිමේන්තු ඉතිහාසයේ කිසිදු රටක සිදු නොවුණු අයුරින් ප්‍රජාතන්ත්‍ර විරෝධී, ස්ථාවර නියෝග විරෝධී සේම පාර්ලිමේන්තු සම්ප්‍රදාය විරෝධී රැස්වීම් රාශියක් මේ වන විට පවත්වා තිබෙනවා. මෙම තත්ත්වය සමනය වීමෙන් පසු ස්ථීර ආණ්ඩුවක් බිහි වූ දිනයට පාර්ලිමේන්තුව තුළ මෙතෙක් ගත් අවිචාරශීලී ක්‍රියාවලියට කථානායකවරයා ඇතුළු මේ සඳහා සම්බන්ධ වූ සියලු දෙනාට වගකීමට සිදු වන බව පැවසිය යුතුයි.”

මාතෘකා