අපේ කාලේ හොඳයි : පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ

 ඡායාරූපය:

අපේ කාලේ හොඳයි : පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ

ආණ්ඩු දෙකම එකයි නේද හිටපු ඇමැතිතුමා...?
ඇයි එහෙම කියන්නෙ.

පහුගිය ආණ්ඩුව කාලෙත් පාර්ලිමේන්තුවෙ යකා නැටුවා. මේ ආණ්ඩුව කාලෙත් යකා නටනවා...?
එහෙම තමයි, යුරෝපයෙ පාර්ලිමේන්තුවලත් එහෙම වෙනවා.

එතකොට යුරෝපයේ එහෙම වෙන හින්දා අපෙත් වෙන්න ඕනෙ...?
නෑ. නෑ. ඒක නෙමෙයි මං කියන්නෙ. මේ කතානායකවරයාගෙ දුර්වලකම හින්දා තමයි මේක වුණේ.

කතානායකවරයා එච්චර දුර්වලද...?
ඔව්. බලන්න මේ සිදුවීම. කලබල ඇති වෙනවා කියලා දැන දැනත් කතානායකවරයා පාර්ලිමේන්තුව කල්තියන්නෙ නැතුව දිගටම අරගෙන යන්න හැදුවා. මේක සැලසුමකට කරපු වැඩක්.

කාගෙද සැලසුම...?
ආණ්ඩුවෙ තමයි. වෙන කාගෙද?

කොහොමද ඔච්චර විශ්වාසෙන් කියන්නෙ...?
සිද්ධ වුණු දේ අපි දැක්කනෙ. අගමැතිවරයට වැඩේ කරගෙන යන්න දුන්නෙ මේක අවුල් කරන්නම තමයි.

හරි. එහෙමයි කියමුකො. එතකොට පාර්ලිමේන්තුවෙ මෙච්චර කාලෙකට වුණු හැම ගැටුමම සැලසුම් ද...?
ඒක මම කියන්න දන්නෙ නෑ. හැබැයි කතානායකවරු ඒවාට වගකියන්න ඕනෙ. පාර්ලිමේන්තුව පාලනය කරගන්න බැරි නම් කතානායකකමෙන් වැඩක් තියෙනවද?

පහුගිය ආණ්ඩුව කාලෙ පාර්ලිමේන්තුවෙ ගැටුම් සිද්ධ වුණේ නැද්ද...?
මේ වගේ සැලසුම් හදලා පාර්ලිමේන්තුවේ වැඩ අවුල් කළේ නෑ.

හොඳටම ෂුවර් නෙ...?
මෙහෙමයි, යම් යම් සිදුවීම් වුණා. ඒත් ඒවා දුරදිග ගියෙ නෑ.

මේ සිද්ධියෙයි, ඒවගෙයි මොනව හරි වෙනසක් තියෙනවද...?
ඔක්කොම එකයි. ඒත් මේක එහෙම පිටින්ම සැලසුමක් කියලා පේනවා.

ඒ කියන්නෙ මේක සැලසුමක්, ඒ කාලෙ ඒවා ක්ෂණික ගේම්...?
එහෙම එකක් වුණා කියලා මං නම් හිතන්නෙ නෑ. එක එක වෙලාවට කට්ටිය වැඩ කරන විදිහ වෙනස් නෙ.

වැඩ කරන විදිහ කෙසේ වෙතත් කට්ටියම ලැජ්ජා වෙන්න ඕනෙ නේද හිටපු ඇමැතිතුමා...?
ඒක නම් මමත් පිළිගන්නවා. මන්ත්‍රීවරු ඔක්කොම මේකට වගකියන්න ඕනෙ.

ඉතින් මන්ත්‍රීවරු ඔක්කොම වගකියන්න ඕනෙ එකක් කතානායකවරයා පිටින් යවන එක විතරක් හරි ද...?
මං කියන්නෙ කතානායකවරයාට මේක පාලනය කරන්න පුළුවන් වෙන්න ඕනෙ. මරික්කාර් පිටිපස්සෙන් ඇවිත් මගේ පිටට ගැහුවා. ගහලා දිව්වා. ඒක කොයිතරම් පහත්ද කියලා බලන්න.

උත්තරීතරයි කියපු පාර්ලිමේන්තුව පහළට වැටිලා හුඟක් කල් හිටපු ඇමැතිතුමා...?
ඇත්ත. ඇත්ත. ඒත් අපේ කාලෙ මේවා මේ විදිහට වුණේ නෑ.අපේ කාලෙ පාර්ලිමේන්තුව හොඳයි

මාතෘකා

ජනප්‍රිය ලිපි