සිහිවටන

 ඡායාරූපය:

සිහිවටන

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉන්දීය නිල සංචාරය අතරතුරදී පසුගිය සිකුරාද ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදීගෙන් රාමුකරන ලද සමූහ ඡායාරූපයක් සිහිවටනයක් ලෙස ලැබුණි. එම ඡායාරූපයේ පසුබිම් කතාව මෙසේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දියාවේ ආරක්ෂක සේවා කාර්යමණ්ඩල විද්‍යාලයේ (Defence Services Staff College) පාඨමාලාවක් හදාරන අවදියේ එහි සිටි ඔහුගේ ඉන්දියානු මිතුරෙකු වූ විජේ කුමාර් සිංට පසු කලෙක ඉන්දියානු හමුදා ප්‍රධානියා බවට පත් වන්නට හැකි වූ අතර ඔහු මේ වනවිට භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් අගමැති මෝදිගේ කැබිනෙට්ටුවේ මාර්ග ප්‍රවාහන හා මහාමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි. විශේෂත්වය නම් සමූහ ඡායාරූපයේ තරුණ ගෝඨාභය රාජපක්ෂ සහ ජෙනරාල් V.K. සිං යන දෙදෙනාම දැකගත හැකි වීමයි. මෙම සමූහ ඡායාරූපය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ලබාදුන්නේ ජෙනරාල් V.K සිං වන අතර එම ඡායාරූපය සමරු තිළිණයක් ලෙස අග්‍රාමාත්‍ය මෝදි, ජනපති ගෝඨාභය රාජපක්ෂ වෙත තිළිණ කළේය. මෙය තහවුරු කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙටි පණිවිඩයක් එවා තිබුණේ මෙසේය.

" Yes. Photo was taken at the Staff College when I was following the course. My course mate who became the Army Chief later , is now a minister in Modi's cabinet. He is the minister in attendance in this visit."

ලෝකය ඉතා කුඩා ස්ථානයක් බවත් ඔබ අසල සිටින ඔබගේ මිතුරා මතුයම් දිනෙක රටක රාජ්‍ය නායකයකු විය හැකි බවත් මෙම ඡායාරූපය නිදසුන් සපයයි.

සටහන [සොනාල ගුණවර්ධන]

මාතෘකා