ශ්‍රී ලංකා - සිම්බාබ්වේ අවසන් ටෙස්ට් තරගය : ශ්‍රී ලංකා පිතිකරුවෝ මුල් කඩුලු විසිකරති

 ඡායාරූපය:

ශ්‍රී ලංකා - සිම්බාබ්වේ අවසන් ටෙස්ට් තරගය : ශ්‍රී ලංකා පිතිකරුවෝ මුල් කඩුලු විසිකරති

සිම්බාබ්වේ කණ්ඩායම තම පළමු ඉනිම වෙනුවෙන් රැස්කළ ලකුණු 406ට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පුවත් පත මුද්‍රණයට යන අවස්ථාව වනවිට කඩුලු දෙකක් දැවී ලකුණු 118ක් ලබා සිටියේය. ඒ වනවිට වර්ෂාව නිසා තරගය නතර කර තිබිණි. එ් වනවිට කඩුල්ලේ රැඳී සිටියේ ඇන්ජලෝ මැතිව්ස් (03) හා කුසල් මෙන්ඩිස් (16) ය. නායක දිමුත් කරුණාරත්න හා ඔෂධ ප්‍රනාන්දු එක්ව ශ්‍රී ලංකා මුල් කඩුල්ල වෙනුවෙන් ලකුණු 94ක සම්බන්ධතාවයක් පැවැත්වූ නමුත් පළමු කඩුල්ල ලෙස දැවී ගියේ ශ්‍රී ලංකා නායකයාය. ශිකන්ධර් රාෂාගේ පන්දුවකට කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවී ඔහු දැවී යද්දී දිමුත් ලකුණු 44ක් රැස්කර සිටියේය. ඊට ස්වල්ප මොහොතකට පසු ඔෂධ ප්‍රනාන්දුද 44කටම දැවී ගියේ ලකුණු පුවරුවේ ලකුණු 104ක් වශයෙන් සටහන් වද්දීය.

පෙරේදා තරගය නතර කරනවිට ආක්‍රමණකාරී ඉනිමක් දියත් කරමින් සිටි සත්කාරක සිම්බාබ්වේ පිල කඩුලු හයක් දැවී ලකුණු 352ක් රැස්කර තිබුණේය. නායක ෂෝන් විලියම්ස් ශතකයක් රැස්කිරීමට සමත් වූ අතර ඊයේ දිනයේදී රෙගීස් චකබාවා හා ටිනොටෙන්ඩා මුටොම්බොඩ්ෂි කඩුල්ලේ තැන්පත් වෙමින් ලකුණු පුවරුව ඉහළ දැමීමට උත්සහ කළහ. එහෙත් ඔවුන්ගේ උත්සහය ව්‍යර්ථ කළේ ලසිත් ඇඹුල්දෙණියයි. ඒ චකබාවාගේ කඩුල්ල දවාගනිමිනි. නිරෝෂන් දික්වැල්ල අතට උඩපන්දුවක් ලබාදීමෙන් චකබාවා දැවී යද්දී ඊට සුළු වේලාවකට පසු මුටොම්බොඩ්ෂිගේ කඩුල්ල අනෙක් දඟ පන්දුයවන්නා වන ධනංජය ද සිල්වා දවාගත්තේය. ඉන්පසු බිඳ වැටුණු කඩුලු දෙකටම වගකිව්වේ ලසිත් ඇඹුල්දෙණියයි. ඒ අනුව පළමු දිනය පුරා සත්කාරක පිතිකරුවන් අතින් සැලසුම්සහගත ප්‍රහාරයකට ලක්වූවද ශ්‍රී ලාංකික දඟ පන්දුයවන්නා වන ඇඹුල්දෙණිය සිම්බාව්වේ ඉනිම අවසන් වනවිට කඩුලු හතරක් තම කඩුලු පැසට දමාගැනීමට සමත්ව සිටියේය. දැවී ගිය සිම්බාබ්වේ කඩුලු වලින් කඩුලු තුනක් ධනංජය ද සිල්වා සතුවූ අතර සුරංග ලක්මාල් කඩුලු දෙකක් හා ළහිරු කුමාර එක් කඩුල්ලක් බැගින් වන ලෙස බෙදාගෙන තිබිණි.

පළමු ටෙස්ට් තරගයේ මන්දගාමී පිතිහරඹය හේතුවෙන් අවාසි සහගත තත්ත්වයක් ඇතිකරගත් හෙයින් දෙවැනි තරගයේදී ආක්‍රමණශීලී ලෙස ක්‍රීඩා කිරීමට සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම තීරණය කර තිබුණේ මුල සිටය. ඒ හේතුවෙන් තරගයේ පළමු දිනයේ සිට වේගයෙන් පන්දුවට පහරදුන් ඔවුහු ලකුණු 400 සීමාව ඉක්මවා යාමට සමත් වූයේ ශ්‍රී ලංකා පන්දුයවන්නන්ටද අභියෝග කරමිනි. තරගයේ පාලනය සියතේ තබාගැනීමේ අරමුණින් යුතුව කෙසේ හෝ තරගය ජයගැනීමේ අරමුණෙන් කැරැල්ලක් මෙහෙයවන්නට තමන් සූදානම් බව සිම්බාබ්වේ ක්‍රීඩකයන් ප්‍රකට කරවන දැඩි විශ්වාසය ඔවුන්ගේ පළමු ඉනිම පුරා විද්‍යාමාන විය.

ලකුණු සාරාංශය

සිම්බාබ්වේ (ෂෝන් විලියම්ස් 107, ශිකන්ධර් රාසා 72, බ්‍රෙන්ඩන් ටේලර් 62, කෙවින් කසූෂා 38, ලසිත් ඇඹුල්දෙණිය 4/182, සුරංග ලක්මාල් 2/37, ධනංජය ද සිල්වා 3/71, ළහිරු කුමාර 1/60)

ශ්‍රී ලංකාව පළමු ඉනිම (වර්ෂාව හේතුවෙන් තරගය නතර කරනවිට පුවත්පත මුද්‍රණයට යන අවස්ථාවේදී ) 119/2 ( දිමුත් කරුණාරත්න 44, ඔෂධ ප්‍රනාන්දු 44, කුසල් මෙන්ඩිස් (නොදැවී) 16, ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී)04, ශිකන්දර් රාෂා 1/36, ඩොනල්ඩ් ට්‍රිපානෝ 1/5)

News Order: 
2
මාතෘකා