නැගී එන ක්‍රීඩකයන් අටක් ඔස්ට්‍රේලියාවට

 ඡායාරූපය:

නැගී එන ක්‍රීඩකයන් අටක් ඔස්ට්‍රේලියාවට

මෙම වසරේ සිට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් 08 දෙනෙකුට ඔස්ට්‍රේලියාවේ දේශීය ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමට අවස්ථාව හිමිව තිබේ. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ඔස්ට්‍රේලියාවේ, මෙල්බර්න්හි නුවර පිහිටා ඇති ඩැන්ඩිනොන් දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය සමඟ ඇතිකරගත් අවබෝධතා ගිවිසුමකට අනුවය. අදාළ තරගාවලිය මගින් දේශීය ක්‍රීඩකයන්ගේ ගුණාත්මක භාවය දියුණු කරලීම අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.

අත්සන් කරන ලද අදාළ අවබෝධතා ගිවිසුමට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තෝරාගනු ලබන නැගී එන ක්‍රීඩකයින්ට සෑම වසරකම ඔක්තෝබර් මස සිට මාර්තු මාසය දක්වා විහිදෙන පූර්ණ ක්‍රිකට් තරගාවලියකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාවේ. ඊට අවශ්‍ය සියලු පහසුකම් ඩැන්ඩිනොන් දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය විසින් සපයා දෙන බව ගිවිසුමට අනුව සඳහන්ය.

තරගාවලිය නියෝජනය කරනු ලබන සියලු ක්‍රීඩකයින් සඳහා ක්‍රීඩා සමාජ සපයා දීම ඩැන්ඩිනොන් ක්‍රිකට් සමාජයේ වගකීම වන අතර ක්‍රීඩා සමාජයේ සාමාජිකත්වය, නවාතැන් පහසුකම්, ඇඟලුම්, පුහුණුවීම් සහ තරග සඳහා ගමනා ගමන පහසුකම් සති පතා ලබාදීමද අදාළ ගිවිසුමට අයත්ය. මේ සියල්ලට අමතරව ක්‍රීඩකයින්ට සති පතා මූල්‍යමය දීමනාවක්ද එම ක්‍රීඩා සමාජය විසින් ක්‍රීඩකයන්ට ලබාදීම විශේෂත්වයකි.

සුපුරුදු පාරිසරික තත්ත්වයන්ට පරිබාහිරව යමින් ක්‍රීඩකයින්ට ක්‍රීඩා කිරීමේ අවස්ථාව සලසාදීම මෙම අවබෝධතා ගිවිසුමේ මූලික ඉලක්කය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. එමන්ම වෙනස් තරග ආකෘතීන් යටතේ ක්‍රීඩා කිරීමේදී ක්‍රීඩකයින්ගේ පෞද්ගලික කුසලතාවයන් ද වර්ධනය කර ගැනීමට අවස්ථාව සැලසීම මෙහි තවත් අරමුණකි.

මෙම අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලේකම් මොහාන් ද සිල්වා මහතා සහ ඩැන්ඩිනොන් ක්‍රිකට් සංගමයේ සභාපති මයිකල් හෝකින් ඉකුත්දා ඔස්ට්‍රේලියාවේදී අත්සන් තබනු ලැබීය.

එම ගිවිසුම 2022 වසර දක්වා ක්‍රියාත්මක වන අතර ඒ අතරතුර 2021 වසරේදී ඩැන්ඩිනොන් ක්‍රිකට් සංගමය විසින් වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගිකරවීමට නියමිතය. එම තරග සංචාරයේ පැවැත්වීමට නියමිත තරග වෙනුවෙන් ක්‍රීඩාංගණ පහසුකම්, ඉහළ කාර්ය සාධන පුහුණු සැසි මෙන්ම විශේෂඥ පුහුණුකරුවන් සමඟ කටයුතු කිරීමේ අවස්ථාව සංචාරක කණ්ඩායමට සලසා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟත්වය පළකර ඇත.

[ශ්‍යාමලී නිශාන්ති ]

News Order: 
1
මාතෘකා