ශ්‍රී ලංකා ඩිෆෙන්ඩර්ස් හා භූතාන පාරෝ තරගයේ ගෝල සමවෙයි

 ඡායාරූපය:

ශ්‍රී ලංකා ඩිෆෙන්ඩර්ස් හා භූතාන පාරෝ තරගයේ ගෝල සමවෙයි

ආසියානු පාපන්දු සම්මේලන කුසලාන ක්‍රීඩා සමාජාන්තර පාපන්දු තරගාවලියේ මූලික අදියර යටතේ ශ්‍රී ලංකා ඩිෆෙන්ඩර්ස් හා භූතාන පාරෝ පාපන්දු ක්‍රීඩා සමාජ කණ්ඩායම් අතර පෙරේදා රාත්‍රියේ (22) කොළඹ තුරඟ තරග පිටියේ පැවැති පළමු අදියර ජය පැරදුමෙන් තොරව අවසන් විය.

ඒ දෙපිලම ගෝල තුන බැගින් රැස්කිරීමත් සමඟය. තරගයේ පළමු අර්ධයේ පස් වැනි මිනිත්තුවේදී ගෝලයක් රැස්කිරීමට ඩිෆෙන්ඩර් ක්‍රීඩක චමීර සජිත් සමත්විය. එයට එකට එක කරමින් භූතාන පාරෝ ක්‍රීඩක ඩී. පැබසෝ ශ්‍රී ලංකා ආරක්ෂක පිලේ දුර්වලතා අතරින් රිංගා ගොස් ගෝලයක් රැස්කළේ 12 වැනි මිනිත්තුවේදීය.

24 වැනි මිනිත්තුවේදීද පාරෝ පිලේ ජී. චෙන්චෝ තවත් ගෝලයක් රැස්කළ අතර 37 වැනි මිනිත්තුවේදී ඒ. එවන්ස් ඩිෆෙන්ඩර්ස් වෙනුවෙන් දෙවැනි ගෝලය රැස්කළේය. තරගයේ පළමු අර්ධය අවසන් වීමට ප්‍රථමව ෆැබසූ විසින් තවත් ගෝලයක් රැස්කළේ පළමු අර්ධයේ නාස්තිවූ කාලය වෙනුවෙන් ලබාදුන් අතිරේක කාලය ප්‍ර යෝජනයට ගනිමිනි.

ඉන්පසු පන්දුව දෙපිල අතර හුවමාරුවෙමින් තිබුණද 79 වැනි මිනිත්තුවේදී නායක සුනිල් රොෂාන් තෙවැනි ගෝලය රැස්කළේය. එහි දෙවැනි අදියර පැවැත්වීමට නියමිතව ඇත්තේ භූතානයේදීය. ඒ සඳහා සහභාගිවන ශ්‍රී ලංකා ඩිෆෙන්ඩර්ස් කණ්ඩායම 29 වැනිදා භූතානයේදී තරග වදිනු ඇත.

[ශ්‍යාමලී නිශාන්ති]

News Order: 
3
මාතෘකා