ශ්‍රී ලංකා - සිම්බාබ්වේ පළමු ටෙස්ට් තරගය : ශ්‍රී ලංකාවට කඩුලු දහයක විශිෂ්ට ජයක් තරගයේ වීරයා මැතිව්ස්

 ඡායාරූපය:

ශ්‍රී ලංකා - සිම්බාබ්වේ පළමු ටෙස්ට් තරගය : ශ්‍රී ලංකාවට කඩුලු දහයක විශිෂ්ට ජයක් තරගයේ වීරයා මැතිව්ස්

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු දහයක විශිෂ්ට ජයක් හිමිකරගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (23) සමත්විය. සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සත්කාරකයන් ලකුණු 14ක පහසු ඉලක්කයක් ලබාදුන්නේය. ජයග්‍රහණය සඳහා ඔවුන් ලබාදුන් එම පහසු ඉලක්කය කිසිදු කඩුල්ලක් නොදැවී සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෝ සමත් වූහ. නායක දිමුත් කරුණාරත්න එක් හතරේ පහරක් සමඟ නොදැවී ලකුණු 10ක් ලබාගත් අතර ඔෂද ප්‍රනාන්දු නොදැවී ලකුණු 4ක් රැස්කරමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය ළඟා කළහ.

පෙරේදා දිනයේ පස්වරු භාගයේදී ඇන්ජලෝ මැතිව්ස් ද්විත්ව ශතකය රැස් කළ පසු තම පළමු ඉනිම අත්හිටවුවීමට ශ්‍රී ලංකා පිල තීරණය කළේය. ඒ වනවිට සත්කාරකයන්ගේ පළමු ඉනිමට වඩා සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 157ක වාසියක් ලබාගැනීමට සංචාරකයෝ සමත්ව සිටියහ. එම වාසියත් සමඟ සංචාරකයන්ට අභියෝග කිරීම ඇරූ සංචාරකයන් තරගය තුළට රැගෙන ඒමට මූලිකත්වය ගත්තේ කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දුයවන්නා වන සුරංග ලක්මාල්ය. ඔහු සත්කාරකයන්ගේ මුල් කඩුලු 4ටම වගකියන්නට සමත් වූයේය. ඒ අනුව බ්‍රයන් මුඩ්සිගැන්යාමා, ක්‍රෙග් අර්වින් හා බ්‍රෙන්ඩන් ටේලර්ගේ කඩුලු ඔහු ගොදුරු කරගත්තේය. සත්කාරකයන් පරාජයෙන් ගලවා ගැනීම ඉලක්ක කරගනිමින් පිත්ත හැසිරවූ සිම්බාබ්වේ නායක සියැන් විලියම්ස් ලකුණු 39ක් රැස්කර සිටියදී කසුන් රාජිත දවාගත්තේය.

පළමු ඉනිමේ කඩුලු පහක් බිඳදැමූ ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුහමුවේ අවස්ථා කීපයකදීම ප්‍රතිවාදී පිතිකරුවන් අර්ධ අවස්ථාවන් ලබාදුන්නද ඒවා ඩැහැගැනීමට ශ්‍රී ලංකා පන්දුරකින්නන්ට හැකි නොවීය. එහෙයින් ඉනිමකින් ජය ලැබීමට ගත් උත්සහය සංචාරකයන් අතින් ව්‍යර්ථවී ගියේය. ශ්‍රී ලංකාව හමුවේ ඉනිමක පරාජයෙන් ගැලවීමට සත්කාරකයන් වෙනුවෙන් කොන්දේසි විරහිත සටනක නිරතවුණේ රෙගිස් චකබ්වායි. කඩුල්ලේ එක් අන්තයක් ඔහු ආරක්ෂා කරමින් ක්‍රීඩා කළද ළසිත් ඇඹුල්දෙණිය එය බිඳ දැම්මේ ලකුණු 26කටය. ළහිරු කුමාර කඩුලු 3ක් දවාගනිමින් සිම්බාබ්වේ ඉනිම විනාශ කර දැමීය. පළමු ඉනිමේ නොදැවී ද්විත්ව ශතකයක් ලැබූ ඇන්ජලෝ මැතිව්ස් තරගයේ වීරයා වශයෙන් සම්මාන ලැබීය.අ

සිම්බාබ්වේ පළමු ඉනිම 349/9

(ක්‍රෙග් අර්වින් 85, කෙවින් කසූෂා 63, ප්‍රින්ස් මැස්වේර් 55, ශිකන්දර් රාෂා 41,ඩොනල්ඩ් ට්‍රිපැනෝ (නොදැවී) 44,

ලසිත් ඇඹුල්දෙණිය 5/114, සුරංග ලක්මාල් 3/53, ළහිරු කුමාර 2/82)

සිම්බාබ්වේ දෙවැනි ඉනිම 170

(සිඈන් විලියම්ස් 39, බ්‍රෙන්ඩන් ටේලර් 38,

සුරංග ලක්මාල් 4/27, ළහිරු කුමාර 3/32, ලසිත් ඇඹුල්දෙණිය 2/74, කසුන් රාජිත 1/23)

ශ්‍රී ලංකාව පළමු ඉනිම 515/9 (176.2දී)

ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී)200, කුසල් මෙන්ඩිස් 80, ධනංජය ද සිල්වා 63, කුසල් මෙන්ඩිස් 63, දිමුත් කරුණාරත්න 37, ඕෂධ ප්‍රනාන්දු 21,

වික්ටර් නයුචි 3/69, සිකන්දර් රාෂා 3/62, සේන් විලිම්ස් 2/104, ඩොනල්ඩ් ට්‍රිපානෝ 1/82)

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම

(කිසිදු කඩුල්ලක් නොදැවී) 14

(දිමුත් කරුණාරත්න (නොදැවී) 10, ඔසඳ ප්‍රනාන්දු (නොදැවී) 04 )

News Order: 
1
මාතෘකා