කුසල්ගේ නම හැලුණේ අතපසුවීමකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඇමතිට කියයි

 ඡායාරූපය:

කුසල්ගේ නම හැලුණේ අතපසුවීමකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඇමතිට කියයි

සිම්බාබ්වේ ටෙස්ට් සංචාරයට කුසල් ජනිත් පෙරේරාගේ නම ඇතුළත් නොවුණේ අතපසුවීමකින් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරයි. ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහ්පෙරුම මහතාට හා ක්‍රීඩා අමාත්‍යාංශ බලධාරීන් හමුවේ ඔවුන් මේ බව ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේ මේ බව තමන් ක්‍රීඩා අමාත්‍යවරයාට පැහැදිලිව දන්වා සිටි බවයි.

එම සංචාරය වෙනුවෙන් නම්කළ කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරා සිටි නමුත් අමාත්‍යවරයා වෙත යොමුකළ ලේඛණයෙන් ඔහුගේ නම ගිලිහී තිබූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීහු අමාත්‍යවරයා හමුවේ පවසා තිබිණි. එය අතපසුවීමක් බවත් මින් පසු කණ්ඩායම නම් කිරීමේදී කල්වේලා ඇතිව එය අධීක්ෂණය කර ඇමැති අනුමැතියට යොමුකරන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීහු එහිදී සපථ වූ බව සඳහන්ය.

පසුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ සිදුවූ ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් තමන් තුළ කිසිදු පැහැදීමක් නැතැයි ක්‍රීඩා අමාත්‍යවරයා මීට පෙර ප්‍රකාශ කළ හෙයින් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෙරේ දක්වන්නේ දැඩි අවිශ්වසනීයත්වයක් බව ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය. ‘ඔවුන්ගේ මෙවැනි වගකීම් විරහිත ක්‍රියාමාර්ග නිසා අනවශ්‍ය ගැටලු නිර්මාණය වෙනවා.

දයාසිරි ජයසේකර අමාත්‍යවරයාගේ සිටම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා අමාත්‍යාංශයෙන් දුරස්වෙන්න උත්සහ කළා. කණ්ඩායම නම්කර එවීමේදී ඔවුන් කටයුතු කළ ආකාරය නිසා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමක් ගුවන්තොටුපොළේ සිට යළි ගෙන්වා ගත්තා. සංචාරයට ගියාටත් පසුවයි ඔවුන් කණ්ඩායම ඇමැති අනුමැතියට එවන්නේ. මේක අද ඊයේ ඇතිවූ තත්ත්වයක් නොවෙයි.

ඉස්සර හිටපු පරිපාලන පවත්වාගෙන ගිය තත්ත්වයක්. එය වෙනස් කරගන්න පළමු පියවර තැබුවේ දයාසිරි ජයසේකර අමාත්‍යවරයායි. ඊට පස්සේ හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයාත් ක්‍රිකට් පරිපාලනය විධිමත් කරන්න මැදිහත්වුණා. දැන් ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා එය සිදුකරනවා. අපි හිතනවා දැන්වත් ක්‍රිකට් පරිපාලනය තමන්ගේ වගවීම අවබෝධ කරගෙන කටයුතු කරයි කියලා.’ යැයි ක්‍රීඩා අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් 'රැස' හා පැවසීය.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

News Order: 
3
මාතෘකා