පෙබරවාරි 15 වැනිදාට පෙර ක්‍රිකට් විකාශන ගිවිසුමට එළඹෙනවා

 ඡායාරූපය:

පෙබරවාරි 15 වැනිදාට පෙර ක්‍රිකට් විකාශන ගිවිසුමට එළඹෙනවා

සභාපති ශම්මි සිල්වා කියයි

පෙබරවාරි 15 වැනිදාට පෙර ක්‍රිකට් විකාශන ගිවිසුමට එළඹෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය. පසුගිය දින කීපයේ තමන් ඇතුළු නිලධාරීන් කීපදෙනෙක් එම ගිවිසුම පිළිබඳ උපදෙස් ලබාගැනීමට ඩුබායි හි පිහිටි අයි.සී.සී. මූලස්ථානයට ගොස් සිටි බවත් එහිදී සාකච්ඡා වූ කරුණුවලට අනුව කඩිනමින් අදාළ විකාශන ගිවිසුමට එළඹීට හැකියාව උදාවී ඇතිබවත් ප්‍රකාශ කළේය.

‘අපි මීට පෙර රූපවාහිනී විකාශන හිමිකම අලෙවි කිරීම සම්බන්ධයෙන් මැදිහත් වන ලෙසට අයි.සී.සී.යෙන් ඉල්ලීමක් කළා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධව ඔට්ටු අල්ලන්නන් හා තරග පාවාදෙන්නන් සිටින බවට අයි.සී.සී. ය විසින් පරීක්ෂණ ආරම්භ කළාට පසුවයි අපි මෙම තීරණයට එළඹියේ. ක්‍රීඩා අමාත්‍යාංශය මගිනුයි විකාශන අයිතිය අලෙවි කරන්න අයි.සී.සී.යේ උදව් අවශ්‍ය බවට යෝජනා කළේ. ඒවගේමයි ක්‍රීඩා අමාත්‍යාංශයේ නියෝජිතයෙක් මේ වෙනුවෙන් පත්කළා. මේ සියලු කරුණු සිදුකළේ කිසි පුද්ගලයකුට අයථා ක්‍රියාවන් සිදුකිරීමට නොහැකි ආකාරයෙන් ශක්තිමත් ගිවිසුමකට එළඹීමට අවශ්‍ය නිසයි. ඒ අනුව අපිට අයි.සී.සී. සභාපතිවරයා පත්කළ නියෝජිතයෙක් මගින් මේ ගිවිසුම සම්බන්ධයෙන් උපදෙස් ලබාගන්න සිදුව තිබෙනවා. එහි පියවරක් වශයෙනුයි අපි අයි.සී.සී. නියෝජිතයා මුණගැසීමට ඩුබායි වෙත ගියේ. මේ සංචාරයේදී අපි අයි.සී.සී. සභාපතිවරයාත් මුණගැසී සාකච්ඡා කළා.’ යැයි පැවසීය.

එම හමුවේදී ශ්‍රී ලංකාව සහභාගිවන ක්‍රිකට් තරග සම්බන්ධයෙන් වන විකාශන ගිවිසුමේ ප්‍රගතිය සම්බන්ධයෙන් අයි.සී.සී. සභාපතිවරයා හා පත්කළ නිලධාරියා සමඟ පුළුල්ව සාකච්ඡාකර තිබේ. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කරමින් සභාපති ශම්මි සිල්වා, ලේකම් මොහාන් ද සිල්වා, උප සභාපති රවීන් වික්‍රමරත්න, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරුන් සහභාගිවූහ.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

News Order: 
5
මාතෘකා

ජනප්‍රිය ලිපි