ක්‍රීඩා අමාත්‍යාංශය නොසන්සුන් වෙයි

 ඡායාරූපය:

ක්‍රීඩා අමාත්‍යාංශය නොසන්සුන් වෙයි

අතිරේක ලේකම් (පාලන) සිරිබද්ධනට හදිසි මාරුවක්

ක්‍රීඩා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන හා ප්‍රසම්පාදන) කේ.පී. සිරිබද්ධන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම අමාත්‍යාංශයෙන් මාරුකර යැවීමට අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා කටයුතුකර තිබේ. කිසිදු හේතුවක් දැනුම් නොදෙමින් සිරිබද්ධන මහතා මෙලෙස හදිසියේ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මාරු කර යවා ඇත.

පසුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සියලු ගනුදෙනු වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය නියෝජනය කරමින් සහභාගිවූයේ අතිරේක ලේකම්වරයාය. පසුගිය කාලයේ ජනමාධ්‍ය මගින් චෝදනා නැගූ ශ්‍රී ලංකා ක්‍රිකට් ගනුදෙනු සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශ මැදිහත්වීම ප්‍රමාණවත් නැතැයි පවසමින් අදාළ මාරු කිරීම සිදුකළේදැයි සැක මතුවන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් පැවසීය. එහෙත් එම ඉවත් කිරීම රාජ්‍ය නීතියට අනුව යළි අභියෝගයට ලක්කළ හැකි ස්ථාන මාරු කිරීමක්ව තිබීම ගැටලුකාරී තත්ත්වයක් මතුකර තිබේ. ඒ රාජ්‍ය සේවා කොමිෂන් සභා නියෝගයකින් තොරව එවැනි මාරු කිරීමක් සිදුකිරීමේ නෛතික භාවයක් පවතින්නේ ද යන්නය. කෙසේ නමුත් දැනටමත් වැඩ ආවරණය සඳහා නව අතිරේක ලේකම්වරයකු පත්කිරීමටද අමාත්‍යාංශ ලේකම්වරයා කටයුතුකර ඇත. මේ අතර ක්‍රීඩා අමාත්‍යාංශයට අනුබද්ධ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය යූ.එල්.ආර්.එම්. පෙරේරා මහතාද ධුරයෙන් පහ කිරීමේ පසුබිමක් ඇතැයි වාර්තා විය. පසුගිය වසරේ අගෝස්තු මාසයේ එකී ධුරයට පත්වූ වෛද්‍ය රෝයි පෙරේරා මහතා නිල වශයෙන් ඉදිරිපත් කරන කිසිදු ඉල්ලීමකට ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රතිචාර නොදක්වන තත්ත්වයක් නිර්මාණයවීමත් සමඟය. පසුගිය වසරේ දෙසැම්බර් 24 වැනිදා ඔහු විසින් ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ තනතුරු කීපයක් ඉහළ නංවා ගැනීමට සිදුකර තිබූ ඉල්ලීම ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතාගේ එකඟතාවය ලබාගන්නා ලෙසට දැනුම්දී ඇති අතර මෙම තත්ත්වය හේතුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය තුළ නොසන්සුන් ස්වභාවයක් ගොඩනැගී ඇත.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

News Order: 
3
මාතෘකා