සහායකයෙකු නැතිව දිමුත් සිම්බාබ්වේ යයි

 ඡායාරූපය:

සහායකයෙකු නැතිව දිමුත් සිම්බාබ්වේ යයි

ළහිරු තිරිමාන්නට යළිත් අවස්ථාවක්

ටෙස්ට් තරග දෙකක් සඳහා සහභාගිවීමට හෙට (16)සිම්බාබ්වේ බලා යන ශ්‍රී ලංකා කණ්ඩායම මෙවරත් ළහිරු තිරිමාන්න සම්බන්ධයෙන් විශ්වාසය පළකර තිබේ. දිමුත් කරුණාරත්නගේ නායකත්වය යටතේ නම් කර ඇති මෙම පහළොස් දෙනාගේ සංචිතයට උපනායකයෙක් නම්කර නොතිබීම කැපී පෙනෙයි. නිත්‍ය දඟ පන්දුයවන්නන් තිදෙනෙකු ඇතුළත් කර ඇති මෙම කණ්ඩායමට කුසල් ජනති පෙරේරා කැඳවා නැත. පසුගිය වසරේ දකුණු අප්‍රිකාව සමඟ විශිෂ්ට ටෙස්ට් ඉනිමක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත්වුවද ඔහුගේ සේවය සිම්බාබ්වේ සංචාරයට අවශ්‍ය නොවන බව අසන්ත ද මෙල්ගේ තේරීම් කමිටුව තීරණය කර ඇති අතර ඊට ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාද සිය එකඟගාව පළකර ඇත. නිත්‍ය දඟ පන්දුයවන්නන් වශයෙන් දිල්රුවන් පෙරේරා කෙරේ නැවත වරක් විශ්වාසය තබා ඇති හෙයින් ශ්‍රී ලංකා සංචිතයට ලසිත් ඇඹුල්දෙණිය හා ලක්ෂාන් සඳකැන් සෙසු දඟ පන්දුයවන්නන් දෙදෙනා එක්කර ඇත. ටෙස්ට් තරගයකදී අවස්ථානුකූලව දඟ පන්දුයැවීමට ධනංජය ද සිල්වා ද යොදාගැනීමට අපේක්ෂා කරන හෙයින් දඟ පන්දුයවන්නන් සිව්දෙනෙක් අවසන් සංචිතයට ඇතුළත් වන බව පැවසිය හැකිය. මෙම මස 19 වැනිදා සිට 23 වැනිදා දක්වා පළමු ටෙස්ට් තරගය හරාරේහිදී පැවැත්වෙන අතර දෙවැනි ටෙස්ට් තරගය ක්‍රියාත්මක වන්නේ මෙම මස 27 වැනිදා සිට 31 වැනිදා දක්වා ය.

සංචාරය වෙනුවෙන් නම්කර ඇති පහළොස්දෙනාගේ සංචිතය මෙසේයි.

දිමුත් කරුණාරත්න (නායක), ඔසඳ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්.

News Order: 
0
මාතෘකා