ඔබ්සර්වර් - මොබිටෙල් පාසල් ක්‍රිකට් මහා මංගල්‍යය අද

 ඡායාරූපය:

ඔබ්සර්වර් - මොබිටෙල් පාසල් ක්‍රිකට් මහා මංගල්‍යය අද

ඔබ්සර්වර් මොබිටෙල් පාසල් ක්‍රිකට් මහා මංගල්‍ය අද පස්වරුවේ කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍ර යේ පැවැත්වෙයි. දේශීය ක්‍රිකට් පිටියේ අංකුර ක්‍රීඩකයන් හඳුනාගෙන සම්මානිත කිරීම ඔබ්සර්වර් පුවත්පත ප්‍රමුඛව මොබිටෙල් ආයතනය හා එක්ව සංවිධානය කර ඇත්තේ 41 වැනි වතාවටය.

ශ්‍රී ලංකාවෙන් ක්‍රිකට් ලොවට දායාද කළ අතිවිශිෂ්ට පිතිකරුවකු මෙන්ම 1996 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව සහ අවසන් මහා තරග දෙකේදීම තරගවල වීරයා වූ අරවින්ද ද සිල්වා මෙවර පාසල් ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වේ.

මෙම සම්මාන ප්‍රදානයේදී වසරේ විශිෂ්ටම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව මෙන්ම ශ්‍රී ලංකාවේ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ආදි සම්මාන රැසක් පිරිනැමීමට කටයුතු යොදා ඇත.

මීට අමතරව සමස්ත ලංකා හොඳම පාසල් ක්‍රිකට් කණ්ඩායම, විනයගරුකම ක්‍රිකට් කණ්ඩායම, නැගී එන පාසල් කණ්ඩායම, පළාත් මට්ටමින් දක්ෂතම පාසල් කණ්ඩායම් ආදි සම්මාන රැසක් ලබාදෙමින් ක්‍රීඩක-ක්‍රීඩිකාවන් මෙන්ම ඔවුන්ගේ පුහුණුකරුවන් ද මෙහිදී ඇගැයීමට ලක් කෙරේ.

සමස්ත ලංකා විශිෂ්ටයන් අතර හොඳම පිතිකරුවා, පන්දු යවන්නා, පන්දු රකින්නා, තුන් ඉරියව් ක්‍රීඩකයා සහ වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන සඳහා කොළඹ රාජකීය විද්‍යාලයේ කමිල් මිෂාර, කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයේ රොහාන් සංජය සිල්වා, වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලයේ නිපුන් ධනංජය පෙරේරා, ගාල්ල මහින්ද විද්‍යාලයේ නවෝද් පරණවිතාන නිර්දේශිත නාමාවලියේ පෙරමුණට පැමිණ සිටිති.

පළමු කාණ්ඩයේ විශිෂ්ටයන් අතර හොඳම පිතිකරුවා, පන්දු යවන්නා, පන්දු රකින්නා, තුන් ඉරියව් ක්‍රීඩකයා සහ හොඳම ක්‍රීඩකයා ශූරයා සහ අනුශූරයා වශයෙන් නිර්දේශිත නාමාවලියේ පෙරමුණ ගැනීමට නිශාන් මධුෂ්ක ප්‍රනාන්දු (මොරටු විද්‍යාලය) සන්තුෂ් ගුණතිලක (බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය), කළණ පෙරේරා (ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය), කවිෂ්ක සේනාධීර (මහනුවර ත්‍රිත්ව විද්‍යාලය), අමිත දාබරේ (කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය), ෂැනොන් ප්‍රනාන්දු (බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය), ලක්ෂිත රසාංජන මානසිංහ (කොළඹ නාලන්ද විද්‍යාලය), මුදිත ලක්ෂාන් (කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය) යන ක්‍රීඩකයින් සමත්වී ඇත.

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය සමස්ත ලංකා හොඳම පාසල් කණ්ඩායම ශූරයන් සහ අනුශූරයන් සඳහා නිර්දේශිත නාමාවලියේ පෙරමුණ ගෙන සිටින අතර, කොළඹ රාජකීය විද්‍යාලය හොඳම විනයගරුක කණ්ඩායම වශයෙන් නිර්දේශිත නාමයන් අතුරින් පෙරමුණේ පසුවේ. ජාඇල ක්‍රිස්තුරාජ විද්‍යාලය දිවයිවේ හොඳම නැගී එන කණ්ඩායම සඳහා නිර්දදේශිත නාමයන් අතරින් පෙරමුණේ පසුවේ.

බාලිකා අංශයේ දක්ෂතම පිතිකාරිනිය, දක්ෂතම පන්දු යවන්නිය, දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාව සහ වසරේ දක්ෂතම ක්‍රීඩිකාව සම්මාන සඳහා රත්ගම දේවපතිරාජ මහා විද්‍යාලයේ මෙන්ම නුගේගොඩ අනුලා විද්‍යාලයේ ක්‍රීඩිකාවන් පෙරමුණේ රැදී සිටිති. රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය දක්ෂතම බාලිකා පාසල් කණ්ඩායම සඳහා නිර්දේශිත නාමයන් අතුරින් ඉදිරියේ පසුවන අතර, හොඳම නැගී එන බාලිකා ක්‍රිකට් කණ්ඩායම ලෙස වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය ඉදිරියෙන් පසුවේ.

ජනප්‍රියම පාසල් ක්‍රීඩකයා වෙනුවෙන් කොළඹ රාජකීය විද්‍යාලය සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය සටන් වදින අතර, ජනප්‍රියම පාසල් ක්‍රීඩිකාව සම්මානය වෙනුවෙන් නුගේගොඩ අනුලා විද්‍යාලය සහ මිනුවන්ගොඩ මාරපොල විද්‍යාලය සටන් වැද සිටිති.

[ඉෂානි යද්දෙහි]

 

මාතෘකා