ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පකිස්තානයට යවන්න

 ඡායාරූපය:

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පකිස්තානයට යවන්න

- ආරක්ෂක අමාත්‍යාංශය කියයි

සැලසුම්කළ ආකාරයටම පකිස්තානයේ පැවැත්වෙන එක්දින සහ පන්දුවාර විස්ස තරගාවලියට සහභාගිවන්නැයි ආරක්ෂක අමාත්‍යාංශය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම්දී තිබේ. මීට පෙර අග්‍රාමාත්‍ය කාර්යාලයට ලැබුණු විශ්වාසදායක බුද්ධි තොරතුරකට අනුව ප්‍රකාශ කෙරුණේ අදාළ තරගාවලිය අතරතුර ශ්‍රී ලංකා පිලට ප්‍රහාරයක් එල්ලවීමේ අවධානමක් පවතින බවය. මේ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ අදාළ සංචාරය අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබිණි.

ඒ අනුව මෙම සංචාරයට සහභාගිවන්නේද නැද්ද යන්න පිළිබඳ ආරක්ෂක අමාත්‍යාංශ නිර්දේශ ලබාගැනීමට ක්‍රිකට් ආයතනය කටයුතු කළේය. ඒ පිළිබඳ ගැඹුරින් සලකා බැලූ ආරක්ෂක අමාත්‍යාංශය මෙම සංචාරය සිදුකිරීමේ අනතුරක් නැතැයි දැනුම්දී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් දස දෙනෙක් පකිස්තාන සංචාරයට එක්නොවන බව මුලදීම ප්‍රකාශ කරනු ලැබූ අතර යොවුන් ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් අදාළ සංචාරයට එක්කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය. ඒ අනුව එක්දින කණ්ඩායමේ නායකත්වය ළහිරු තිරිමාන්නට පැවරුණු අතර පන්දුවාර විස්සයි විස්ස නායකත්වයට පත්කළේ දසුන් ශානකයි. කෙසේ නමුත් පුහුණුවීම් අතරතුරු ආබාධයකට ලක්වීම හේතුවෙන් ළහිරු තිරිමාන්න තරගාවලියට සහභාගිවීම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබිණි. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග කියාසිටියේ තිරිමාන්න මෙම සංචාරයට ක්‍රීඩා කිරීමේ ගැටලුවක් නිර්මාණය නොවනු ඇති බවයි.

පසුගියදා 'රැස' පුවත්පත අනාවරණය කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේ දී රාජ්‍ය නායකයෙක්ට පිරිනැමෙන ප්‍රභූ ආරක්ෂාව ලබාදීමට නියමිත බවය. ඒ අනුව සංචාරයේදී කමාන්ඩෝ භටයන් 8500කගේ ආරක්ෂාව සැපයීමටත්, වෙඩි නොවදින රථ මගින් ක්‍රීඩාංගණය සහ හෝටලය අතර යාම් ඊම් සිදුකිරීමටත් නියමිත විය. ඊට අමතරව ක්‍රීඩකයන් නවාතැන් ගන්නා හෝටලය වෙත පිටස්තරයන්ට ඇතුළු විය නොහැකි ආකාරයෙන් ආරක්ෂාව තරකරන බව සත්කාරක පාකිස්තානය පැවසීය. සංචාරය මෙම මස 27 වැනිදා කරච්චිහිදී ආරම්භවන පළමු එක්දින තරගයත් සමඟින් ආරම්භ වීමට නියමිතය.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා