“සිංගර් කුසලාන” අවුරුදු 15න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලිය

 ඡායාරූපය:

“සිංගර් කුසලාන” අවුරුදු 15න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලිය

ශාන්ත ජෝසප් වාස් - ශාන්ත අන්තෝනි අවසන් තරගය ඉරිදා

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන “සිංගර් කුසලාන” වයස අවුරුදු 15න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සඳහා වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විද්‍යාලය සමගින් කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය මේ ඉරිදා කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී තරග වදියි.

වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විද්‍යාලය පළමු, දෙවැනි වටයේදී ද තම අපරාජිත බව රැකගනිමින් තෙවැනි වටයට පිවිස එහිදී මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබා අර්ධ අවසන් පූර්ව වටයේදී මාතර ශාන්ත සර්වේෂස් විද්‍යාලයට එරෙහිව ප්‍රසාද ලකුණු අනුව ජය ලබමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. අවසන් පූර්ව තරගයේදී ඔවුන් ජයගත්තේ ගාල්ල මහින්ද විද්‍යාලයට එරෙහිව ප්‍රසාද ලකුණු අනුව ජය ලබමිනි.

කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය පළමු, දෙවැනි වට ජයගත්තේ තම කාණ්ඩයේ ශූරයින් වෙමිනි. තෙවැනි වටයේදී පසුගිය තරගවාරයේ අනු ශූර මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය පරදවා අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. අර්ධ අවසන් පූර්ව වටයේදී කොළඹ ලුම්බිණි විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබා අවසන් පූර්ව වටයට පැමිණ එහිදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට එරෙහිව ප්‍රසාද ලකුණු අනුව ජය ලබමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

[ඉෂානි යද්දෙහි]

මාතෘකා