රග්බි ලෝක කුසලාන මංගල්‍යය 20 දා ඇරඹෙයි

 ඡායාරූපය:

රග්බි ලෝක කුසලාන මංගල්‍යය 20 දා ඇරඹෙයි

රග්බි වසන්තය අරඹමින් 9වැනි ලෝක කුසලාන රග්බි තරගාවලිය එළැඹෙන 20 වැනිදා ජපානයේදී ආරම්භ වීමට නියමිතය. මෙවරත් ලොව පුරා මහද්වීප නියෝජනය කරමින් කණ්ඩායම් 20ක් තරගාවලියට එක් වේ.

පසුගිය රග්බි ලෝක කුසලාන තරගාවලි සම්බන්ධයෙන් රැස ක්‍රීඩා අතිරේකයෙන් සතිපතා අවලෝකනයක් සිදු කළ අතර ඒ අනුව පළමු ලෝක කුසලාන රග්බි තරගාවලි පිළිබඳව මේ දක්වා ඔබවෙත ඉදිරිපත් කිරීමට හැකි විය. මෙවර ක්‍රීඩා අතිරේකයෙන් ඉතිරි පසුගිය ලෝක කුසලාන රග්බි තරගාවලි 3 සම්බන්ධයෙන් ආපසු හැරී බැලීමක් කිරීමට අප තීරණය කළෙමු. 2007, 2011 සහ 2015 තරගාවලි පිළිබඳ සිදුකරණ එම අවලෝකනය සඳහා මෙවර ‘රැස‘ ක්‍රීඩා අතිරේකය වෙන් කර ඇත.


2007 රග්බි ලෝක කුසලානය

බ්‍රයන් හබානා උත්සාහක දිනුම් 8ක් සමග කිරුළ ඩැහැ ගනී

පස්වැනි ලෝක කුසලාන රග්බි තරගාවලිය ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමෙන් අනතුරුව හයවැනි රග්බි ලෝක ශූරතාව සඳහා සත්කාරකත්වය නැවතත් යුරෝපයට මාරු විය. ඒ අනුව හයවැනි ලෝක ශූරතා රග්බි තරගාවලියේ ප්‍රධාන සත්කාරකත්වය හිමි වූයේ ප්‍රංශයටයි. තරගාවලිය සඳහා දින නියම වූයේ සැප්තැම්බර් 7 වැනිදා සිට ඔක්තෝබර් 20 වැනිදා දක්වා දින 44ක කාලයකි.

සුපුරුදු පරිදි මෙවරත් වැඩිම සහභාගිත්වය හිමිව තිබුණේ යුරෝපයටය. යුරෝපයෙන් කණ්ඩායම් 9ක් තරගාවලියට එක් විය. ඒ එංගලන්තය, ප්‍රංශය, අයර්ලන්තය, ස්කොට්ලන්තය, වේල්සය, ඉතාලිය, රුමේනියාව, ජෝර්ජියාව සමග පළමු වරට රග්බි ලෝක ශූරතා තරගාවලියක් සඳහා පෘතුගාලයද මෙවර එක් විය. ඕෂනියා-ආසියා කලාපයන් කණ්ඩායම් 6ක් ප්‍රංශයට පැමිණ සිටියේ 6වැනි ලෝක රග්බි කිරුළ සඳහා සටන් වැදීමටය. ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ෆීජි, සැමොවා, ටොංගා සහ ජපානය එම කණ්ඩායම් 6යි. අප්‍රිකානු කලාපයෙන් එම කලාපයේ රග්බි ප්‍රබලයන් වන දකුණු අප්‍රිකාව සහ නැමීබියාවද, ඇමෙරිකාවෙන් ආර්ජන්ටිනාව, කැනඩාව සහ ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම තරගාවලියේ ඉතිරි තරග කරුවෝ වූහ.

පැරිසියේ ‘සාන්ත ඩෙවිස්ටාඩේ ඩි ප්‍රාන්ස්‘ ක්‍රීඩාංගණය ඇතුළු ක්‍රීඩාංගණ 12ක් තරගාවලිය සඳහා නවීකරණය කර තිබුණි. ඒ අතරට ප්‍රංශයට පිටින් පිහිටි වේල්සයේ කාඩිෆ් සහ ස්කොට්ලන්තයේ එඩිංබර්ග් හි ක්‍රීඩාංගණ දෙකක් ද විය. පැරිසියේ සාන්ත ඩෙවිස්ටාඩේ ඩි ප්‍රාන්ස් ක්‍රීඩාංගණය යනු අසූ දහසකට තරග නැරඹිය හැකි සුවිශාල ක්‍රීඩාංගණයකි.

මූලික වටය

මූලික වටයේ තරගවලදී එම කාණ්ඩයේ සිටින සුපිරි කණ්ඩායම් දෙක හැර අන් තරග එතරම් ප්‍රබල තරග නොවීය. ‘ඒ‘ කාණ්ඩයෙන් තරග 4ම ජයගත් දකුණු අප්‍රිකාව සහ තරග 3ක් ජයගත් එංගලන්තය තරගාවලියේ දෙවැනි වටය වූ අර්ධ අවසන් වටය සඳහා සුදුසුකම් ලැබීය. ‘බී‘ කාණ්ඩයෙන් අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූයේ ඔස්ට්‍රේලියාව සහ ෆීජි යන කණ්ඩායම් දෙකයි. ‘සී‘ කාණ්ඩයෙන් නවසීලන්තය සහ ස්කොට්ලන්තය ප්‍රබල සටනකින් පසුව අර්ධ අවසන් වටයට එක්ව සිටියහ. ආර්ජන්ටිනාව සහ ප්‍රංශය අර්ධ අවසන් වටයට තේරී සිටියේ ‘ඩී‘ කාණ්ඩයෙනි.

පළමු වටයේ තරග අතරින් වැඩිම ලකුණු වාර්තා වූ තරගය වූයේ ‘සී‘ කාණ්ඩයෙන් තරග වැදුණු නවසීලන්තය සහ ලෝක කුසලානයට කෝඩුකාරයන්වූ පෘතුගාලය අතර තරගයයි. එම තරගයෙන් නවසීලන්තය ලකුණු 108-13ක් ලෙස පෘතුගාලය පරාජය කිරීමට සමත් විය.

අර්ධ අවසන් තරග

පළමු අර්ධ අවසන් තරගය සඳහා ඔක්තෝබර් 6වැනිදා මාර්සෙල්ස්හිදී තරග වැදුණේ 2003 ශූරයන් සහ අනුශූරයන් වූ එංගලන්තය සහ ඔස්ට්‍රේලියාවයි. පසුගියවර අවසන් තරගය සිහි කරමින් 6 වැනි ලෝක කුසලානයේ ඔස්ට්‍රේලියාවේ ගමන එංගලන්තය විසින් නැවැත්වූයේ ලකුණු 12-10ක පරාජයක් ඔවුන්ට උරුමකර දෙමිනි. තරගයේ එංගලන්ත කණ්ඩායමේ වාර්තා වූ ලකුණු 12ම පසුගියවර තරගාවලියේ වීරයා වූ ජොනී විල්කින්සන් විසින් දඬුවම් පහර 4ක් සාර්ථක කරගනිමින් ලබා කැදීම සුවිශේෂ දිදු වීමකි.

ඔක්තෝබර් 6 වැනිදා වේල්සයේ, කාඩිෆ් හි මිලේනියම් ක්‍රීඩාංගණයේදී ප්‍රංශය විසින් ලකුණු 20 -18ක් ලෙස තවත් තියුණු තරගයකින් පසුව නවසිලන්තය පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් විය. මෙම තරගයේ

පළමු අර්ධයේදී ලකුණු 11-6ක් ලෙස ඉදිරියෙන් සිටියේ නවසීලන්තය යි.

ඔක්තෝබර් 7 වැනිදා දකුණු අප්‍රිකාව සහ ෆීජි කණ්ඩායම් තෙවැනි අර්ධ අවසන් වටයේ තරගයට සහභාගී වූ අතර දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 37-20ක් ලෙස ෆීජි කණ්ඩායම පරාජය කිරීමට සමත් විය.

එදිනම ආර්ජන්ටිනා කණ්ඩායම විසින් ලකුණු 19 -13කින් ප්‍රබල ස්කොට්ලන්ත පිල පරාජය කරමින් අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වූයේ ඇමෙරිකානු කලාපයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත් වෙමිනි.

අවසන් පූර්ව තරග

ඔක්තෝබර් 13 වැනිදා පසුගියවර ශූරයන් වූ එංගලන්තය සමගින් පළමු අවසන් පූර්ව තරගයට මුහුණ දුන්නේ සත්කාරක ප්‍රංශ කණ්ඩායමයි. ප්‍රංශ රග්බි ලෝලීන් අමන්දානන්දයට පත් කරමින් තරගයේ පළමු අර්ධය අවසන් වූයේ ලකුණු 9-5ක් ලෙස ප්‍රංශය පෙරමුණේ සිටියදීය. එහෙත් තරගයේ දෙවැනි අර්ධයේදී අති ප්‍රබල ආක්‍රමණයක් දියත් කළ එංගලන්ත ක්‍රීඩකයෝ ඔවුන්ගේ ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 9ක් එක්කර ගන්නා විට ප්‍රංශ පිලට එකදු ලකුණක් හෝ ලබා ගැනීමේ අවස්ථාව එංගලන්ත ආරක්ෂක පෙළ විසින් සම්පූර්ණයෙන්ම වැලැක්වීය. ඒ අනුව අවසානයේදී ලකුණු 14-9ක් ලෙස ප්‍රංශය පරාජයකරමින් එංගලන්තය 2007 ලෝක කුසලානයේ අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ ‘ස්ටාඩේ ඩි ෆ්‍රාන්ස්‘ ක්‍රීඩාංගණයට රැස්ව සිටි 80,000කට අධික නරඹන්නන් අතරින් අති බහුතරයක්වූ ප්‍රංශ රග්බි ලෝලීන් තවත් වසර 4ක කාලයකට හඬවමිනි. එසේම එංගලන්තය අවසන් මහා තරගයකට පිට පිටම දෙවරක් සුදුසුකම් ලැබූ දෙවැනි කණ්ඩායම බවට පත් විය.

දෙවැනි අවසන් පූර්ව තරගය ඔක්තෝබර් 14 වැනිදා ස්ටාඩේ ඩි ෆ්‍රාන්ස් ක්‍රීඩාංගණයේදීම පැවැතියේ ප්‍රබල දකුණු අප්‍රිකානු පිල සහ තරගාවලියේ පෙරලිකාර කණ්ඩායම වූ ආර්ජන්ටිනාව අතරයි තරගයේ මුල සිටම ඉදිරියෙන් සිටි දකුණු අප්‍රිකාව ලකුණු 37- 13කින් ආර්ජන්ටිනාව පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.

තුන්වැනි ස්ථානය

(ලෝකඩ පදක්කම)

සත්කාරක ප්‍රංශය ඔක්තෝබර් 19 වැනිදා ආර්ජන්ටිනාවට එරෙහිව ලෝකඩ පදක්කම වෙනුවෙන් සටන් වැදීම සඳහා පැරිස්හි ප්‍රින්සෙස් පාර්ක් ක්‍රීඩාංගණයට පිවිසියේ කෙසේ හෝ ලෝකඩ පදක්කම හෝ තම නරඹන්නන් ඉදිරියේ දිනා ගැනීමේ අරමුනෙනි. එහෙත් එම බලාපොරොත්තුව ලෙහෙසි පහසු දෙයක් නොවන බව ප්‍රංශයට වැටහීයාමට වැඩි වේලාවක් ගතවූයේ නැත. ආර්ජන්ටිනාවේ පිලිපේ කොන්ටෙපොමි 28 වැනි මිනිත්තුවේදී විශිෂ්ට උත්සාහක දිනුමක් ලබමින් ප්‍රංශයට තරජනය එල්ල කිරීම ඇරඹීය. ඒ ආර්ජන්ටිනාව තරගයේ වාර්තා කළ පළමු උත්සාහක දිනුමයි. ඉන් පසුව ආර්ජන්ටිනාව නිරන්තරයෙන් ලකුණු ලබා ගැනීම සිදුකළ අතර 77 වැනි මිනිත්තුවේදී ඔවුන්ගේ අවසන් උත්සාහක දිනුමද කොන්ටෙපොමි විසින්ම වාර්තා කළේ ලකුණු 34-10ක් ලෙසින් ප්‍රංශය අන්ත පරාජයකට ලක් කරමිනි.

අවසන් මහා තරගය

අසූදහස් හාරසීයකට අධික නරඹන්නන් පිරිසක් ඉදිරියේ පසුගියවර ශූරයන්වූ එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර 6 වැනි ලෝක රග්බි කිරුළ සඳහා වන අවසන් සටන ස්ටාඩේ ඩි ෆ්‍රාන්ස් ක්‍රිඩාංගණයේදීම ඇරඹුණි. මෙයට පෙර ඔස්ට්‍රේලියාව පමණක් දෙවරක් රග්බි කිරුළ හිමිකර ගෙන තිබුණද එය පිට පිට දෙවරක් දිනා ගැනීමට කිසිවෙක් සමත්ව නොසිටියේය. මෙවර එංගලන්තයේ ඒකායන පැතුම වූයේ එයයි.

එහෙත් බ්‍රයන් හබානා ප්‍රමුඛ දකුණු අප්‍රිකානු පසු පෙළ ක්‍රීඩකයන්ගේ ආක්‍රමණය හමුවේ එංගලන්තයට තම සිහිනය බොඳවෙන බව අවබෝධ විය. පළමු අර්ධය අවසන් වන විට ලකුණු 9-6ක් ලෙස ඉදිරියෙන් සිටීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ සමත් වූහ. දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 6ක් තම ලකුණු මල්ලට එක්කර ගත් දකුණු අප්‍රිකානුවෝ ලකුණු 15-6ක් ලෙස අවසන් මහා තරගය ජය ගනිමින් දෙවැනි වරටත් ලෝක රග්බි කිරුළ හිමිකර ගැනීමට සමත් වූහ.

තරගාවලියේ වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයා ලෙස දකුණු අප්‍රිකාවේ පර්සි මොන්ටිගෝමරි සම්මාන ලැබුවේ ලකුණු 105ක් වාර්තා කරමිනි.

තරගාවලිය පුරා තම ප්‍රතිවාදී රේඛාව ඉහළින් විටෙක හීයක් මෙන්ද විටෙක පුළුන් රොදක් ලෙසද පාවී ගිය දකුණු අප්‍රිකාවේ බ්‍රයන් හබානා වැඩිම උත්සාහක දිනුම් ලබා ගත් ක්‍රීඩකයා ලෙස කුසලාන හිමිකර ගත්තේය. හබාන තරගාවලිය පුරා උත්සාහක දිනුම් 8ක හිමිකාරයා විය.


2011 රග්බි ලෝක කුසලානය

රග්බි රජුන් තමන් බව නවසීලන්තය යළි පසක් කරයි

6 වැනි ලෝක කුසලාන රග්බි තරගාවලිය ප්‍රංශයේ පැවැත්වීමෙන් පසුව ඊළඟ තරගාවලිය සඳහා නැවතත් සත්කාරකත්වය ඔස්ට්‍රේලියා මහද්වීපයට මාරු විය. පළමු රග්බි ලෝක කුසලානය පවත්වා එහි සත්කාරකත්වය දරමින්ම අවසානයේ පළමු රග්බි ලෝක ශූරයන් වූ නවසීලන්තය විසින්ම 7 වැනි රග්බි ලෝක ශූරතාව සඳහාද සත්කාරකත්වය දැරීය.

තරගාවලිය සැප්තැම්බර් 9 වැනිදා සිට ඔක්තෝබර් 23 වැනිදා දක්වා දින 45ක කාලයක් පුරා නවසීලන්තයේ ක්‍රීඩාංගණ දොළහකදී පැවැත්විණි. ප්‍රේකෂකයින් හැට දහසකට තරග නැරඹිය හැකි ඔක්ලන්ඩ්හි ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගණය ඉන් ප්‍රධාන ක්‍රීඩාංගණය විය.

යුරෝපය නියෝජනය කරමින් එංගලන්තය, ප්‍රංශය, අයර්ලන්තය, ඉතාලිය, රුමේනියාව, ස්කොට්ලන්තය, ජෝර්ජියාව, රුසියාව සහ වේල්ස් යන කණ්ඩායම් තරගාවලියට එක් වූහ. ඕෂනියා කලාපයෙන් 7 වැනි ලෝක කුසලාන රග්බි තරගාවලියට එක් වූයේ නවසීලන්තය, ෆීජි, සැමොවා, ටොන්ගා සහ ඔස්ට්‍රේලියාවයි. ඇමෙරිකානු කලාපය නියෝජනය කළේ කැනඩාව, එක්සත් ජනපදය සහ ආර්ජන්ටිනාවයි. දකුණු අප්‍රිකාව සහ නැමීබියාව අප්‍රිකාවෙන් එක්වන විට ආසියාවෙන් තරගාවලිය නියෝජනය කිරීමේ වරම් හිමි වූයේ ජපානයට පමණි.

පළමු වටය

‘ඒ‘ කාණ්ඩයෙන් තරග වැදුණු රටවල් අතරින් නවසීලන්තය සහ ප්‍රංශය අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබාගත්හ. නවසීලන්තය සහභාගී වූ තරග 4ම ජය ලබන විට ප්‍රංශය ජය ගත්තේ තරග 2ක් පමණි. එම කාණ්ඩයෙන් විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කළ ටොංගා කණ්ඩායමද තර 2ක් ජය ගැනීමට සමත් වූයේ ප්‍රබල ප්‍රංශයද ලකුණු 19-14කින් පරාජය කරමිනි. එහෙත් ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රංශයට වඩා ලකුණු 2ක් අඩුවූ බැවින් ඔවුන්ට අර්ධ අවසන් වටයට පිවිසීමේ අවස්ථාව අහිමි විය. කෙසේ වෙතත් දැක්වූ දක්ෂතා මත 2015 තරගාවලිය සඳහා ඔවුන් සුදුසුකම් ලබා ගත්හ.

‘බී‘ කාණ්ඩයෙන් තරග වැදුණු කණ්ඩායම් අතරින් එංගලන්තය තරග 4ම ජයගත් අතර ආර්ජන්ටිනාව තරග 3ක් ජය ගත්තේ අර්ධ අවසන් වටයේ සිය ස්ථානය වෙන්කර ගනිමිනි. ‘සී‘ කාණ්ඩයෙන් අයර්ලන්තය තරග 4ම ජය ගනිද්දී ඔස්ට්‍රේලියාව තරග 3ක් ජය ගනිමින් අයර්ලන්තය සමග අර්ධ අවසන් වටයට පිවිසීමට සමත් විය. දකුණු අප්‍රිකාව සහ වෙල්ස් කණ්ඩායම් ‘ඩී‘ කාණ්ඩයෙන් අර්ධ අවසන් වටයට එක් වූයේ පිළිවෙලින් තරග 4ක් සහ 3ක් බැගින් ජය ගනිමිනි.

එක් තරගයකදී එක් ක්‍රීඩකයෙකු වාර්තා කළ වැඩිම “උත්සාහක දිනුම් සංඛ්‍යාව වූයේ 4කි. එම දක්ෂතාව ක්‍රීඩකයන් තිදෙනෙක් විසින්ම දැක්වීමට සමත් වූහ. නවසීලන්තයේ සැක් ගිල්ෆර්ඩ් කැනඩාව සමග තරගයේදී උත්සාහක දිනුම් 4ක් ලබා ගැනීමට සමත් වූ අතර ජෙරාඩ් ස්මිත් ද නවසීලන්තය වෙනුවෙන් තවත් උත්සාහක දිනුම් 4ක් එක් තරගයකදී වාර්තා කළේ ජපානයට එරෙහිවයි. උත්සාහක දිනුම් 4ක් ෆීජි කණ්ඩායමේ වෙරිනිකී ගොනෙවා ලබා ගැනීමට සමත් වූයේ නැමීබියාව සමග තරගයේදීය.

අර්ධ අවසන් වටය

ඔක්තෝබර් 8 වැනිදා වෙලින්ටන් හිදී වේල්සය විසින් ලකුණු 22-10කින් අයර්ලන්තය පරාජය කිරීමට සමත් වූයේ අවසන් පූර්ව වටයට පිවිසි පළමු කණ්ඩායම බවට පත් වෙමිනි. එදිනම ඔක්ලන්ඩ් හි ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගණයේදී ප්‍රංශය විසින් එංගලන්තය ලකුණු 19-12ක් ලෙස පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් විය.

තෙවැනි අර්ධ අවසන් තරගය පැවැතියේ ඔක්තෝබර් 9 වැනිදා වෙලින්ටන්හිදීය. ඒ දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අතරයි. ඉතා තියුණු තරගයකින් අනතුරුව ලකුණු 11-09ක් ලෙස තරගය ජයගත් ඔස්ට්‍රේලිනු පිල අවසන් පූර්ව වටයට එක් වීමට සමත් විය. එදිනම පැවැති සිව්වැනි අර්ධ අවසන් තරගයෙන් නවසීලන්තය විසින් ලකුණු 33-10ක් වශයෙන් ආර්ජන්ටිනාව පරාජය කිරීමත් සමගම අවසන් පූර්ව වටයේ ඔවුන්ගේ ස්ථානය තහවුරු විය.

අවසන් පූර්ව වටය

වේල්ස් සහ ප්‍රංශ කණ්ඩායම් ඔක්තෝබර් 15 වැනිදා ඔක්ලන්ඩහි ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගණයේදී එකිනෙකා හා ගැටුණේ අවසන් තරගයේ තම ස්ථානය වෙන් කර ගැනීම සඳහාය. පළමු අර්ධය අවසන් වන විට ලකුණු 6-3ක් ලෙස ඉදිරියෙන් සිටීමට ඔස්ට්‍රේලියාවට හැකි විය. දෙවැනි අර්ධයේදී ප්‍රංශය දඬුවම් පහරකින් ලකුණු 3ක් එක්කර ගත් අතර 58 වැනි මිනිත්තුවේදී තරගයේ උද්වේගකර භාවය ඉහළටම ඔසවා තබමින් වේල්ස් කණ්ඩායමේ ‘ස්ක්‍රම් හාෆ්‘ මයික් පිලිප්ස් ලබා ගත් උත්සාහක දිනුමත් සමගම ඔස්ට්‍රේලියාව - 09, වේල්ස් - 08 යි ලෙස දෙපිලම තියුණු තරගයකට අවතීර්ණ විය. තරගයේ තියුණු ස්වභාවය තව තවත් ඉහළ ගියද ඉන් එහාට දෙපිලටම නැවතත් ලකුණු ලබා ගැනීමට නොහැකි වූ හෙයින් ප්‍රංශය අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබුවේ එක් ලකුණක තියුණු ජයක් ලබමිනි. දෙවැනි අවසන් පූර්ව තරගය පැවැතියේ ඔක්තෝබර් 16 වැනිදා ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගණයේදීමය. ප්‍රේක්ෂකයින් හැට දහසක් ඉදිරියේ පැවැති තරගයේදී සිය අණසක පැතිරවූ නවසීලන්ත පිල සිය සාම්ප්‍රදායික ප්‍රතිවාදියා වන ඔස්ට්‍රේලියාව ලකුණු 20-06ක් ලෙස පරාජය කිරීමට සමත් විය. ඒ සමගම තෙවැනි වරටත් රග්බි ලෝක ශූරතා තරගාවලියක අවසන් තරගයට සුදුසුකම් ලැබීමට නවසීලන්තයට හැකි.

ලෝකඩ පදක්කම

තෙවැනි ස්ථානය සඳහාතරගයට පිවිසියේ ඔස්ට්‍රේලියාව සහ වේල්සයයි. ඉතා තියුණු මුහුණුවරක් ගත් පළමු අර්ධයේදී ලකුණු 10-07ක් ලෙසින් ඉදිරියෙන් පසු වූයේ වේල්සය යි. එහෙත් තරගයේ දෙවැනි අර්ධයේදී නැවතත් සුපුරුදු දක්ෂතා අතරට පැමිණි ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ ලකුණු 14ක් ලබා ගත් අතර වේල්ස් කණ්ඩායමට එක්කර ගත හැකි වූයේ දෙවැනි අර්ධයේදී ලකුණු 8ක් පමණි. ඒ අනුව ලකුණු 21-18ක් ලෙසින් වේල්සය පරාජය කරමින් ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

අවසන් මහා තරගය

මෙවර අවසන් තරගයට පිවිස සිටි කණ්ඩායම් දෙක වූ නවසීලන්තය සහ ප්‍රංශය රග්බි ලෝක ශූරතා අවසන් තරගයක් සඳහා පිවිස සිටියේ තෙවැනි වරටය. නවසීලන්තය 1987 ශූරයින්වූ අතර 1995 අනුශූරයෝ වූහ. ප්‍රංශය 1987 සහ 1991 අවසන් තරග දෙකට මුහුණ දුන්නද අනුශූරතාවෙන් සෑහීමට ඔවුන්ට සිදු විය.

එබැවින් මෙවර ප්‍රංශයේ බලාපොරොත්තුව වූයේ පළමු වරට ලෝක රග්බි ශූරතාව සිය රට වෙත ගෙන යාමයි. එසේම සිය මව්බිමේදී මේ ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබමින් දෙවැනි වරටත් ලෝක ශූරයින් වීමේ සිහිනය නවසීලන්ත කණ්ඩායම තුළ විය. ඒ සඳහා අති විශාල ප්‍රේක්ෂක පිරිසකගේ සහායද ඔවුන්ට නොමදව හිමි විය.

තරගය ආරම්භ වූයේ හැටඑක්දහසකට අධික උද්යෝගීමත් ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේදීය. 15 වැනි මිනිත්තුවේදී නවසීලන්ත ඉදිරිපෙළ ක්‍රීඩක ටෝනි වුඩ්කොක් ලබාගත් උත්සාහක දිනුමත් සමගම නවසීලන්තය තරගයේ පෙරමුණ ගැනීමට සමත් විය. 46 වැනි මිනිත්තුවේදී සෙන්ටර් ක්‍රීඩක ස්ටීවන් ඩොනල්ඩ් දඬුවම් පහරක් සාර්ථක කරගත් අතර ලකුණු 8-0ක් ලෙස නවසීලන්තය තවදුරටත් ඉදිරියට පැමිණියේය. ඊට හරියටම මිනිත්තුවකට පසුව ප්‍රංශයේ තියරි ඩසොටයර් ලබාගත් උත්සාහක දිනුම ෆ්‍රැන්කොයිස් ට්‍රින් ඩියුක් විසින ප්‍රවර්ථනය කිරීමත් සමගම නවසීලන්තය - 08 යි, ප්‍රංශය - 07 යි ලෙස තියුණු සටනක් ආරම්භ විය.

ඉන් අනතුරුව ඇරඹුණේ මෙතෙක් ලෝක රග්බි ඉතිහාසයේ ඇතිවූ තියුණුම අවසන් සටනයි. එක් කණ්ඩායමකට හෝ ලකුණු ලබා ගැනීමට අනෙක් කණ්ඩායමෙන් අවස්ථාව හිමි නොවුණි. අවසානයේ දකුණු අප්‍රිකානු විනිසුරු ක්‍රේග් ජුබාර්ට්ගේ සංඥාවෙන් ලකුණු 08-07ක් ලෙසම තරගය අවසන් වූයේ නවසීලන්තනට එක් ලකුණකින් ලෝක රග්බි කිරුළ හිමිකර දෙමිනි.

තරගාවලියේ වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයා වූයේ ලකුණු 62ක් ලබාගත් මෝනි ස්ටෙන්ය. වැඩිම උත්සාහ දිනුම් වාර්තාකර තිබුණේ එංගලන්තයේ ක්‍රිස් ඈෂ්ටන් සහ ප්‍රංශයේ වින්සන්ට් ක්ලර්ක්ය. ඔවුන් දෙදෙනා උත්සාහක දිනුම් 6 බැගින් මෙම තරගාවලියේදී වාර්තා කරීමට සමත් වූහ.


2015 රග්බි ලෝක කුසලානය

ඕල් බ්ලැක්ස්ට තෙවැනි වරටත් ලෝක ශූරතාව

සුපුරුදු පරිදි ලෝක කුසලාන රග්බි තරගාවලියේ සත්කාරකත්වය යුරෝපා සහ ඔස්ට්‍රේලියා මහද්වීප වෙත මාරු වෙමින් පැවැතීමේ ඊළඟ අදියර ලෙස 2015 පැවැති 8 වැනි රග්බි ලෝක ශූරතාවේ සත්කාරකත්වය එංගලන්තයට හිමි විය. ඒ වන විට ඊට පෙර පැවැති ලෝක කුසලාන රග්බි තරගාවලි 7න් 3ක් ඔස්ට්‍රේලියා මහද්වීපයේද, තවත් 3ක් යුරෝපා මහද්වීපයේද පවත්වා තිබුණි. 1995 තරගාවලිය පමණක් මෙම මහද්වීප දෙකෙන් පිට දකුණු අප්‍රිකාවේ සත්කාරයෙන් පැවැත්වී තිබිණි.

අට වැනි රග්බි ලෝක ශූරතා තරගාවලියේ සත්කාරකත්වය එංගලන්තයට හිමි වීමෙන් පසුව එ සඳහා දින නියම වූයේ සැප්තැම්බර් 18 වැනිදා සිට ඔක්තෝබර් 31 වැනිදා දක්වා දින 44ක කාලයකි.

අනූ දහසකට තරග නැරඹය හැකි වෙම්බ්ලි ක්‍රීඩාංගණය සහ එංගලන්තයේ රග්බි සඳහාම සුපතල ට්විකන්හැම් ක්‍රීඩාංගණයද ඇතුළු ක්‍රීඩාංගණ 3ක් ලන්ඩන් නගරයේ පමණක් තරගාවලිය සඳහා වෙන් විය. මෙම කටයුත්ත සඳහා වෙන්වුණු මුලු ක්‍රීඩාංගණ සංඛ්‍යාව 12කි.

තරගාවලිය සඳහා පසුගිය අවස්ථාවට වඩා යුරෝපයෙන් සහභාගීවන කණ්ඩායම් සංඛ්‍යව එකකින් අඩුකර තිබූ අතර දකුණු ඇමෙරිකාවෙන් තවත් එක් කණ්්ඩායමක් තරගාවලියට එක් විය. ඒ අනුව කණ්ඩායම් 20 සමන්විත වූයේ යුරෝපයෙන් කණ්ඩායම් 8ක්, ඕෂනියා කලාපයෙන් 5ක්, ඇමෙරිකාවෙන් 4ක්, අප්‍රිකාවෙන් 2ක් සහ ආසියාවෙන් එක් කණ්ඩායමක් වශයෙනි.

යුරෝපයෙන් එංගලන්තය, ප්‍රංශය, ජෝර්ජියාව, අයර්ලන්තය, ඉතාලිය, රුමේනියාව, ස්කොට්ලන්තය සහ වේල්ස්ය තරගාවලියට එක් වූ අතර ඔස්ට්‍රේලියාව, නවසීලන්තය , ෆීජි, සැමොවා සහ ටොංගා දූපත් ඕෂනියා කලාපයෙන් එක් විය. ඇමෙරිකනු කලාපයෙන් එංගලන්තයට පැමිණ සිටියේ කැනඩාව, එක්සත් ජනපද කණ්ඩායම, ආර්ජන්ටිනාව සහ උරුගුවේ යන කණ්ඩායම්. දකුණු අප්‍රිකාව සහ නැමීබියාව අප්‍රිකාවෙන් පැමිණෙන විට ආසියාවෙන් තරග වැදුණේ ජපානය පමණි.

පළමු වටය

තරගාවලිය අරඹමින් පැවැති මූලික වටයේ තරගවලදී ‘ඒ‘ කාණ්ඩයෙන් ඔස්ට්‍රේලියාව සහ වේල්ස් යන කණ්ඩායම් අර්ධ අවසන් වටයට එක් වීමට සමත් වූහ. දකුණු අප්‍රිකාව සහ ස්කොට්ලන්තය ‘බී‘ කාණ්ඩයෙන් අර්ධ අවසන් වටයට පැමිණෙන විට ‘සී‘ කාණ්ඩයෙන් ඒ සඳහා සුදුසුකම් ලැබුවේ නවසීලන්තය සහ ආර්ජන්ටිනාවයි. අයර්ලන්තය සහ ප්‍රංශය ‘ඩී‘ කාණ්ඩයෙන් දෙවැනි වටයට සුදුසුකම් ලැබුහ.

ඔස්ට්‍රෙලියාව, නවසීලන්තය සහ අයර්ලන්තය අපරාජිතවම අර්ධ අවසන් වටයට පිවිස සිටියහ. ‘ඒ‘ කාණ්ඩයෙන් තරග වැදුණු සත්කාරක එංගලන්තය පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වූයේ එම කාණ්ඩයේ තෙවැනි ස්ථානය ලබූ නිසාය. තරගාවලියේ විශාලම පෙරළිකාරයා වූ ජපානය ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කළ අතර තරග 3ක් ජය ගැනීමට ඔවුන්ට හැකි විය. එහෙත් ප්‍රසාද ලකුණු සටහනේ ස්කොට්ලන්තයට වඩා ලකුණු 2ක් පසු පසින් සිටි කනිසා ඔවුන්ට අර්ධ අවසන් වටයට පිවිසීමේ අවස්ථාව අහිමි විය.

අර්ධ අවසන් පූර්ව වටය

අර්ධ අවසන් තරග ආරම්භ වූයේ ඔක්තෝබර් 17 වැනිදාය. දකුණු අප්‍රිකාව විසින් ලකුණු 23-19කින් වේල්ස් කණ්ඩායම පරාජය කරමින් ලන්ඩන්හි පැවැති පළමු අර්ධ අවසන් පූර්ව තරගයෙන් තියුණු ජයක් ලැබීය. තරගාවලියේ ජනප්‍රියම කණ්ඩායම බවට පත්ව සිටි නවසීලන්ත ඕල් බ්ලැක්ස් කණ්ඩායම කාඩිෆ්හි පැවැති දෙවැනි අර්ධ අවසන් තරගයෙන් ප්‍රංශය ලකුණු 62-13ක් ලෙස අන්ත පරාජයකට ලක් කළේය.

ඔක්තෝබර් 18 වැනිදා කාඩිෆ් හි පැවැති තෙවැනි අර්ධ අවසන් තරගයෙන් ප්‍රබල අයර්ලන්තය ලකුණු 43-20ක් ලෙස පරාජය කරමින් ආර්ජන්ටිනාවද පෙරලිකාර ජයක් ලබමින් අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් විය.

එදිනම ට්විකන්හැම් ක්‍රීඩාංගණයේ පැවැති සිව්වැනි අර්ධ අවසන් තරගය තරගාවලියේ තියුණුම තරගය ලෙස නම් කළ හැක. තරගය පැවැතියේ ඔස්ට්‍රේලියාව සහ ස්කොට්ලන්තය අතරයි. තරගය විටිවන් විට දෙපිලටම දෝලනය වූ අතර අවසන් මිනිත්තුව වන විට ලකුණු 34-32ක් ලෙස ඉදිරියෙන් සිටියේ ස්කොට්ලන්තයයි. ඒ අනුව ඔක්තෝබර් 25 වැනිදා ආර්ජන්ටිනාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගය සඳහා තරග වැදීමේ සියලුම බලාපොරොත්තු ස්කොට්ලන්තය තුල විය. එහෙත් අවසන් මිනිත්තුවේදී ඔස්ට්‍රේලියාවේ ෆුල් බැක් ක්‍රීඩක බර්නාඩ් ෆොලි විසින් තමන්ට ලැබුණු දඬුවම් පහර සාර්ථක කරගැනීමත් සමගම ස්කොට්ලන්ත රග්බි ලෝලීන් හඬවමින් අවසන් පූර්ව වටයට පිවිසීමට ඔස්ට්‍රේලියාව සමත් විය.

අවසන් පූර්ව තරග

පළමු අවසන් පූර්ව තරගය පැවැතියේ නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතරයි. ට්විකන්හැම් ක්‍රීඩාංගණයේ අසූදහසකට වැඩි ප්‍රේක්ෂකත පිරිසක් තරගය නැරඹීමට පැමිණ සිටියහ. ඉතා තියුණු තරගයක් වූ මෙම තරගයෙන් නවසීලන්තය ලකුණු 20-18ක් ලෙස දකුණු අප්‍රිකානුවන් පරාජය කරමින් සිවැනි වරටත් ලෝක කුසලාන රග්බි තරගාවලියක අවසන් මහා තරගයට පිවිසියේය.

ට්විකන්හැම් ක්‍රීඩා පිටියේදීම පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ආර්ජන්ටිනාව ලකුණු 29-15කින් පරාජය කිරීමට ඔස්ට්‍රේලියාවට හැකි විය. ඒ අනුව ඔස්ට්‍රේලියාවද සිව්වරක් ලෝක රග්බි ශූරතා තරගාවලියක අවසන් මහා තරගයට එක් වීමට සමත් විය.

තෙවැනි ස්ථානය

ලන්ඩනයේ ඔලිම්පික් ක්‍රීඩාංගණයේ දී දකුණු අප්‍රිකාව සහ ආර්ජන්ටිනාව තරග වැදුණේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීම සඳහාය. තරගය ආරම්භයේ සිටම ඉදිරියෙන් සිටියේ දකුණු අප්‍රිකාවයි. තරගය පුරාම ආර්ජන්ටිනාවට ලකුණු රැස් කළහැකි අවස්ථාවන් අවම කිරීමට දකුණු අප්‍රිකානුවෝ සමත් වූහ. අවසන් මිනිත්තුව වන විට දකුණු අප්‍රිකානුවෝ ලකුණු 24-06ක් ලෙස ඉදිරියෙන් සිටියේය. 80 වැනි මිනිත්තුවේදී ජුවාන් පැබ්ලෝ ඕලැන්ඩි අති ආර්ජන්ටිනාව වෙනුවෙන් විශිෂ්ට උත්සාහක දිනුමක් වාර්ථ කළ අතර ෆෙඩ්රිකෝ සැන්චෙස් විසින් එය සාර්ථකව ප්‍රවර්ථනය කළ හෙයින් ආර්ජන්ටිනාව ගෞරවාන්විත පරාජයකට හිමිකම් ලැබුවේය. අවසන් ලකණු තත්ත්වය වූයේ 24-13ක් ලෙසටය.

අවසන් මහා තරගය

අට වැනි ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගය පැවැතියේ ඔක්තෝබර් 31 වැනිදා ලන්ඩන්හි ට්විකන්හැම් ක්‍රීඩාංගණයේදීය. ඒ නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අතරයි. දෙපිලම අවස්ථා දෙක බැගින් ලෝක ශූරයන් වීමේ අවස්ථාවන් හිමිකර ගෙන තිබුණි. මෙවර අවසන් තරගය ජය ගන්නා කණ්ඩායම අනිවාර්යයෙන්ම තෙවරක් ලෝක ශූරයන් වීමේ පළමු ගෞරවය හිමිකර ගන්නා රට බවට පත්වීමට නියමිත විය. යම් හෙයකින් නවසීලන්තය තරගය ජයගතහොත් පිට පිටම දෙවරක් ලෝක ශූරතාවය දිනූ පළමු රට බවට පත්වීමටද නියමිතව තිබුණි.

අර්ධ අවසන් තරගයේදී සහ අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියාව දැක්වූ දක්ෂතාවයන් අනුව ඉතා හොඳ තියුණු අවසන් තරගයක් දැක බලා ගැනීමට අතුරු සිදුරු නැතුව ට්විකන්හැම් ක්‍රීඩාංගණයට ප්‍රේක්ෂකයින්යෝ පැමිණ සිටියහ.

තරගයේ පළමු අර්ධයේ ඔස්ටේලියානුවන් ගෙන් නවසීලන්ත ඕල් බ්ලැක්ස් පිලට ප්‍රබල තර්ජනයක් එල්ල විය. නමුත් රිචී මැකාව් ප්‍රමුඛ නවසීලන්ත ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම සියතට ගනිමින් ලකුණු 34-17ක විශිෂ්ට ජයක් ලබමින් තෙවරක් ලෝක රග්බි ශූරතාව දිනූ පළමු කණ්ඩායම මෙන්ම පිට පිට දෙවරක් කුසලානය දිනූ පළමු කණ්ඩායම බවටද පත් විය.

එසේම නවසීලන්ත නායක රිචී මැකාව් දෙවරක් රග්බි ලෝක් ශූරතාව සඳහා කණ්ඩායමක් මෙහෙයවූ පළමු නායකයා බවටද පත් විය.

තරගාවලියේ වැඩිම ලකුණු ලැබූ ක්‍රීඩකයා ලෙස ලකුණු 97ක් රැස් කළ ආර්ජන්ටිනාවේ නිකොලොස් සැන්චෙස්ද වැඩිම උත්සාහක දිනුම් වාර්තා කළ ක්‍රීඩකයා ලෙස නවසීලන්තයේ ජූලියන් සාවිය ද සම්මාන ලැබීය. සාවියා උත්සාහක දිනුම් 8ක් වාර්තා කිරීමට සමත් විය.

[ඩබ්ලිව්. ආර්. කුමාර]

මාතෘකා