වයස අවුරුදු 15න් පහළ ක්‍රිකට් තරගාවලිය

 ඡායාරූපය:

වයස අවුරුදු 15න් පහළ ක්‍රිකට් තරගාවලිය

 

වසර 23කට පසුව ජෝසප් වාස් අවසන් තරගයට   

 

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන “සිංගර් කුසලාන” වයස අවුරුදු 15න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විද්‍යාලය සමත්විය.

වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විද්‍යාලය 1996 වසරෙන් පසු අවසන් තරගයකට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙයයි.

පසුගියදා කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව තරගයේදී වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විද්‍යාල පිල ගාල්ල මහින්ද විද්‍යාල පිලට එරෙහිව ප්‍රසාද ලකුණු අනුව ජය ලැබීය.

මෙම අවසන් පූර්ව තරගයේදී කාසියේ වාසිය හිමිකරගත් වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් මහින්ද විදුහල් පිල පන්දුවාර 100.4කදී කඩුලු 8ක් පමණක් දැවී ලකුණු 190ක් රැස් කර සිටියදී ඉනිම අත්හිටවූ අතර, පිළිතුරු ඉනිම දියත්කළ ශාන්ත ජෝසප් වාස් පිල තරගය නිමාවන විට පන්දුවාර 8කදී කිසිවකු නොදැවී ලකුණු 35ක් රැස් කළේය.

ගාල්ල මහින්ද විද්‍යාලය වෙනුවෙන් ආරම්භක පිතිකරු දිනුර කළුපහන ලකුණු 38ක් රැස් කළ අතර අනෙක් ආරම්භක පිතිකරු චන්දූප ද සිල්වා ලකුණු 37ක් රැස් කළේය. පසුපෙළ පිතිකරු භානුජ දුල්නාත් ලකුණු 37ක් රැස් කළ අතර, නායක ධනුජ ඉඳුවර ලකුණු 24ක් රැස් කරමින් තම ඉනිම ගොඩනැංවීමට දායක විය.

ආරම්භක පිතිකරුවන් වූ දිනුර කළුපහන සහ චන්දූප ද සිල්වා තම ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 86ක සම්බන්ධතාවයක් පැවැත්වූ අතර, පසුපෙළ පිතිකරුවන් වූ භානුජ දුල්නාත් (37) සහ දුලන රාජපක්ෂ (15*) තම ඉනිමේ පිතිකරුවන් 7 දෙනෙක් ලකුණු 124කට දැවී සිටියදී ක්‍රියාත්මක වෙමින් 8වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 66ක සම්බන්ධතාවයක් පැවැත්වීම මහින්ද විද්‍යාලයට විශාල අස්වැසිල්ලක් විය. ශාන්ත ජෝසප් වාස් පිල වෙනුවෙන් විශ්ව රාජපක්ෂ ලකුණු 37කට කඩුලු 3ක් දවාලූ අතර, දසුන් පෙරේරා ලකුණු 41කට කඩුලු 3ක් දවාලීය.

වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විද්‍යාල පිල ප්‍රසාද ලකුණු 2.35ක් හිමිකරගත් අතර, ගාල්ල මහින්ද විද්‍යාල පිලට හිමිකරගත හැකිවූයේ ප්‍රසාද ලකුණු 1.90ක් පමණි.

ගාල්ල මහින්ද විද්‍යාලය: පළමු ඉනිම - 190/8 (පන්දුවාර 100.4) දිනුර කළුපහන 38, චන්දූප ද සිල්වා 37, භානුජ දුල්නාත් 37, ධනුජ ඉඳුවර 24, දුලන රාජපක්ෂ නොදැවී 15, විශ්ව රාජපක්ෂ 3/37, දසුන් පෙරේරා 3/41 වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විද්‍යාලය: පළමු ඉනිම - 35/0 (පන්දුවාර 8) නෙත්මල් ද සොයිසා නොදැවී 15

 

 

[ඉෂානි යද්දෙහි]