පකිස්තානයේ සංචාරය කරන්න එපා යැයි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට බලපෑම් කරන්නේ ඉන්දියාවයි

 ඡායාරූපය:

පකිස්තානයේ සංචාරය කරන්න එපා යැයි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට බලපෑම් කරන්නේ ඉන්දියාවයි

 

ෆාවඩ් හුසේන් චෞද්‍රි (විද්‍යා හා තාක්ෂණ ඇමැති- පකිස්තානය)

ඉන්දියාවෙන් කිසිම බලපෑමක් සිදු වී නැහැ

හරින් ප්‍රනාන්දු (ක්‍රීඩා ඇමැති)

 

ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු ප්‍රවීණ ක්‍රීඩකයන් දස දෙනෙකු නොමැතිව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පකිස්තානයේ සංචාරය කිරීමට තීරණය කිරීම පිටුපස ඉන්දියාව සිටින බව පකිස්තාන අමාත්‍යවරයකු වන ෆාවඩ් හුසේන් චෞද්‍රි ප්‍රකාශ කර තිබේ.

එරට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා වන ඔහු ප්‍රකාශ කළේ ක්‍රිකට් විස්තර විචාරකයන්ගෙන් ලැබුණු තොරතුරුවලට අනුව එය තමන් දැනගත් බවයි. ‘මට දැනගන්න ලැබුනු කරුණුවලට අනුව ඉන්දියාව ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තර්ජනය කරලා තිබෙනවා. ඔවුන් කියලා තිබෙන්නේ අයි.පී.එල්. කොන්ත්‍රාත්තු ලබාගන්න අවශ්‍ය නම් පකිස්තානයේ සංචාරය කරන්න එපා කියලයි. මේක කනගාටුදායක ක්‍රමවේදයක්. අපි හෙළා දැකිය යුතු සංසිද්ධියක්. ඒක තමයි ඉන්දීය ක්‍රිකට් පරිපාලනයේ තිබෙන බාල ස්වරූපය’ යැයි පවසමින් චෞද්‍රි සිය ට්විටර් සටහන තබා තිබේ.

ඒ අනුව ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස් වැනි ප්‍රබල ක්‍රීඩකයින් පකිස්තාන සංචාරය වාරණය කළබවද ඔහු පවසා ඇත. කරච්චිහිදී එක්දින තරගාවලියකටත්, ලාහෝර්හිදී පන්දුවාර විස්සයි විස්ස තරගාවලියකටත් මෙම සංචාරයේදී ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිතය. දෙසැම්බර් මාසයට පෙර අයි.සී.සී. ටෙස්ට් ශූරතාව යටතේ තරගාවලියක් වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්තානය මුණගැසීමට නියමිතය.

කෙසේ නමුත් පකිස්තාන අමාත්‍යවරයා සිදුකරන මෙම චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව පවසා ඇත.

 

පකිස්තානයේ සංචාරය වාරණය කිරීමට ඇතැම් ක්‍රීඩකයන් තීරණය කර ඇත්තේ 2009 වසරේ මුහුණදීමට සිදුවූ සංසිද්ධිය බවද ඔහු පෙන්වා දෙයි. අදාළ ප්‍රහාරයෙන් අටදෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් කණ්ඩායමක් තුවාල ලැබීය.

‘ඉන්දියාවේ බලපෑමෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පකිස්තානයේ සංචාරය නොකරනවා කියන්නේ බොරුවක්. යා නොහැකි ක්‍රීඩකයන්ගේ තීරණයට ගරු කරලා අපි කණ්ඩායමක් තෝරාගෙන තිබෙනවා. අපිට පකිස්තානයේදීම පකිස්තානය පරාජය කරන්න තරම් හැකියි.’ යැයි ඔහු සිය ට්විටර් සටහනෙන් ප්‍රකාශ කර ඇත.

 

 

 

 

මාතෘකා