කටුගස්තොට ශාන්ත අන්තෝනි සහ මහනුවර ත්‍රිත්ව අවසන් පූර්ව වටයට

 ඡායාරූපය:

කටුගස්තොට ශාන්ත අන්තෝනි සහ මහනුවර ත්‍රිත්ව අවසන් පූර්ව වටයට

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන “සිංගර් කුසලාන” වයස අවුරුදු 15න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමත්වූහ.

මීගමුව මාරිස්ටෙලා විදුහල් පිටියේ පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය කොළඹ නාලන්දා විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබූ අතර, කොළඹ සහිරා විදුහල් පිටියේ පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය කොළඹ ලුම්බිණි විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීය.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් සම්ප්‍රදායික ප්‍රතිවාදීන් වන කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමගින් අවසන් පූර්ව තරගයේදී අවසන් තරගයට සුදුසුකම් ලැබීමට තරග වදියි.

කටුගස්තොට ශාන්ත අන්තෝනි - කොළඹ ලුම්බිණි

පළමුවෙන් පන්දුවට පහරදුන් කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය ලකුණු 137කට සීමා කිරීමට ලුම්බිණි පන්දු යවන්නන් සමත්වූහ. නොදැවී ලකුණු 31ක් රැස් කළ පසුපෙළ පිතිකරු චමල්ක බණ්ඩාර ශාන්ත අන්තෝනි පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලාභී පිතිකරු බවට පත්විය.

පිළිතුරු ඉනිම දියත්කළ ලුම්බිණි විද්‍යාලය පන්දුවාර 32කදී ලකුණු 103කට සීමා කිරීමට ශාන්ත අන්තෝනි පන්දු යවන්නන් සමත්වූහ. කොළඹ ලුම්බිණි විද්‍යාලය වෙනුවෙන් සහන් කෞශල්‍ය ලකුණු 28ක් රැස් කළ අතර, ශලක තිවංක ලකුණු 23ක් රැස් කළේය.

ශාන්ත අන්තෝනි: පළමු ඉනිම - 137 (පන්දුවාර 42.4) චමල්ක බණ්ඩාර නොදැවී 31, ළහිරු අබේසිංහ 20, ඉෂාර අබේසිංහ 19, නබීප් රාජුඩීන් 3/20, භාෂික ශෂ්මින් 3/33, සහන් කෞශල්‍ය 2/27 ලුම්බිණි: පළමු ඉනිම - 103 (පන්දුවාර 32) සහන් කෞශල්‍ය 28, ශලක තිවංක 23, උෂාන් පෙරේරා 19, තිසර ඒකනායක 4/28, ළහිරු අබේසිංහ 3/21, ඉඳුවර ගලපිටගේ 2/16

කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

මහනුවර ත්‍රිත්ව - කොළඹ නාලන්දා

පළමුවෙන් පන්දුවට පහරදුන් ත්‍රිත්ව පිල පන්දුවාර 64කදී කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 158ක් රැස් කළ අතර, පිළිතරු ඉනිම ක්‍රීඩා කළ නාලන්දා විද්‍යාලයට පන්දුවාර 35.3කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 152ක් පමණි.

නාලන්දා පළමු ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණුලාභී පිතිකරු වූ ආකේෂ් මනෝරත්න ලකුණු 51ක් රැස් කළ අතර, සජිත විතානගේ ලකුණු 38ක් රැස් කළේය.

පන්දුවෙන් දස්කම් දැක්වූ තේමිය ජයසුන්දර ලකුණු 33කට කඩුලු 4ක් දවාලූ අතර, දිනුක තෙන්නකෝන් ලකුණු 33කට කඩුලු 2ක් දවාලීය.

ත්‍රිත්ව: පළමු ඉනිම - 158/7 (පන්දුවාර 64) විභාවිත් ඇහැලේපොල 74, තිනුර රන්දිනු 3/13

නාලන්දා: පළමු ඉනිම - 152 (පන්දුවාර 35.3) ආකේෂ් මනෝරත්න 51, සජිත විතානගේ 38, තේමිය ජයසුන්දර 4/33, දිනුක තෙන්නකෝන් 2/33

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

[ඉෂානි යද්දෙහි]

මාතෘකා