ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ පාකිස්තානයට එන්න බෑ කියති

 ඡායාරූපය:

ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ පාකිස්තානයට එන්න බෑ කියති

ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ක්‍රීඩකයන් දස දෙනෙක් ප්‍රතික්ෂේප කළද පාකිස්තාන ක්‍රිකට් සංචාරයේදී කමාන්ඩෝ සෙබළුන් අටදහස් පන්සියකගේ ආරක්ෂාව කණ්ඩායමට සැපයෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය. පෙරේදා රාත්‍රියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව පාකිස්තාන සංචාරයට එක්නොවන්නේ යැයි ප්‍රවීණ ක්‍රීඩකයන් දස දෙනෙකු ප්‍රකාශ කර තිබිණි. නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, අකිල ධනංජය, ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්, සුරංග ලක්මාල්, දිනේෂ් චන්දිමාල් සහ දිමුත් කරුණාරත්න මෙලෙස සංචාරයෙන් ඉවත්වන බව ප්‍රකාශ කළ ක්‍රීඩකයින් බව ක්‍රිකට් ආයතනය පෙරේදා නිවේදනය කළේය.

එහෙත් සැප්තැම්බර් 27 වැනිදා පාකිස්තානයේ කරච්චි නුවරදී ආරම්භවන එක්දින හා පන්දුවාර විස්සයි 20 තරගාවලිය වෙනුවෙන් රාජ්‍ය නායකයකුට ලබාදෙන ආරක්ෂාව සැපයීමට පාකිස්තාන රජය එකඟවී තිබේ. මේ අනුව තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය වෙත යාමේදී වෙඩි නොවදින රථ යොදා ගනිමින් ප්‍රවාහන පහසුකම් සැලසීමටත්, ක්‍රීඩකයන් නවාතැන් ගන්නා හෝටලයට වෙනත් කිසිදු පුද්ගලයකුට ඇතුළු විය නොහැකි ආකාරයෙන් ආරක්ෂාවක් තර කිරීමටත් පාකිස්තානු බලධාරීහු එකඟත්වය පළකර තිබිණි.

එරට සපයන ආරක්ෂාව සොයාබැලීම පිණිස කණ්ඩායමක් පසුගිය මාසයේ පාකිස්තානයේ සංචාරය කරනු ලැබුණේය. එහි ප්‍රධානත්වය උසුලනු ලැබුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරක්ෂක උපදේශක, හිටපු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතාය. ඔහු එහිදී පාකිස්තානු බලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පුළුල් ලෙස අධ්‍යයනය කොට වාර්තාවක් සැපයීම සිදුකර තිබිණි. එම වාර්තාව මගින් ප්‍රකාශ වුණේ ලබාදෙන ආරක්ෂාව සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බවය.

ඒ අනුව පාකිස්තානයේ පන්දුවාර විස්සයි 20 සහ එක්දින තරගාවලියක් වෙනුවෙන් සහභාගිවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුමැතිය ප්‍රකාශ කළේය. කෙසේ නමුත් එසේ පාකිස්තානයේ පැවැත්වෙන තරගාවලියට සහභාගිවන්නේද නැද්ද යන්න තීරණය කිරීමේදී තම අභිමතය අනුව ඒ සඳහා ක්‍රීඩකයන්ට පූර්ණ නිදහස ලබාදීමටද ක්‍රිකට් ආයතනය කටයුතු කළේය. එම නිදහස අනුව මෙම ප්‍රවීණ ක්‍රීඩකයන් දස දෙනා සංචාරයට සහභාගි නොවන බවට තීරණය කර තිබිණි.

තරගාවලිය සැප්තැම්බර් 27 වැනිදා කරච්චිහි පැවැත්වෙන එක්දින තරගයත් සමඟින් ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකාව එක්දින සහ පන්දුවාර විස්සයි 20 තරගාවලියකට සහභාගිවීමට කැමැත්ත දක්වා ඇති හෙයින් පාකිස්තාන ක්‍රිකට් ආයතනය තරග කාලසටහන මේ වනවිට නිවේදනය කර ඇත්තේ මේ ආකාරයෙනි.

සැප්තැම්බර් 27 - පළමු එක්දින තරගය

සැප්තැම්බර් 29- දෙවැනි එක්දින තරගය

ඔක්තෝබර් 03 - තෙවැනි එක්දින තරගය

ඔක්තෝබර් 05 - පළමු පන්දුවාර විස්සයි 20 තරගය

ඔක්තෝබර් 07 - දෙවැනි පන්දුවාර විස්සයි 20 තරගය

ඔක්තෝබර් 09 - තෙවැනි පන්දුවාර විස්සයි 20 තරගය

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා