පකිස්තාන ටෙස්ට් සංචාරයට යන්න හැමෝම

 ඡායාරූපය:

පකිස්තාන ටෙස්ට් සංචාරයට යන්න හැමෝම

සැලසුම් කළ පරිදි සංචාරය සිදු වේවි - ශම්මි සිල්වා (ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති)

ලබන දෙසැම්බර් මාසයේ ටෙස්ට් තරග දෙකකින් සමන්විත ටෙස්ට් සංචාරය වෙනුවෙන් පකිස්තානයේ සංචාරයක් දියත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා පැවසීය. ‘රැස’ සමඟ සංවාදයකට එක්වෙමින් ඔහු කියාසිටියේ තරගාවලියට සහභාගිවීමට සියලු ක්‍රීඩකයන් එකඟත්වය පළකර ඇති බවයි. ‘මේ තරගාවලියට ජ්‍යෙෂ්ඨ, කනිෂ්ඨ භේදයකින් තොරව සෑම ක්‍රීඩකයෙක්ම සහභාගිවන්න එකඟත්වය පළකර තිබෙනවා. කිසිම කෙනෙක් මේ සංචාරයට එක්වන්න නොහැකි බව කියලා නැහැ. මොකද පසුගිය පන්දුවාර විස්ස සහ එක්දින සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණු ආරක්ෂාව ක්‍රීඩකයින් දැක්කා. ඒ නිසා කිසිවකුටත් තරගාවලිය ප්‍රතික්ෂේප කරන්න බැහැ. හැබැයි යන්න බැරි ඕනෑම කෙනෙක් ඉවත්කරන්න අපි කටයුතු කරනවා.’ යැයි පැවසීය.

‘ඒ සංචාරයේදී අපිට හෝටලයෙන් එළියටවත් යන්න ලැබුණේ නෑ. පූර්ණ ආරක්ෂාවක් දුන්නා. බිත්ති හතරක් ඇතුළේ ඉන්නවා කියන්නේ යම් මානසික පීඩාවක් වෙන්න පුළුවන්. ඒත් කණ්ඩායමේ ක්‍රීඩකයන් එකට ඉන්න නිසා ඒක ක්‍රීඩාව පැත්තෙන් යම් වාසි සහගත තත්ත්වයක් ඇතිකළා කියන එකත් අපි පිළිගත යුතුයි. මේ ටෙස්ට් තරග කරච්චි සහ රාවල්පිණ්ඩිහිදී පවත්වන්නයි ඔවුන් තීරණය කරලා තිබෙන්නේ.’ යැයි සභාපතිවරයා පැවසීය.

මේ අතර රාවල්පිණ්ඩි නුවර ආරක්ෂාව සම්බන්ධයෙන් සොයාබැලීමට නියෝජිතයන් පිරිසක් පකිස්තානය වෙත යවන බවත් තරගාවලියට සහභාගි කරවීම සඳහා විධායක කමිටුවේ නිල අනුමැතිය ලබාගැනීමට නියමිත බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

News Order: 
4
මාතෘකා