පාසල් ක්‍රිකට් නංවන්න

 ඡායාරූපය:

පාසල් ක්‍රිකට් නංවන්න

ක්‍රිකට් ආයතනයෙන් පන්දු යැවීමේ
යන්ත්‍ර 16 ක්

පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ තලයකට ගෙන ඒම වෙනුවෙන් වූ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙළ යටතේ පන්දු යැවීමේ යන්ත්‍ර 16 ක් පාසල් අතර බෙදාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (29) කටයුතු කළේය. ඒ වයස අවුරුදු 19 න් පහළ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් කණ්ඩායම් අතරය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතාගේ සංකල්පයක් අනුව සිදු කෙරුණු මෙම වැඩපිළිවෙළ යටතේ ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකාවේ පළමු පෙළ පාසල් තරගාවලිය නියෝජනය කරනු ලබන පාසල් 16 ක් වෙනුවෙන් එලෙස පන්දු යැවීමේ යන්ත්‍ර පිරිනැමීම සිදු කෙරිණි. එම වැඩසටහන යටතේ දිවයිනේ පළමු පෙළ ක්‍රීඩා කරන පාසල් 36 ටම ලබාදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලාපොරොත්තු වන අතර ඉතිරි යන්ත්‍ර 20 ද මේ වන විටත් ඇනවුම් කර තිබේ. ඒ අනුව ඒ සියල්ල ශ්‍රී ලංකාවට පැමිණි විගස එම පාසල් වලට ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරන බව සඳහන්ය.

එහි පළමු පියවර යටතේ කණ්ඩායම් තෝරාගෙන තිබුණේ අවසානයට පැවති පාසල් තරග වාරයේදී කාණ්ඩ 4 හි පෙරමුණ ගනු ලැබූ පාසල් 4 ය. මරදාන ශා.ජෝසප්, ගල්කිස්ස ශා.තෝමස්, මොරටුව ශා.සෙබස්තියන්, නාලන්දා, වේල්ස් කුමර, ත්‍රිත්ව, තර්ස්ටන්, මහින්ද, රිච්මන්ඩ්, මාරිස්ටෙලා, මාතර ශා.සර්වේෂස්, ශා. පීතර, සහිරා, මහානාම, ශා.බෙනඩික්ට්, සහ ආනන්ද විද්‍යාලවලට මෙලෙස පන්දුයැවීමේ යන්ත්‍ර ප්‍රදානය කරනු ලැබිණි. මෙම එක යන්ත්‍රයක් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැයකර ඇති මුදල රුපියල් හය ලක්ෂ පනස් දහසකි. බැටරි මගින් ක්‍රියාත්මක කරවිය හැකි මෙම යන්ත්‍ර අදාළ පාසල් ක්‍රිකට් නායකයන්, විදුහල්පතිවරුන් සහ ක්‍රිකට් භාර ආචාර්යවරුන්ගේ සහභාගිත්වය ඇතිව සංවිධානය කර තිබූ උත්සවයකදී ප්‍රදානය කිරීමටට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරනු ලැබුණේය.

‘මේක ඇරඹුමක් පමණයි. අපි පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් 36ටම මෙම යන්ත්‍ර ප්‍රදානය කරන්න අපේක්ෂා කරනවා. ’ යැයි මෙම අවස්ථාවට එක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි ද සිල්වා මහතා පැවසීය.

‘අපිට අවශ්‍ය වන්නේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගැනීමට අවශ්‍ය සහයෝගය සලසාදීමයි. අප විශ්වාස කරන්නේ එය අත්‍යවශ්‍ය කාරණයක් බවයි. පාසල් මට්ටමෙන් එය සිදුකළ යුතුයි. විශේෂයෙන් එවැනි දක්ෂකයන්ගේ හැකියාවන් වැළලී යන්නට ඉඩනොදීම වගකීමක් කියායි.’ යැයිද ඔහු පැවසීය.

‘මෙය සුදුසුම කාලයකදී සිදුකළ ආයෝජනයක්. අපි දන්නවා පාසල් ක්‍රිකට් නොමැතිව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවක් ගැන කතාකළ නොහැකි බව. ඒ නිසා දක්ෂතා සහිත ක්‍රීඩකයන්ට ලැබෙන අවස්ථාව සහතික කරදෙන බව අප මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පවසන්න කැමතියි.’ යැයි එම අවස්ථාවේදී අදහස් දැක්වූ කොළඹ මහානාම විදුහලේ විදුහල්පති එල්.එම්.ඩී. ධර්මසේන මහතා ප්‍රකාශ කළේය.

[ශ්‍යාමලී නිශාන්ති]

News Order: 
7
මාතෘකා