දැල්පන්දු පිටියේ උනන්දුවා සමුගනී

 ඡායාරූපය:

දැල්පන්දු පිටියේ උනන්දුවා සමුගනී

මම සමුගන්නේ සුදුසුම කාලෙදියි චතුරංගි ජයසූරිය

ඇය ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නායිකාවය. නමින් චතුරංගි ජයසූරියය. තවමත් නායිකාව ලෙසින් ඈ හැඳින්විය හැක්කේ ආසියාව දිනූ ලෝක ශූරතාවේ තරග වැදුණු ශ්‍රී ලංකා දැල්පන්දු පිල හැර වෙනත් පිලක් තවමත් නම්කර නැති හෙයිනි. එමෙන්ම නව නායිකාවක් නම් කිරීමටද දැල්පන්දු සම්මේලනය කටයුතු කර නැති පසුබිමකය. චතුරංගි ජයසූරිය පිළිබඳ කතාකරද්දී ඇය එක්තරා ආකාරයකට සමාන කළ හැක්කේ ක්‍රිකට් ක්‍රීඩාවේ සනත් ජයසූරිය වැනි චරිතයකටය. ඒ ඇගේ දක්ෂතාවන් උපරිම තලයක තබාගනිමින් එය කණ්ඩායම වෙනුවෙන් ප්‍රදානය කිරීමට චතුරංගි සමත්වූ හෙයිනි. ඈ සමුගන්නා විට ලෝකයේ හොඳම ආරක්ෂක පෙළ ක්‍රීඩිකාවන් අතර මුල් ස්ථාන දහය තුළ රැඳී සිටීමට සමත්වීම විශේෂත්්වයකි. නායකත්වයේ එක් කිරුළක් ගලවා තවත් කිරුළක් පැළඳීමට සැරසෙන ඇය සමඟ ‘රැස’ මෙලෙස සංවාදිත විය.

අතර මගින් සාකච්ඡාව පටන් ගන්න එක වඩා හොඳයි. ඔබ නායිකාවක් වශයෙන් ඉහළ දක්ෂතා දැක්වූ කෙනෙක්. නායකත්වයේ ගුණාංග කොහොමද ගොඩනගා ගත්තේ?

ඒක පාසල් යන කාලයේ ඉඳලා මට ගොඩනගාගන්න අවස්ථාවක් ලැබුණු දෙයක්. මගේ පාසල කැලණිය ධර්මාලෝක විද්‍යාලය. හය වසරේ ඉඳලා ශිෂ්‍ය නායිකාවක් වෙන්න මට හැකිවුණා. එතනින් පස්සේ මම පාසලේ නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායිකාව දක්වා පැමිණියා. ඒ වගේම මම පාසලේ මලල ක්‍රීඩිකාවක් වශයෙන් දක්ෂතා දැක්වූවා. පවුල් පසුබිම තුළිනුත් මට මගේ මාපියන් නායකයෙක් වෙන්න අවශ්‍ය මානසික පරිසරය සැමවිටම සකස් කළා කියා දැන් මම සිතනවා. ඊට පස්සේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා එක්වුණා. එතැනදී මට නායකයෙක් වශයෙන් සමාජයේ ඉදිරියට යන්න කියා දුන්නා. අනතුරුවයි මම ජාතික දැල්පන්දු කණ්ඩායමේ නායකත්වයට පත්වුණේ. ඒක තිලකා ජිනදාස පුහුණුකාරිණිය සහ එවකට දැල්පන්දු පරිපාලනය කළ ට්‍රික්සි නානායක්කාර මහත්මිය ඇතුළු කණ්ඩායම විසින් තවදුරටත් තහවුරු කළා. සමස්තයක් වශයෙන් මට නායිකාවක් වෙන්න මුළු රටේම ආශිර්වාදය, පෙළඹවීම ලැබුණා.

ඒ කියන්නේ නායිකාවක් බවට පත්වුණු අහම්බකාරක ගමනක් නොවෙයි ඔබේ ගමන?

නෑ. නායකත්වය කියන එක රෝපණය කරගත යුතුයි. උපතින් යම් පෞරුෂාත්මක සාධක ඊට එක්වෙන්න පුලුවන්. නමුත් වැඩි ප්‍රතිශතයක් ජන සමාජය තුළ ජීවත් වෙලා නිර්මාණය කරගත යුතුයි. එය අධ්‍යාපනය, ශික්ෂණය ඔස්සේ පුද්ගලයෙක්ට උරුමවන දෙයක්.

ඔබ මුලදී දැල්පන්දු ක්‍රීඩිකාවක් නොවෙයි, මලල ක්‍රීඩිකාවක්?

ඔව්. මම මුලදී දැල්පන්දු ක්‍රීඩා කළේ නෑ. මගේ පියා තමයි මාව ක්‍රීඩාව වෙත යොමු කළේ. ඔහු නොඉන්න මම කියන ක්‍රීඩිකාව කරළියට නොපැමිණෙන්න බොහෝ දුරට ඉඩ තිබෙනවා. මම පාසල් යන කාලේ අවුරුදු 11න් පහළ සිට මලල ක්‍රීඩාවේ නියැලුණා. උස පැනීම, දුර පැනීම, තුන්පිම්ම වැනි ඉසව්වන් තමයි මම ප්‍රගුණ කළේ. දිලීමා පීටර්සන් මහත්මිය තමයි මගේ මලල ක්‍රීඩාවේ ගුරුවරිය. පාසලේදී සුනේත්‍රා දමයන්ති ගුරුතුමියත්, ශාන්ත සර්ත් මට මේ ගමන යන්න උපස්ථම්භක වුණු ගුරුවරුන් දෙදෙනෙක්.

දැල්පන්දුවලට එන්නේ කොහොමද?

අපේ පාසලේ දැල්පන්දු ක්‍රීඩා කරන්න පහසුකම් තිබුණේ නෑ. දවසක් පුවත්පතක පළවූ දැල්පන්දු ජයග්‍රහණයක් ගැන අපේ අම්මා මට පෙන්නනවා. එතැනින් පස්සේ තමයි මට දැල්පන්දු ක්‍රීඩාව විධිමත්ව කරන්න සිතිවිලි පහළ වන්නේ. ඒක මගේ ජීවිතයේ තවත් තීරණාත්මක අවස්ථාවක්. අම්මාගේ ඒ පෙළඹවීම තමයි මගේ දැල්පන්දු ගමන මෙතරම් වේගවත් හා ක්‍රමවත් කරන්නෙ. ඒ අනුව මම ට්‍රික්සි නානායක්කාර මහත්මිය ළඟට යොමුකරනවා. 2010 වසරේ කනිෂ්ඨ කණ්ඩායමත් සමඟ ඉන්දියාවේ සංචාරය කරලා එහි අනුශූරියන් බවටත් පත්වෙනවා.

ඒ කියන්නේ ඔබගේ සාර්ථකත්වය වෙහෙසවී පුහුණුවීමයි?

ඔව්. මම කියන්නේ පුහුණුවේදී බොරු කරන්න හොඳ නෑ. එහෙම වුණොත් එය බලපාන්නේ තමන්ටමයි. මහන්සිවෙලා, ලෝකයේ සෙසු කණ්ඩායම් හා තරග කළ හැකි දක්ෂතාවක් ඔප්නංවා ගන්න ක්‍රියා කළ යුතුයි. එසේ නොමැතිව ක්‍රීඩා කිරීමෙන් වැඩක් නෑ.

ඔබ ගුවන් හමුදාවට බැඳෙන්නෙ කොයි කාලෙද?

2011දී මට ඒ අවස්ථාව හිමිවෙනවා. ඒක මා ලැබූ සුවිශාල ගෞරවයක්. මම දැන් බලගණ ලුතිනන් කෙනෙක්. ඒ වගේම මගේ සැමියාත් මගේ මාපියන්ගෙන් පස්සේ මගේ ක්‍රීඩා ජීවිතයට විශාල ශක්තියක් වුණු කෙනෙක්. ඔහු නැත්නම් මම වැටුණු අවස්ථාවල නැගිටින්න අපහසුවෙනවා.

දක්ෂ ක්‍රීඩිකාවක් වුණාට මානසික ගට්ඨනවලට ලක්වෙන්න පුළුවන් කියන එකනෙ ඔබ කියන්නෙ?

ඔව්. මානසිකව වැටෙන්න පුළුවන්. හැබැයි ඒ හැමවෙලාවකම යළි නැගිටින්න අවශ්‍යයි. ඒ සඳහා තමන්ගේ හිතෛෂීන්ගෙන් තමන්ට උපකාර ගන්න පුළුවන් පසුබිමක් හදාගත යුතුවෙනවා.

2020 ශ්‍රී ලංකා දැල්පන්දු පිල ආසියානු ශූරතාවයකට යන්න නියමිතයි. නමුත් ඔබ කණ්ඩායමෙන් සමුගන්න තීරණය කරලා තිබෙනවා?

ඔව්. මම මගේ ක්‍රීඩා ජීවිතයේ ඉහළම තැනකින් සමුගන්නවා. වසර දහයකට අධික කාලයක් මම ජාතික දැල්පන්දු කණ්ඩායම සමඟ සිටියා. කණ්ඩායමේ නායිකාවත් වුණා. රට වෙනුවෙන් කැපවීමක් කළා කියලා මම හිතනවා. ඉතින් පෞද්ගලික ජීවිතයේ සැලසුම් ක්‍රියාත්මක කරනවා.

මොකක්ද මේ පෞද්ගලික සැලසුම?

මම දැන් දියණියක්, ක්‍රීඩිකාවක්, නායිකාවක් වශයෙන් භූමිකා කීපයක් සම්පූර්න කළා සහ කරමින් ඉන්නවා. දැන් භාර්යාවක් වශයෙන් මට මවක්වීමේ අවශ්‍යතාව, යුතුකම තිබෙනවා. ඒක කාන්තාවකගේ අයිතියක්. මම දැන් මවක් වීමේ ගෞරවය අපේක්ෂාවෙන් පසුවෙනවා.

ඒක සතුටුදායක ආරංචියක්. නමුත් ඔබගේ මාතෘත්වයට පත්වීම සහ ලෝක ශූරතා දැල්පන්දු තරගාවලිය අතර සම්බන්ධතාවයක් ගැන ඇතැමුන් කතාවෙනවා?

තැනින් තැන කතාවෙන දේවල් වලට වඩා මගේ සෘජුව විමසුවානම් ඇත්ත තොරතුරු ලබාගන්න තිබුණා. ඒ විධිහට කණින්, කොණින් කතාකරන එක ගැන මට නම් තියෙන්නේ කනගාටුවක්.

ඔබ ලෝක ශූරතාව සමයේ මාතෘත්වය ලබාගන්න සුදුසුකම් ලබලා හිටියද කියලා ඇහුවොත්?

මම ඒ ප්‍රශ්නයට දෙන උත්තරය දැල්පන්දු ක්‍රීඩාවට සම්බන්ධ බොහෝ කාන්තාවන්ට තේරුම්ගත හැකියි. ඒනිසා මම ඒ කතාව පතුරවන අයට කියන්නෙ මගේ දරුවා බිහිවුණාට පස්සේ දින ගණන් කරලා බලන්න. එවිට ඇත්ත වැටහේවි.

දැන් ඔබ ලෝක කුසලාන තරගාවලියේ පුහුණුවීම් අතරතුර පිහිනුම් තටාකයට බැස්සේ නෑ කියලා ඇතැමුන් ප්‍රකාශ කරලා තිබුණා. ඒ ඔබේ ශාරීරික වෙනස්කම් සිදුව තිබුණ නිසා බවයි ඔවුන් චෝදනා මුඛයෙන් කීවේ?

ඔව්. ශාරීරික වෙනස්කම් වෙලා තිබුණා තමයි. ඒක මොනවගේ එකක්ද කියලා කාන්තාවෝ හැටියට හැමෝම දන්නවා. ඒ ශාරීරික වෙනස්කම දරුවෙක් පිළිසිඳ ගැනීමම වෙන්න උවමනා නෑ කියලා කිවයුතුයි.

එතකොට ලෝක කුසලානයේ ඔබේ දක්ෂතා වෙනදා දක්වපු දක්ෂතාවලට සමකළ නොහැකියැයි කරන චෝදනාවට මොකද කියන්නෙ?

ලෝක කුසලානය අවසානයේ ලෝකයේ ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි මම ක්‍රීඩාකරන ස්ථානයේ ක්‍රීඩිකාවන්ගේ ශ්‍රේණි සටහනේ මට හිමිවෙලා තිබෙන්නේ අටවැනි තැනයි. තරගාවලියට රටවල් දහසයක් සහභාගිවුණා. ඒවගේම ලෝකයේ තවත් විශාල රටවල් ප්‍රමාණයක් දැල්පන්දු ක්‍රීඩා කරනවා. ඒ සියලු දෙනා අතර 2019 වසරේ ලොව හොඳම ආරක්ෂක පෙළ ක්‍රීඩිකාවන් අතර මම 8 වැනියා. දැන් මට පස්සේ ශ්‍රේණිගත වුණු අයත් ඔක්කොම දරුවන් ලැබෙන්න හිටපු ක්‍රීඩිකාවොද?

ක්‍රීඩාවෙන් සමු අරගෙන පරිපාලනයට එක්වෙනවා කියලාද ඔබ කියන්නෙ?

ඔව්. මම පරිපාලනයට එක්වෙන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒ පරිපාලන අවශ්‍යතාවක් අවශ්‍ය ස්ථානයකට. ඒක දැල්පන්දුමයි කියලා මම කියන්නෙ නෑ. ලෝකය යහපත්ව පවතින්න ක්‍රීඩාව කරගෙන යාම වැදගත්.

අවසන් වශයෙන් ඔබට මේ ගමන එන්න උපකාර කළ අය ගැන යමක් ප්‍රකාශ කළ හැකියි?

නම් වශයෙන් ප්‍රකාශ කරන්න බැරි පිරිසක් ඉන්නවා. නමුත් මම මගේ මව යූ.ඒ. චමිලා පෙරේරා, පියා ලක්ෂ්මන් වීරරත්න ජයසූරිය, මල්ලී සහන් පැතුම් ජයසූරිය, නංගී සයුරි හසරංගි ජයසූරිය, සැමියා ධනුෂ්ක ශ්‍රීමාල් සමරසිංහ, ට්‍රික්සි නානායක්කාර, තිලකා ජිනදාස, රූපා ශ්‍රියානි ජයලාල් වැනි මහත්ම මහත්මීන් මතක් කරන්න කැමතියි.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා