ලෝක රග්බි කිරුළට මාන බලන බැරට් කුමාරවරු

 ඡායාරූපය:

ලෝක රග්බි කිරුළට මාන බලන බැරට් කුමාරවරු

මෙවර ලෝකකුසලාන රග්බි තරගාවලිය සඳහා නවසීලන්ත රග්බි කණ්ඩායම හෙවත් ‘ඕල් බ්ලැක්ස්‘ පිල ජපානය බලා පියාසර කළේ අතිමහත් බලාපොරොත්තු හිතේ රඳවාගෙනය. 2011 සහ 2015 යන 7 වැනි සහ 8 වැනි රග්බි ලෝක කුසලාන ද්විත්වයේ හිමිකරුවන් වූ ඔවුන්ගේ ඒකායන පැතුම මෙවරත් කෙසේ හෝ කුසලානය ඩැහැ ගැනීමයි. එය ලෙහෙසි පහසු කණ්ඩායමකට කළ නොහැකි ක්‍රියාවකි.

මෙයට පෙර ඔස්ට්‍රේලියාව සහ එංගලන්ත කණ්ඩායම් පිට පිටම අවසන් තරග දෙකකට පිවිසියද පිට පිටම ලෝක කුසලානය දෙවරක් ජය ගැනීමට සමත් වූයේ නැත. එසේ පිට පිටම දෙවරක් ජය ගැනීමට සමත් වූ එකම කණ්ඩායම වූයේද නවසීලන්තයයි. එවැනි දස්කමක් කළ නිසාදෝ නැවතත් මෙවැනි ස්වර්ණමය අවස්ථාවක් නොඑළඹෙන බැවින්ද ජපානයේදී ලෝක රග්බි කිරුළේ හිමිකරුවන් වී පිට පිටම තෙවරක් ඒ දස්කම දැක්වීමට සමත් වූ එකම රට තමන් බව පෙන්වීමට නවසීලන්තයට ඇත්තේ දැවැන්ත පිපාසයකි.

විශේෂයෙන්ම මේ වන විට රග්බි ලෝක කුසලානය තෙවරක් ජය ගෙන ඇත්තේද නවසීලන්තය පමණි. 1987 පැවැති පළමු රග්බි ලෝක කුසලානයේ හිමිකරුවන් වූයේද ඔවුන්ය. ඒ හැර ඔස්ට්‍රේලියාව 1991 සහ 1999ද, දකුණු අප්‍රිකාව 1995 සහ 2007 දී ද දෙවරක් බැගින් ලෝක රග්බි කිරුළ හිමිකර ගැනීමට සමත්ව තිබේ.

නවසීලන්තයට මෙවැනි දස්කමක් දැක්වීමට හැකිවී ඇත්තේ ඔවුන් ජාතියක් ලෙසම රග්බි ක්‍රීඩාවට දක්වන ඇල්ම සහ ආදරය නිසා බවද කිව හැකිය. රග්බි සඳහා නවසීලන්තයට පැමිණෙන ඕනෑම කෙනෙක් සාදරයෙන් පිළිගැනීමට නවසීලන්තය සූදානම්ය. විශේෂයෙන්ම රග්බි ක්‍රීඩාව ජීවිතය කර ගත් කුඩා දූපත් රාජ්‍යයන් වන ෆීජි, ටොංගා සහ සැමෝව දූපත් පමණක් නොව පැපුවා නිව්ගිනියා වැනි දූපත්වල ක්‍රීඩකයන්වද රග්බි ක්‍රීඩාව සඳහා සිය රට තුලට පිළිිගැනීමට නවසීලන්තය දෙවරක් කලපනා කරන්නේ නැත. නවසීලන්ත ජාතික රග්බි කණ්ඩායමේ ඔවුන්ට ඉහළම තැනක් හිමිව තිබීමෙන් ඒ බව වටහාගත හැකිය.

ඊට අමතරව නවසීලන්ත ජාතිකයන් පවුල් පිටින්ම රග්බි ක්‍රීඩාවේ නිරතවීම දක්නට ලැබෙන සුලභ දසුනකි. විශේෂයෙන්ම එක් පවුලේ සහෝදරයන් කිහිපදෙනෙක්ම රග්බි ක්‍රීඩා කරන්නේ එකිනෙකාට නොදෙවෙනි ආකාරයෙනි. ක්‍රිකට් සහ පාපන්දු ක්‍රීඩාද නවසීලන්තයේ ජනප්‍රියව තිබුණත් රග්බි යනු ඔවුන්ගේ ජාතික ක්‍රීඩාව මෙන්ම ආත්මයද වේ.

එය තහවුරු කරමින් මෙවර රග්බි ලෝක කුසලානය පිට පිටම තෙවැනි වරටත් නවසීලන්තයට රැගෙන යාම සහා පැමිණ සිටින ඕල් බ්ලැක්ස් කණ්ඩායමට එක් පවුලක සහෝදරයන් තිදෙනෙකුද ඇතුලත්ව සිටී.

ඉන් පළමු වැන්නා 2012 වසරේ සිට නවසීලන්ත ජාතික රග්බි කණ්ඩායම නියෝජනය කරන බියුඩන් ජෝන් බැරට්ය. 1991 මැයි 27 වැනිදා උපන් බියුඩන් බැරට් 2015 ලෝක රග්බි කුසලානය දිනූ නවසීලන්ත කණ්ඩායමේද සාමාජිකයෙකු විය. බියුඩන් ක්‍රීඩා කරන්නේ නවසීලන්ත රග්බි පිලේ වැදගත්ම ස්ථානයක් වුන ෆුල් බැක් ස්ථානයේය. 2011 රග්බි ලෝක කුසලානය නවසීලන්තයට හිමිකර දීමට එම ස්ථානයේ ක්‍රීඩා කළ එවක 32 හැවිරිදි පීරි විපූ මෙන්ම 2015 රග්බි කිරුළ හිමිකර දීමට දායක වූ ඩැනියෙල් කාටර්ද ෆුල් බැක් ක්‍රීඩකයින්ය. ඔවුන් දෙදෙනාම නවසීලන්තයේ සුපිරිම ක්‍රීඩකයින් දෙදෙනෙකි. ඒ අතරින් කාටර් වසර තුනක්ම වසරේ රග්බි ක්‍රීඩකයා ලෙස සම්මාන ලබා තිබේ.

තවමත් 28 හැවිරිදි බියුඩන් බැරට්ද අඩු වයසින්ම විශිෂ්ට රග්බි ක්‍රීඩකයෙක් බවට පත් වී සිටී. ඩැනියෙල් කාටර් ක්‍රීඩා කළ ෆුල් බැක් ස්ථානයට අතිශයින්ම සුදුස්සා තමන් බවට ඔප්පු කර ඇති බියුඩන් 2016 සහ 2017 වසරේ රග්බි ක්‍රීඩකයා සම්මානය පිට පිටම දෙවරක් හිමිකර ගැනීමට සමත් විය. පසු පෙළ සිට වේගයෙන් දිව ගොස් උත්සාහක දිනුම් ලබා ගැනීමට මෙන්ම තම පාදයෙන් උත්සාහක දිනුම් නිවැරදිව ප්‍රවර්ථනය කිරීමටද වර්තමානයේ නවසීලන්තයේ සිටින අති දක්ෂයා බියුඩන් බව සියල්ලෝම දන්නා කාරණාවකි. එසේම අවශ්‍ය අවස්ථාවේදී ඩ්‍රොප් ගෝලයකින් ඕල් බ්ලැක්ස් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමටද ඔහුට හැකියාව ඇත.

දෙවැන්නා නම් ස්කොට් කෙවින් බැරට්ය. 1993 නොවැම්බර් 20 වැනිදා උපන් ස්කොට් ෆ්ලැන්කර් ක්‍රීඩකයෙක් ලෙස නවසීලන්ත ජාතික කණ්ඩායමට තම සේවය සපයයි. ස්කොට් නවසීලන්තය නියෝජනය කරන්නේ 2016 වසරේ සිටය. ස්කොට් බොහෝ විට හිටපු නවසීලන්ත නායක රිචී මැකාව්ගේ අනුප්‍රාප්තිකයෙක් වේ යැයි බලාපොරොත්තුවක් පවතී මැකාව් යනු 2011 සහ 2015 වසරවල ලෝක කුසලානය හිමිකර ගත් නවසීලන්ත රග්බි කණ්ඩායමේ නායකයාය. ඔහු ක්‍රීඩා කළේද ෆ්ලැන්කර් සහ නොම්මර 08 ස්ථානයේය.

ස්කොට් බැරට් තවමත් බියුඩන් මෙන් සුපිරි දක්ෂතා අතරට පැමිණ නැත එහෙත් මෙවර තරගාවලියේ මූලික වටයේදී දක්ෂා දක්වමින් නවසීලන්තය අර්ධ අවසන් වටය දක්වා ගෙන ඒමට විශාල කාර්යය භාරයක් කරමින් සිටී.

තෙවැන්නා ජෝඩි මතෙව් බැරට්ය. ජොඩි ක්‍රීඩා කරන්නේ ද බියුඩන් මෙන්ම ෆුල්බැක් ස්ථානයේය. ඊට අමතරව අවශ්‍ය විට සෙන්ටර් ක්‍රීඩකයෙක් ලෙසද ජෝඩි ඕල් බ්ලැක්ස් කණ්ඩායම වෙනුවෙන් දහඩිය හෙළා තිබේ. 1997 පෙබරවාරි 17 වැනිදා උපත ලද ජෝඩි නවසීලන්ත කණ්ඩායමට මුලින්ම ක්‍රීඩා කළේ 2017 වසරේදීය. බියුඩන් ජාතික කණ්ඩායමේ ප්‍රමුඛම ෆුල් බැක් ක්‍රීඩකයා බැවින් තවමත් 22 හැවිරිදි ජෝඩිට නවසීලන්තය වෙනුවෙන් එතරම් දස්කම් දැක්වීමට අවස්ථාවක් හිමි වී නැත. එහෙත් ජෝඩි යනු බියුඩන්ට හොඳ ආදේශකයෙක් බවවට පෙන්වන කදිම සාධකය වන්නේ ඔහු මෙවර ලෝක කුසලාන කණ්ඩායමට ඇතුලත් කිරීමයි.

මෙම තිදෙනාට අමතරව තවත් බැරට් වරයෙක් සිටී ඔහු කැනී සින්ක්ලෙයාර් බැරට්ය. පවුලේ වැඩිමහල් සහෝදරයා වන කැනී ඉපදී ඇත්තේ 1990 අප්‍රේල් 26 වැනිදාය. දක්ෂ ෆ්ලැන්කර් ක්‍රීඩකයෙක් වන කැනී ගේ රග්බි දිවියේ හොඳම දක්ෂතාවය වන්නේ 2007 සහ 2008 වසරවලදී නවසීලන්ත පාසල් රග්බි කණ්ඩායම නියෝජනය කිරීමයි. අවාසනාවකට මෙන් කැනීට ඕල් බ්ලැක්ස් කණ්ඩායම නියෝජනයකිරීමේ වරම් හිමි වූයේ නැත.

ඒ අනුව බැරට්වරු තිදෙනෙක් සමග නවසීලන්තය මෙවර ජපානයට පැමිණ ඇත්තේ හිස් අතින් යාමට නොවන බව පැහැදිලිය. මෙවරද ලෝක රග්බි කුසලානය ජය ගැනීමේ සම්භාවිතාවය අතින් අංක එකට සිටින්නේ නවසීලන්තයයි. ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම් ලේඛනයේ අංක එක හිමිව ඇත්තේද ඔවුන්ටය. ඒ තැනට පැමිණීමට බැරට් සහෝදරයන්ගෙන් සිදුවූ මෙහෙයද සුළු පටු නැත. යම් හෙයකින් මෙවරත් නවසීලන්තය රග්බි ලෝක කිරුළ හිමිකරගත හොත් බැරට් පවුලට එම කිරුළේ වැඩි හිමිකමක් හිමිවීම කිසිවෙකුට වැළැක්වීමට නොහැකිය.

[ඩබ්. ආර්. කුමාර]

මාතෘකා