ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්ත්වය දිනාදීමේ සෙවණැල්ල

 ඡායාරූපය:

ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්ත්වය දිනාදීමේ සෙවණැල්ල

- ජේ.ආර්. ජයවර්ධණ

මේ මැතිවරණ සමයකි. මැතිවරණ සමයකදී ජනමාධ්‍ය භාවිතයට උපමාන හඳුන්වාදීමට මැතිවරණ කොමිසන් සභාව කටයුතු කරනු ලැබේ. එහෙයින් යම් පක්ෂයක අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය වෙනුවෙන් කටයුතු කිරීමේ විවිධ සම්බාධකයන් පවතී. කෙසේ නමුත් පසුගිය ක්‍රීඩා අතිරේකයක අප ක්‍රීඩාව වෙනුවෙන් රාජ්‍ය නායකයන් දැක්වූ දක්ෂතා පිළිබඳ ලිපියක් ලිවීමු. එමගින් අප අපේක්ෂා කළේ ක්‍රීඩාව මගින් නායකයන් නිර්මාණය වන ආකාරය පිළිබඳ සමාජයට පණිවුඩයක් කියන්නටය. එම ලිපිය අවසන් කර සති කීපයක් ගතවද්දී මෙරට ක්‍රීඩාව සම්බන්ධයෙන් කෘතහස්ථ පර්යේෂ්කයෙක් වන ලලිත් ගුණවර්ධන මහතා විසින් හිටපු ජනපතිවරුන්ගේ ක්‍රීඩා පැටිකිරිය ගැන අප හා සාකච්ඡා කළේය. එය එළිදැක්විය යුතුයැයි අපද ඔහුට දිරිදුනෙමු. මේ ඒ යටතේ අද ඔහු කතා කරන්නේ මෙරට පළමු විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා සම්බන්ධයෙනි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනපති පදවියට පත් ජේ.ආර්.ජයවර්ධන මහතා රාජකීය විද්‍යාලයේ ඉගෙන ගන්නා සමයේ ක්‍රිකට්, රගර් හා බොක්සිං ක්‍රීඩාවන්ට සහභාගිව දස්කම් පෑවේය. රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ හේ නීති විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමේද නායකත්වය ද දැරීය. ඔහුගේ මේ ක්‍රිකට් ලැදියාව නිසා 1952-1955 වසරවල ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති පදවියට ද පත් කර ගන්නා ලදී.

ඔහු ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති පදවියට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරික ප්‍රභුන් පිරිසක් එස්.එස්.සී. ක්‍රීඩාගාරයට කැඳවා “මම නිදහස් ආර්ථිකයක් ඇති කළ නිසා ඔය මහත්තුරුන්ට හොඳට හම්බ කරන්න පුලුවන් වුනා. ඒ ලාභයෙන් කීයක් හරි රටේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්න දෙන්න” යනුවෙන් ඉල්ලා සිටියේය. ඉන් පසු ගාමිණී දිසානායක මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති පදවිය භාර ගන්නා ලෙස දන්වා ඔහුට උපදෙස් දීමට බුද්ධි මණ්ඩලයක්ද තෝරා දුන්නේය. 1981 දී ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලැබීමත් 1996 දී ලෝක කුසලානය දිනීමත් යන යෝධ ක්‍රියාවලිය පසුපස සිටි සෙවනැල්ල වුයේ ජේ.ආර්. ය. ඔහු තමා බෙහෙවින් ආදරය කළ ක්‍රිකට් ක්‍රීඩාවට සැලකුවේ එසේය.

ජේ.ආර්.ගේ ක්‍රීඩාව පිළිබඳ දර්ශනය තේරුම් ගැනීමට 1973 ජුනි 21 වන දින ජාතික රාජ්‍ය සභාවේ පැවති ක්‍රීඩා පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී විරුද්ධ පක්ෂයේ නායකයා වශයෙන් ගෙන හැර පෑ කරුණු ඉවහල් වේ. මෙහි දී ඔහු විශේෂයෙන් සඳහන් කළේ ළමුන් කුඩා කල සිටම ක්‍රීඩාවලට හුරු කළ යුතු බවයි. ඔහු ක්‍රීඩා අමාත්‍යවරයා සමග මොස්කව් නුවර සංචාරය කරද්දී කුඩා වයසේ දරුවන් ක්‍රීඩා සඳහා පුහුණු කරනු දුටු බවත් සඳහන් කළේය. මෙවැනි ක්‍රීඩකයන් වැඩුණු පසු කර්මාන්තශාලාවක හෝ ලිපිකරුවෙක් මෙන් වැඩ නොකළ යුතු බවත් ඔහුගේ සම්පූර්ණ කාලය ක්‍රීඩා පුහුණුවට යෙදවිය යුතු බවත් සඳහන් කළේය. ජීවනෝපාය සඳහා රැකියාවක යෙදෙමින් ද, ක්‍රීඩාවේ යෙදෙමින් ද ජාත්‍යන්තරය ජය ගත නොහැකි බවත් සඳහන් කළේය. (තීරු අංක 1541-1546)

1980 මොස්කව් ඔලිම්පික් වර්ජන රැල්ල කුණාටුවක වේශයෙන් ලංකාවට ඇතුළු වූයේ ඔහුගේ පාලන සමයේදීය. ශ්‍රී ලංකාව මෙම තරගයට ගියහොත් කෝටා ඇතුලු විවිධ ඇමෙරිකන් ආධාර නතර කරන බව ඇමෙරිකානු තානාපතිවරයා තර්ජනය කර සිටියේය. මෙම තරගයට නොගියහොත් රුසියාවෙන් ලැබෙන ක්‍රීඩා ශිෂ්‍යත්ව ක්‍රීඩා උපකරණ ආදී විවිධ ආධාර නොදෙන බව රැසියාව තර්ජනාත්මකව පැවසීය. මෙම බරපතල ප්‍රශ්නය ඔහුගේ ඔලුවට ආ විට මද වේලාවක් නහය කැසූ ජේ.ආර්. ක්ෂණිකව තීරණයක් දුන්නේය. ඒ මෙම ඔලිම්පික් තරගයට යන නොයන තීරණය එහි යැවීමට සුදානම් කළ මලල ක්‍රීඩකයන්ට ගැනීමට අවකාශය සැලැස්සීමයි. එලෙස එම ප්‍රශ්නයෙන් ඔහු ලිස්සා ගියේය. එම කණ්ඩායම ඔලිම්පික් යා යුතු යයි කී විට එයට ඉඩ දී එම තීරණය තමාගේ තීරණයක් නොව ක්‍රීඩකයන්ගේ තීරණයක් බව ඇමෙරිකාවට දන්වා ජාම බේරා ගත්තේය.

1984 වසරේ ලොස් ඇන්ජලීස් ඔලිම්පික් තරගයට මෙරටින් යැවීමට සුදුස්සන් නැතැයි කියමින් ක්‍රීඩා අමාත්‍යාංශය වේලාසනින්ම අමුඩය ගසා ගත්තේය. මෙම අමුඩය කඩා දැමු යැංකි ඩිංකි හෙවත් ජේ.ආර්. ජනපතිවරයා වශයෙන් තීරණයක් ගෙන ක්‍රීඩා කණ්ඩායමක් එරටට යැවීමට ක්‍රියා කළේ ක්‍රීඩා අමාත්‍යාංශයට ඕනෑ හැටියට නටන්නට ඉඩ නොදෙමිනි. මෙයාකාරයෙන් තීරණ ගත යුතු තැන අභීත, නිවැරදි තීරණ ගැනීමට ඔහු කවදත් පැකිලුනේ නැත.

1981 ජාතික මහා ක්‍රීඩා උලෙළේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කිරුළු පලන් පුෂ්පා මාලනී විජේනායක ක්‍රීඩිකාවගේ කඳුලු කතාව අසා ඇයට ක්‍රීඩා අමාත්‍යාංශයේ රැකියාවක් ලබා දෙන ලෙස ජනපති ජේ.ආර්. වහා නියෝග කළේය.

ජේ.ආර් වූ කලී ක්‍රීඩා පිටිය තුළින් ඔප මට්ටම් කර ගත් පරිණත දැක්මක් ඇති දේශපාලන නායකයෙකි. එවැන්නන් මෙතෙක් බිහි වුණේනම් නැත.

(ඊළඟට ආර්.ප්‍රේමදාස)

[ලලිත් ගුණවර්ධන]

හිටපු ලේකම් - ජාතික ක්‍රීඩා සභාව

මාතෘකා