ශ්‍රී ලංකා මාතාව පදක්කමින් සැරසූ යුද හමුදා සුරුවෝ

 ඡායාරූපය:

ශ්‍රී ලංකා මාතාව පදක්කමින් සැරසූ යුද හමුදා සුරුවෝ

2018/19 වසර වලදී ජාතික ක්‍රීඩා සංචිතයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 813ක්

ඔලිම්පික් පදක්කම් දෙකම යුද හමුදාවෙන්

·තුන්වැනි ලුසෆෝනියා තරගාවලියේදී

රන් 12ක්, රිදී 02ක්, ලෝකඩ 09 ක්

·දකුණු ආසියානු පදක්කම් 214ක්

·පැරාලිම්පික් පදක්කම් දෙකක්

·2018/19 වසර වලදී

ජාත්‍යන්තර පදක්කම් 20ක්

·ආසියානු පදක්කම් 66ක්

ක්‍රිස්තු පූර්ව අටවන සියවසේදී පමණ වීර චරිත සහ තරගකාරිත්වය මගින් යම් පණ ගැන්වීමක් ලැබූ සමාජයක් පිළිබඳව ග්‍රීක කවියෙකු වන හෝමර් කාව්‍ය සංග්‍රහයක් රචනා කොට තිබේ. එම කාව්‍ය සංග්‍රහයෙන් තවදුරටත් හෙළි වන්නේ ඔවුන් යුද පිටියේ සහ ක්‍රීඩා ඉසව්වලින් විදහා පෑ දස්කම්ද මහ ඉහළින් සැලකූ බවය. මුලින් ග්‍රීක ක්‍රීඩා තරග ආරම්භ වී තිබෙන්නේ වීරයන්ගේ අවමඟුල් උත්සවයන්වලදී දෙවිවරුන්ට ගරු බුහුමන් දැක්වීමක් ලෙසටයි කියා ප්‍රදර්ශනයේ පැහැදිලි කර තිබුණි. ග්‍රීක සාහිත්‍යය පිළිබඳව ලියැවුණු දැනට තිබෙන පැරණිතම පොතක් වන හෝමර්ගේ ඉලියඩ් නමැති ග්‍රන්ථයේ ඇකිලීස්ගේ සගයන් වන ශ්‍රේෂ්ඨ රණශූර පැට්‍රොක්ලස්ගේ අවමඟුල් උත්සවයේදී ආයුධ බිම තබා ඔවුන්ගේ නිර්භීතකම පෙන්වීමට බොක්සිං, මල්ලව පොර, කව පෙත්ත හා හෙල්ලය වීසි කිරීම සහ අශ්ව රථ තරග වැනි තරග වල යෙදුණ ආකාරය පැහැදිලි කර තිබේ.

ක්‍රීඩාව හා වීරයන් අතර ඇති බැඳිම හා සම්බන්ධය එතරම් දුරකට ඇදීයයි. මේ කතා කරන්නට යන්නේ ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා කරමින් රටක් ලෝකය ඉදිරියේ ඉහළින් ඔසවා තබන්නට තම දහදිය, ශක්තිය වගුරවන හා වැගිරූ වීරයන් පිරිසක් පිළිබඳවය. ඔවුන් පුරා හැත්තෑ වසරක් පුරාවට ශ්‍රී ලංකා මාතාව රනින්, රිදියෙන්, ලෝකඩින් සරසමින් සිටිති. ඒ අන් කවරකුත් නොව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩකයන්ය.

එදා 1948 වසරේදී ඩන්කන් වයිට් මීටර් 400 ඔලිම්පික් ඉසව්වේදී රිදී පදක්කම දිනා ශ්‍රී ලංකා මාතාව පදක්කමින් සරසන්නට පටන්ගත් දා පටන්ම යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රීලංකා මාතාව ක්‍රීඩාවෙන් ලෝකය ඉදිරියේ ඔසවා තැබීම සිය වගකීම සේ සලකමින් කටයුතු කරමින් සිටිති. ඉන් අනතුරුව 2000 වසරේදී සුසන්තිකා ජයසිංහ මීටර් 200 රිදී පදක්කම දිනා ගත්තේ ද ශ්‍රී ලංකා යුදහමුදාවේ නාමයද ඉහළට ඔසවා තබමිනි.ඉන් අනතුරුව ශ්‍රීලංකා සිංහ රෙජිමේන්තුවේ යූපීපී සංජය 2012 ලන්ඩන් පැරාලිම්පික් තරඟාවලියේ මීටර් 400 ටී 46 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගනිමින්ද , ගැමුණු රෙජිමේන්තුවේ එච්.එම්.ඩී.පී. හේරත් 2016 රියෝ පැරලිම්පික් තරඟාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගනිමින්ද ලෝක ක්‍රීඩා මංගල්‍යයන් හිදී ශ්‍රී ලංකා ධජය ගුවන්තලයේ ළෙලවීමට කටයුතු කළහ.

ලෝකශූරතා තරගාවලිහිදී වූෂූ, ඉලක්කයට වෙඩිතැබීම, සෙපැක් ටැක්රෝ, ටයිකුන්ඩෝ, කැරම්, ආදී ක්‍රීඩාවලදී ද ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකා නාමය ලෝකයේ ප්‍රබල රටවල් අතරට එක්කරන්නට සමත් වූහ. එහිදී 2013 වසරේ මැලේසියාවේදී පැවැත්වූ ලෝක ශූරතා වූෂූ තරගාවලියේදී තෙවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ඩබ්ලිව්.එල්. ගුණසේකර සමත් වූ අතර 2014 දී පැවැති ලෝක ශුරතා ඉලක්කයට වෙඩි තැබීමේ තර‍ගාවලියේ දී රන් පදක්කම් දෙකක්, රිදී පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කම් පහක් දිනා ගැනීමටත් ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත්වූහ.

එසේම හත්වන සහ අටවන ලෝක ශූරතා වූෂූ තරගාවලියේදී ද ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට යුද හමුදා ක්‍රීඩකයින් දෙදෙනෙකු සමත් වීය. එසේම 2014 වර්ෂයේ පැවති ලෝක ශූරතා සෙපැක් ටැක්රෝ තරගාවලියේ දීද ,ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාවට හැකි විය.

2016 වර්ෂයේ පැවති හැන්මඩාන්ග් සහ බෑන් කී මූන් ලෝක ශූරතා ටයිකුන්ඩෝ තරගාවලියේ දී රන්, රිදී සහ ලෝකඩ පදක්කම් එක බැගින් දිනාගත් යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකා නාමය බැබලවීය.

එපමණක්ද නොව 2016 සහ 2017 වසරවලදී සහ 2018 පැවැති එයි.එම්.එස්.එස්.යූ. ලෝක ශූරතා ඉලක්කයට වෙඩි තැබීමේ තරගාවලිවලදී රන් පදක්කම් 24ක්, රිදි පදක්කම් 14 ක් සහ ලෝකඩ පදක්කම් 24 ක් දිනා ලක්මව පදක්කම්වලින් සරසන්නට යුද හමුදා ක්‍රීඩකයෝ සමත්වූහ.

එසේම 2018 වසරේ දී පැවැත්වූ පස්වන ලෝක ශූරතා කැරම් තරගාවලියේ දී රිදී පදක්කම දිනා ගැනීමට එම්.ඩී.එස්. රණවීර සමත් වූවාය.

එලෙස විවිධ ක්‍රීඩා ඉසව්වලදී ලක්මාතාව පදක්කම්වලින් සරසද්දී යුද හමුදා පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවෝද සිය ජයගොස ලෝක ශූරතා පැරා තරගාවලිවලදී පතුරවන්නට සමත් වූහ.

එහිදී ටී 46 - මීටර් 400 ඉසව්ව නියෝජනය කරමින් ප්‍රදීප් සංජය 2013 වසරේදී ලෝක ශූරතා පැර තරගාවලියේ දී ලෝකඩ පදක්කම දිනා ගන්නා ලදී. එසේම 2016 වසරේ පැවති ලෝක ශූරතා පැරා තරගාවලියේ දී එච්.ඒ.සී . හෙට්ටිආරච්චි ටී 44 - මීටර් 100 ඉසව්වෙන්ද, වයි.එම්.ඒ.පී . ජයලත් මීටර් 100 සහ 200 ඉසව්වලින් ද, 100X4 පිරිමි සහාය දිවීම ඉසව්වෙන් ද රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. ඊට අමතරව 2016 වසරේදී එච්.ඒ.සී. හෙට්ටිආරච්චි මීටර් 400 ඉසව්වෙනුත්, කේ.ජී.එස්. ඒකනායත හෙල්ල විසිකිරීම ඉසව්වෙනුත් රිදී පදක්කම් දිනා ගැනීමටත්, මීටර් 400 ඉසව්වෙන් යූ.යූ.පී. සංජය, මීටර් 100 ඉසව්වෙන් සහ මීටර් 200 ඉසව්වෙන් සී.එන්.බී. ඉන්ද්‍රපාලත් ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වූහ. එසේම 2017 වසරේ පැවති ලෝක ශූරතා පැරා මළල ක්‍රීඩා තරඟාවලියේදී හෙල්ල විසි කිරීම ඉසව්වෙන් එච්.එම්.ඩී.පී. හේරත් රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.

මීට අමතරව ලෝක හමුදා තරඟාවලිවලදී ධාවන, බොක්සිං, ටයිකුන්ඩෝ, හෙල්ල විසිකිරීම ඉසව්වලින් රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 08 ක් දිනාගැනීමට යුද හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ.

පොදුරාජ්‍යය මණ්ඩලීය තරගාවලි යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පදක්කම් ගෙනෙන කෙම්බිමක්ම විය. පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිවලදී බර ඉසිලීම. ඉලක්කයට වෙඩිතැබීම, ජූඩෝ, කරාටේ, බොක්සිං ඉසව්වලදි ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් දිනා දීමට යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතුව ඇත්තේ 2017 වසරේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ යුද හමුදාවේ කේ.කේ.එච්. දිල්හාර රන්පදක්කම් තුනක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමයි. එසේම බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් 2011 වසරේ එක් පදක්කමක්, 2013 වසරේ රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක්, 2015 වසරේදී ලෝකඩ පදක්කමක්, 2017 වසරේදී රිදී පදක්කමක් සහ 2018 වසරේ දී ලෝකඩ පදක්කමක් ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනා ගැනීමට යුද හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ. කරාටේ ක්‍රීඩාවෙන් 2015 වසරේදී රන් පදක්කම් දෙකක්, රිදී පදක්කම් දෙකක්, ලෝකඩ පදක්කම් පහක් දිනාගත් යුද හමුදා ක්‍රීඩකයෝ ජූඩෝ ක්‍රීඩාවෙන් රිදී පදක්කම් දෙකක් දිනා ගැනීමට 2010 වසරේදී සමත්වූහ. ඊට අමතරව වෙඩිතැබීමේ ක්‍රීඩාවෙන් 1995 වසරේ රන්පදක්කමක්, ලෝකඩ පදක්කමක්ද , 1999 වසරේදී ලෝකඩ පදක්කමක්ද, බොක්සිං ක්‍රීඩාවෙන් 2018 වසරේ දී ලෝකඩ පදක්කමක්ද දිනා පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවලදී යුද හමුදා ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාවේ නාමය බැබළුහ.

එසේම ආසියානු තරඟාවලිවලදී නෙට්බෝල්, ධාවන, ඉලක්කයට වෙඩිතැබීම, බේස්බෝල්, කායවර්ධන, කබඩි, බර ඉසිලීම, බල එසවීම තරඟවලින් ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂතා දැක්වූ යුද හමුදා ක්‍රීඩකයෝ රන් පදක්කම් 10 ක්, රිදී පදක්කම් 18ක් සහ ලෝකඩ පදක්කම් 16 දිනාගනිමින් ශ්‍රී ලංකා පදක්කම් පැස සශ්‍රීක කළහ.

එසේම ආසියානු පැරා තරඟාවලිවලදී ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කළ යූ.ඩී.පී. ප්‍රදීප් සංජය, ජී.ජී . උපුල් බණ්ඩාර, එස්.ඒ. සෙනවිරත්න, එල්. මිහිඳුකුලසූරිය, යූ.පී.පී. සංජය, එස්.එස්. කුමාර, වයි.පී.ඒ.පී. ජයලත්, ඒ.ජී.යූ.අයි. චූලදාස, පී.එච්.එල්. ධර්මසිරි, ඩබ්ලිව්. අමිල ප්‍රසන්න, ඒ.ජී. උපුල් ඉන්දික චූලදාස, සී.එන්. බුද්ධික ඉන්ද්‍රපාල, එච්.ජී. පාලිත බණ්ඩාර, ආර්.එස්. කීර්ති බණ්ඩාර, එස්.ඩී.ආර්. ධර්මසේන, ආර්.ඒ.එල්.එස්. රණවීර යන ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාව වෙනුවෙන් රන්පදක්කම් 05ක්, රිදී පදක්කම් 07ක් සහ ලෝකඩ පදක්කම් දහයක් දිනා දුන්හ.

එපමණක්ද නොව එදා මෙදා තුර දකුණු ආසියානු ක්‍රීඩා තරඟවලදී ශ්‍රී ලංකාව දිනාගත් පදක්කම් ගොන්නේ වැඩිම දායකත්වය යුද හමුදාව විසින් ලබා දී ඇති බවට තර්කයක් නොමැත. දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ඉලක්කයට වෙඩිතැබීම, ධාවන, බයිසිකල් ධාවන, ටයිකුන්ඩෝ, බර ඉසිලීම, කරාටේ, ජූඩෝ, කායවර්ධන, හොකී, කබඩි, බොක්සිං, පැසිපන්දු, පිහිනුම්, රෙස්ලිං. වූෂූ, වොලිබෝල්, ස්පෙක්ටක්රෝ තරඟ ඉසව්වලට සහභාගී වූ යුද හමුදා ක්‍රීඩකයෝ රන් පදක්කම් 41ක්, රිදි පදක්කම් 70ක් සහ ලෝකඩ පදක්කම් 103ක් දිනා දුන්හ.

එසේම 2014 වසරේ පැවති තුන්වැනි ලුසෆෝනියා තරඟාවලියේ තුන්පිම්ම, 100X4, මීටර් 100, 400X4,මීටර් 400, මීටර් 1500, වූෂු, ටයිකුන්ඩෝ, පාපන්දු තරඟ ඉසව්වලට ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වූ ඩී.එම්.ඩී.ඊ.යූ. ප්‍රනාන්දු, ආර්.ඩී.යූ.එස්. සුරේන්ද්‍ර, බී.ආර්.ඒ. හසරංග, ඒ.එල්.එම්. අෂ්රොෆ්, ඊ.ඩබ්ලියු.යූ රත්නකුමාරි, පී.එච්. චමල්, කේ.එම්.එන්.ජ.ී ගුණතිලක, එච්.කේ.එම්. හේරත්, පී.එච්. චමල්, ටී.ජී.එන්.ඩී. වික්‍රමසිංහ, එච්.එම්.පී. මනුරංග, පී.එම්.එන්.ජී. සඳමාලි, එච්.පී.එම්.සී.ටී. සේනාරත්න, ටී.බී.ආර්.ඒ. බණ්ඩාර, එල්.සී. සජිත් කුමාර, එච්.ඩී.එම්. ද සිල්වා, කේ.සී.එරංග, ආර්.පී. ධනුෂ්ක යන යුද හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන්පදක්කම් 12ක්, රිදී පදක්කම් 02ක්, ලෝකඩ පදක්කම් 09 ක් දිනාගත්හ.

මීට අමතරව ජූඩෝ, ධාවන, බේස්බෝල්, ටයිකුන්ඩෝ, වෝටර්පෝලෝ, ස්පෙක්ටක්රෝ ක්‍රීඩා වෙනුවෙන් පැවැති තවත් ජාත්‍යන්තර තරඟාවලිවලදී රන්පදක්කම් 05ක්, රිදී පදක්කම් 10ක් සහ ලෝකඩ පදක්කම් 08ක් ද ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනාදීමට යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ජාත්‍යන්තර තරඟවලදී ශ්‍රීලංකාවේ පදක්කම් පැස එසේ රනින් රිදියෙන් ලෝකඩින් සරසද්දී 2018 වසරේ ජාතික ක්‍රීඩා සංචිතයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 386ක්, 2019 වසරේදී ජාතික ක්‍රීඩා සංචිතයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 427ක් දායාද කරන්නටත් ශ්‍රී ලංකා යුද හමුදාවට හැකිවිය.

එසේම 2018 වසරේදී ජාතික මළල ක්‍රීඩා පිරිමි හා කාන්තා ශූරතාව, බේස්බෝල් පිරිමි ජාතික ශූරතාව, ජාතික බොක්සිං ශූරතාව (පිරිමි), ජාතික කාන්තා ක්‍රිකට් සම ශූරතාව, ජාතික ජූඩෝ පිරිමි ශූරතාව, ජාතික බර ඉසිලීමේ ශූරතාව, ජාතික ඔරු පැදිමේ ශූරතාව (කාන්තා/පිරිමි), එෆ්.ඒ. කුසලාන පාපන්දු (පිරිමි) ශූරතාව, ජාතික පිහිනුම් ශූරතාව (පිරිමි), ජාතික වොලිබෝල් ශූරතාව (පිරිමි) දිනා ගැනීමටත් 2019 වසරේදී ජාතික මලල ක්‍රීඩා ශූරතාව, 25න් පහළ රූපවාහිනී ජාතික වොලිබෝල් ශූරතාව (පිරිමි), ජාතික ආධුනික බොක්සිං ශූරතාව සහ ලේටන් කුසලාන බොක්සිං ශූරතාව දිනා ගැනීමටත් යුද හමුදාවට හැකිවිය.

එසේම ජාත්‍යන්තර තරඟාවලිවලදී 2018 වසරේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය බොක්සිං සහ බර ඉසිලීීමේ තරඟවලදී ලෝකඩ පදක්කම් 02ක්, ආසියානු තරුණ සවි එසවීමේ ශූරතාවලියේදී රිදී පදක්කමක්, තුන්වැනි ආසියානු ස්පැක්ටැක්රෝ ශූරතාවලියේදී ලෝකඩ පදක්කම් 4ක්, ආසියානු වූෂූ තරඟාවලියේ දී රන් පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කමක්, පිලිපීන මළල ක්‍රීඩාශූරතාවලියේ දී රන් හා ලෝකඩ පදක්කමක්. කොරියානු විවෘත මළල ක්‍රීඩා තරඟාවලියේ දී ලෝකඩ පදක්කමක්, තායිලන්ත ජූඩෝ තරඟාවලියේ දී රිදී සහ ලෝකඩ පදක්කමක්ද , 2019 වසරේදී තායිලන්ත ජාත්‍යන්තර ජූඩෝ තරඟාවලියේ දී රන් පදක්කමක්, ආසියානු සවි එසැවීමේ ශූරතාවලියේ දී රන් පදක්කමක්, ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේ දී ලෝකඩ පදක්කමක්, ආසියානු සවි එසැවීමේ ශූරතාවලියේ දී ලෝකඩ පදක්කමක් දිනාගැනීමටද යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

එසේම ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් යුද හමුදාවේ දායකත්වයද සිහිපත් කළ යුතුමය. මුත්තයියා මුරලිදරන්ගෙන් පසුව ඉන්ද්‍රජාලික පන්දු යවන්නා ලෙස විරුදාවලි ලත් අජන්ත මෙන්ඩිස් ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජනයකි. එසේම මේ වන විටත් ජාත්‍යන්තර තරඟවලදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන් දස්කම් දක්වන අසේල ගුණරත්න සහ සීක්කුගේ ප්‍රසන්නත් ශ්‍රී ලංකා යුද හමුදා නියෝජනයන්ය.

යුද බිමේ පමණක් නොව කෙළිබිමේද ජය කෙහෙළි නංවන්නට ශ්‍රී ලංකා යුදහමුදාවට හැකියාව ලැබී ඇති බවට තවත් සාක්ෂි අවැසි නැත. ඒ ජාත්‍යන්තර තරඟවලදී ජයග්‍රහණ ලබාගෙන රටට අභිමානයක් ගෙන දිය හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද හමුදාව ක්‍රීඩාවට ලබාදෙන දායකත්වය නිසාමය.

[දිලංක ගුණතිලක]

 

මාතෘකා