සාග් ක්‍රීඩා උලෙළේ පෙර පුහුණුවට මලල ක්‍රීඩා කණ්ඩායම නේපාලයට

 ඡායාරූපය:

සාග් ක්‍රීඩා උලෙළේ පෙර පුහුණුවට මලල ක්‍රීඩා කණ්ඩායම නේපාලයට

පිහිනුම් කණ්ඩායම දියතලාවට

දහතුන් වැනි දකුණු ආසියානු ක්‍රීඩා උලෙළ වෙනුවෙන් පෙර පුහුණු කටයුතු සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම කල්තබා නේපාලය වෙත යැවූවත් පිහිනුම් කණ්ඩායම එලෙස එරටට නොයැවීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර ඇත. පිහිනුම් කණ්ඩායම නේපාලයට යවන ලෙසට ඉල්ලීමක් කර තිබූ නමුත් එය ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කිරීමට තීරණය කර ඇත්තේ නේපාල සංවිධායකයන් ප්‍රමාණවත් පුහුණු පහසුකම් සැපයීමට තරම් තවමත් අපොහොත්ව ඇති බැවිනි.

එරට සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා නිරීක්ෂණ කණ්ඩායම පිහිනුම් කණ්ඩායම කල්තබා නේපාලයට එවීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇත. එහිදී නේපාල බලධාරීන් පවසා ඇත්තේ කත්මණ්ඩු නුවර ඇති හෝටල් කීපයක පවතින මීටර් 25ක දිගින් යුතු පිහිනුම් තටාක ඒ සඳහා ප්‍රයෝජනයට ගත හැකි බවයි. මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකා බලධාරීන් පවසන්නේ පිහිනුම් කණ්ඩායම කල්තබා නේපාලයට පිටත්කර යැවීම නිෂ්ඵල වෑයමක් වනු ඇති බවයි. ‘මීටර් විසිපහක් දිග තටාකවල පුහුණු වෙන්නේ මොකටද? එහෙම පුහුණුවෙලා තරගාවලියට සහභාගි වෙන්නේ කොහොමද? දැනටමත් අපි පදක්කම් ගණනාවක් දිනාගන්න අවශ්‍ය ඉලක්ක සම්පූර්ණ කරලා තිබෙන්නේ. ඒ නිසා නේපාලයට යනවට වැඩිය අපි දියතලාවේ ගිහින් සිසිල් කාලගුණයක පිහිනුම් පුහුණුවේ නිරතවීම හොඳයි.’ යැයි අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් රැසට පැවසීය.

‘අපි මේ සම්බන්ධයෙන් පිහිනුම් සංගමය සමඟ සාකච්ඡා කළා. ප්‍රධාන පුහුණුකරු මනෝජ් අබේසිංහ කිව්වේ පුහුණු කටයුුතු දියතලාවේ කරන්නම්. නේපාලයට කල්තබා යන්න අවශ්‍ය නෑ කියලයි. මේවගේ තත්ත්වයක් තිබෙනවානම් එහෙම යාමෙන් ඇතිවැඩක් නෑ යැයි ඔහු කීවා.’යැයි එම ප්‍රකාශකයා තවදුරටත් සඳහන් කළේය.

කෙසේ නමුත් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණු අවස්ථා සපයාගැනීමට කත්මණ්ඩු නුවරට මිනිත්තු තිහක පමණ දුරින් යුද හමුදා ක්‍රීඩාංගණයක් පවතින බව නේපාල බලධාරීන් ප්‍රකාශ කර ඇත. ‘අපිට මලල ක්‍රීඩකයන් එවන එක ගැටලුවක් නොවෙයි. ඔවුන්ට පුහුණු වෙන්න පහසුකම් සලසන්න හැකියි කියලා නේපාල බලධාරීන් කියා තිබෙනවා. බලමු ඒ කණ්ඩායම කල් ඇතිව නේපාලයට යවන්න අපට හැකිවේවි.’යැයි එම ප්‍රකාශකයා සඳහන් තවදුරටත් සඳහන් කළේය.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

News Order: 
1
මාතෘකා