කොදෙව්වන්ට කඩුලු 7ක ජයක්

 ඡායාරූපය:

කොදෙව්වන්ට කඩුලු 7ක ජයක්

සිය එක්දින තරග දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යව රැස් කළ රොස්ටන් චෙස් ඇෆ්ගනිස්තානය සමග පැවැති පළමු එක්දින තරගයේ ජයග්‍රහණය කරා කොදෙව් කණ්ඩායම රැගෙන යාමට සමත් විය.

ඉන්දියාවේ ලක්නව්හි අතල් බිහාරි වජ්පායි ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 195ක ඉලක්කයක් බටහිර ඉන්දීය කොදෙව් පිලට ලැබුණු අතර පන්දුවාර 46.3කදී, කඩුලු 3ක් පමණක් දැවී තම ඉලක්කය සපුරා ගැනීමට කොදෙව්වෝ සමත් වූහ.

පන්දු 115කින් ලකුණු 94ක් රැස් කළ රොස්ටන් චෙස් ඒ සඳහා හතරේ පහර 11ක්ද එල්ල කළේය. චෙස් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ෂයි හෝප් සමග ලකුණු 163ක සබඳතාවක් පැවැත්වීමට සමත් වූයේ කොදෙව් ජය මාවත විවිර කරමිණි. ජයග්‍රහණය දක්වාම නොදැවී පිටියේ රැඳී සිටි හෝප් ලකුණු 77ක් රැස්කර සිටි අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 5ක් ඇතුළත් විය.

කාසියේ වාසිය දිනූ කොදෙව් නායකයාගේ ඇරයුමින් පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගන් කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 194ක් පමණි. ඇෆ්ගන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රහ්මට් ෂා පන්දු 80කින් ලකුණු 61ක් රැස් කළ අතර ෂාගේ ඉනිමට හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විණි. සිය ඉනිමේ කඩුලු 2ක් ලකුණු 15ට බිඳ වැටී තිබූ අවස්ථාවේදී ෂා සමග එක්වූ ඉක්‍රම් අලිකිල් පන්දු 62කින් ලකුණු 58ක් රැස් කිරීමට සමත් විය. අලිකිල්ද හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් එල්ල කිරීමට සමත් විය.

ලකුණු සාරාංශය

ඇෆ්ගනිස්තානය (පන්දුවාර 45.2කදී, සියලු දෙනා දැවී) 194(රහ්මට් ෂා 61, ඉක්‍රම් අලිකිල් 58, අස්ගර් ඇෆ්ගන් 35, ජේසන් හෝල්ඩර් 2/21, රොස්ටන් චෙස් 2/31, රොමාරියෝ ෂෙපර්ඩ් 2/32)

කොදෙව් පිල (පන්දුවාර 46.3කදී, කඩුලු 3ක් දැවී) 197 (රොස්ටන් චෙස් 94, ෂයි හොප් නොදැවී 77, මුජිබ් උර් රහ්මාන්, 2/33)

News Order: 
4
මාතෘකා