මාස එකහමාරක් පුරා ලෝකයට ක්‍රිකට් උණ ගන්වන සිව් අවුරුදු මහා ක්‍රිකට් මංගල්‍යය අද සිට...

 ඡායාරූපය:

මාස එකහමාරක් පුරා ලෝකයට ක්‍රිකට් උණ ගන්වන සිව් අවුරුදු මහා ක්‍රිකට් මංගල්‍යය අද සිට...

කිරුළ කාටද?

මේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවන රටවල් දහයේ නායකයන්ය. ඔවුහු මේ අයුරින් සමූහ ඡායාරූපයකට පෙනී සිටින අවස්ථාව අයි.සී.සී.ය විසින් ඡායාරූපගත කරනු ලැබිණි. ලෝක කුසලානය සම්බන්ධයෙන් එක් එක් කණ්ඩායම් දරණ අදහස එකී කණ්ඩායම් නායකයන් විසින් ප්‍රකාශයට පත්කළ අතර වචන දහසකින් නොකියවෙන බොහෝදේ මෙම ඡායාරූපයෙන් කියවිය හැකිවනු ඇත.

ලොව පුරා ගිය කුසලානය යළි ලන්ඩනයට

ලොව පුරා සංචාරයක නියැලි ලෝක කුසලානය එංගලන්තය තුළ ගෙන යාමෙන් අනතුරුව යළි ලන්ඩනය වෙත පැමිණ තිබේ. එංගලන්ත ක්‍රිකට් ආයතනය පැවසූවේ දින සියයක කාල සීමාවක් පුරා සංචාරය කරනු ලැබිණි.

ඕමානය, ඇමරිකා එක්සත් ජනපදය, ජැමෙයිකාව, බාර්බෙඩෝස්, ශ්‍රී ලංකාව, පාකිස්තානය, බංග්ලාදේශය, නේපාලය, ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, රුවන්ඩා, නයිජීරියා, බෙල්ජියම්, නෙදර්ලන්තය, ජර්මනි යන රටවල සංචාරය කළේය.

ස්ථාන 115ක මෙම කුසලානය පිළිගැනීම වෙනුවෙන් උත්සව සංවිධානය කර තිබුණේය. එම කුසලානය සමඟ ඡායාරූප ගැනීමේ දුර්ලභ අවස්ථාවද ප්‍රේක්ෂකයන්ට හිමිකරදීමට අයි.සී.සී. ය කටයුතු කර තිබුණේය.

2019 ලෝක කුසලාන සටන්කරුවෝ

එංගලන්තයේ අද ආරම්භවන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන පහළොස් දෙනෙකුගෙන් සමන්විත අවසන් සංචිත නම් කිරීමට සියලු කණ්ඩායම් කටයුතු කර තිබුණේය. අයි.සී.සී.ය දැනුම්දී තිබූ අවසන් දිනයට පෙර එවන ලෙස දැනුම්දෙන ලද මෙම පහළොස්දෙනාගේ සංචිතයට අයත් ක්‍රීඩකයන් මේ වනවිට එංගලන්තයට පැමිණ සිටින අතර ඔවුහු සියලු දෙනා පෙර පුහුණු තරග වෙනුවෙන්ද ක්‍රීඩාකරනු ලැබිණි. ඔවුන් අතරින් සුදුසුම ක්‍රීඩකයන් ලෙසින් අවස්ථානුකූලව සහ තණතීරු ස්වභාවයත් ප්‍රතිවාදීන්ගේ ක්‍රීඩා රටාවන් අනුව අවසන් එකළොස් දෙනාගේ කණ්ඩායම නම්කරනු ඇත. ඒ ඒ රටවල් නම්කර ඇති අවසන් පහළොස්දෙනාගේ සංචිත මෙසේය.

---------------------

නෙල්සන් කුළුණේ ක්‍රිකට් සැමරුම්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ලන්ඩන් නුවර ආශ්‍රිතව පිහිටා ඇති නෙල්සන් කුළුණ සැමරුම් උදෙසා යොදාගැනීමට තරගාවලි සංවිධායකයන් කටයුතු කර තිබේ. පසුගිය පෙබරවාරි මාසයේ සිට මම් ආකාරයෙන් සැමරුම් වෙනුවෙන් නෙල්සන් කුළුණ යොදාගන්නා බව එංගලන්ත ක්‍රිකට් ආයතනය දැනුම් දී තිබුණේය.

මේ අනුව විශාල කඩුල්ලක මැද ඉන්න වශයෙන් නෙල්සන් කුළුණ යොදාගැනීමට කටයුතු කරනු ලැබිණි. දින සියයක කාල සීමාවක් වෙනුවෙන් එය යොදාගැනීමට ඔවුන් සැලසුම් කර තිබුණේය. ඒ අනුව තරගාවලිය ආරම්භවන පළමු දිනය වන අද දක්වා අදාළ සැරසිලි පවත්වාගෙන යන බව සඳහන්ය.

---------------------

දිනන්නේ කවුද? ලංසුව කොහොමද?

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතිශය තරගකාරීය. එංගලන්තයේ පවතින තණතීරු හැසිරෙන ආකාරයත්, ලෝකය පුරා පැවැත්වූ පන්දුවාර විස්ස තරගාවලි ඇතුළු තරග රැසකින් ලබාගත් අත්දැකීම් සහිතව ලෝකයේ බල සම්පන්නම ක්‍රිකට් රාජ්‍යයන් දහය මෙවර තරගාවලිය වෙනුවෙන් ඉදිරිපත්ව සිටී.

එහෙත් මෙම තරගාවලියේදී එක් එක් කණ්ඩායම්වලට ශූරතාව දිනාගැනීමට ඇති හැකියාව පිළිබඳ දැනටමත් ලොව පුරා ලංසු තැබෙමින් ඇත. කවුරුන් ජයගනීද, කවුරුන් පරාජයවේද, එක් එක් කණ්ඩායම් ජයගැනීමේ සම්භාවිතාව බෙදී යන්නේ කොයි අයුරින්ද යන්න එහිදී විවිධ පුද්ගලයන් විසින් අර්ථ ගන්වා ඇත.

එකී අර්ථ කථනයන්ට අනුව එක් එක් කණ්ඩායම් ශූරතාව දිනාගැනීමට ඇති අවස්ථාවන් මෙසේය.

කණ්ඩායම ජයග්‍රහණය කිරීමේ අවස්ථාවන්

ඇෆ්ගනිස්ථානය 100/1

ඔස්ට්‍රේලියාව 4/1

බංග්ලාදේශය 80/1

එංගලන්තය 9/4

ඉන්දියාව 11/4

නවසීලන්තය 10/1

පාකිස්තානය 14/1

දකුණු අප්‍රිකාව 10/1

ශ්‍රී ලංකාව 40/1

බටහිර ඉන්දීය කොදෙව් 14/1

-------------------

සත්කාරයේ චමත්කාරය

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරගයකට සත්කාරකත්වය ලබාදෙන ක්‍රීඩාංගණයක් වීමට අවස්ථාවක් හිමිවන්නේ එය සුවිශාල ජයග්‍රහණයක් ලෙසින් සැලකිය හැකිය. 12 වැනි අදයර වශයෙන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එවැනි ජයග්‍රාහී හිමිකම් උදාකරගත් ක්‍රීඩාංගණ සංඛ්‍යාව 11කි. බර්මින්ග්හෑම්, බ්‍රිස්ටල්, කාඩිෆ්, චෙස්ටර් ලී ස්ට්‍රීට්, ලීඩ්ස්, ලන්ඩන්, මැන්චෙස්ටර්, නොටිංග්හෑම්, සදම්ප්ටන් සහා සහ ටෝටන්හි යන නගරයන් කේන්ද්‍ර කරගනිමින් මෙම ක්‍රීඩාංගණ විසිරී ඇත.

එජ්බැස්ටන් පිටිය

බර්මින්ග්හෑම්හි වොවික්ෂයර් ප්‍රාන්තයට අයත් එජ්බැස්ටන් පිටියේ මෙවර ලෝක කුසලාන තරග 5ක් පැවැත්වීමට නියමිතය. ඒ සඳහා එක් අවසන් පූර්ව තරගයක් සංවිධානය කිරීමේ ගෞරවයද ඇතුළත් වේ. මෙම ක්‍රීඩාංගණයේ ක්‍රීඩාලෝලීන් විසිපන්දහසකට තරග නැරඹීමේ පහසුකම සපයා ඇත.

බ්‍රිස්ටල් පිටිය

ග්ලොෂ්ටෂයර් ප්‍රාන්තයට අයත් බ්‍රිස්ටල් ක්‍රීඩාංගණය පිහිටා ඇත්තේ බ්‍රිස්ටල් නුවරය. මෙවර එංගලන්ත තරග සංවිධායකයන් විසින් ලෝක කුසලාන තරග තුනක් මෙම පිටියේ පැවැත්වීමට සැලසුම්කර ඇත. එම ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයක් නැරඹීමේදී සජීවී වශයෙන් ප්‍රේක්ෂකයන් 17500කට පහසුකම් සැලසී ඇත.

සොෆියා පිටිය

මෙම ක්‍රීඩාංගණය තරමක් වෙනස් නමකැයි සිතිය හැක්කේ එය වැඩිවශයෙන් හඳුන්වනුයේ කාඩිෆ් ක්‍රීඩාංගණය ලෙසින් වන හෙයිනි. එංගලන්තයේ ග්ලැමෝගන් ක්‍රිකට් ප්‍රාන්තයට අයත් කාඩිෆ් නුවර පිහිටා ඇති මෙම ක්‍රීඩාංගණය තුළ ලෝක කුසලාන තරග 15643කට තරග නැරඹීමේ පහසුකමින් යුක්තය. මෙවර ලෝක කුසලාන තරග හතරක් මෙහි පැවැත්වෙනු ඇත.

රිවර්සයිඩ් පිිටිය

චෙස්ටර්ලී ස්ට්‍රීට් හි පිහිටි රිවර්සයිඩ් ක්‍රීඩාංගණයට හිමිකම් කියනුයේ ඩර්හෑම් ප්‍රාන්තයයි. එහි විසිදහසක් වූ ප්‍රේක්ෂක ප්‍රජාවක් වෙනුවෙන් තරග නැරඹීමේ පහසුකම්වලින් යුක්තය. මෙවර එහි පැවැත්වෙන තරග සංඛ්‍යාව ලෝක කුසලාන තරග තුනකි.

හෙඩිංග්ලි පිිටිය

යෝක්ෂයර් ප්‍රාන්තයට අයත් හෙඩිංග්ල් ක්‍රීඩාංගණය පිහිටා ඇත්තේ ලීඩ්ස් හිය. මෙවර ලෝක කුසලාන තරගවාරයේ තරග හතරක් එහි සංවිධානය කරනු ඇති අතර ඒවා නැරඹීමේ පහසුකම ක්‍රීඩා ලෝලීන් 18350කට ලබාදීමට හැකියාව පවතී.

ලෝර්ඩ්ස් පිටිය

ලන්ඩන් නුවර පිහිටා ඇති ක්‍රිකට් ලොවේ මක්කම යනුවෙන් හඳුන්වනු ලබන ලොර්ඩ්ස් ක්‍රීඩාංගණය මිඩ්ල්සෙක්ස් ප්‍රාන්ත හිමිකම් කියයි. ඓතිහාසික ක්‍රීඩාංගණයක් වශයෙන් ප්‍රමුඛ මෙම ක්‍රීඩාංගණය ප්‍රේක්ෂකයන් විසි අට දහසකට තරග නැරඹිය හැකි පහසුකම්වලින් සමන්විත වේ. මෙවර අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ එම ක්‍රීඩාංගණයේදීය. එම තරගය ඇතුළුව තරග පහක් පැවැත්වීමට එංගලන්තය සූදානමින් සිටී.

ඕවල් පිටිය

සරේ ප්‍රාන්ත ක්‍රිකට් සමාජයට අයත් ද ඕවල් පිටිය පිහිටා ඇත්තේ ලන්ඩන් නගරයේමය. අගනගරයේ සිට කෙටි දුරක් ගමන් කිරීමෙන් අනතුරුව පිවිසිය හැකි ඕවල් පිටිය තුළ තරග පහක් පවත්වන බව එංගලන්ත තරග සංවිධායකයන් පවසයි. එහි තරග නැරඹීමේදී විසි පන්දහස් පන්සිය දෙනෙකුට තරග නැරඹීමේ අවස්ථාව හිමිවේ.

ඕල්ඩ් ට්‍රැෆඩ් පිටිය

මැන්චෙස්ටර් නුවර පිහිටා ඇති ඕල්ඩ් ට්‍රැෆඩ් ක්‍රීඩාංගණය අයත්වනුයේ ලැන්ක්ෂයර් ප්‍රාන්තයටය. මෙවර එම ක්‍රීඩාංගණයේ අවසන් පූර්ව තරගයක් ඇතුළුව තරග හයක් පැවැත්වෙනු ඇත. තරගය නැරඹීම වෙනුවෙන් ප්‍රේක්ෂකයන් විසි හය දහසකට අවස්ථාව සහිත ක්‍රීඩාංගණයක් ලෙස මෙම ක්‍රීඩාංගණය සැලකෙයි.

ට්‍රෙන්ට්බ්‍රිජ් පිටිය

නොටිංහැම්ෂයර් නුවර නොටිංහැම්ෂයර් ප්‍රාන්තයට අයත් ක්‍රීඩාංගණයක් ලෙසින් ට්‍රෙන්ට් බ්‍රිජ් ක්‍රීඩාංගණයේද ලෝක කුසලාන තරග පැවැත්වෙයි. තරග පහක් සංවිධානය කරන ට්‍රෙන්ට්බ්‍රිජ් ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකයන් 17500කට තරග නැරඹීමේ පහසුකමින් යුත්තය.

රෝස්බෝල් පිටිය

හැම්ප්ෂයර් ප්‍රාන්තයට අයත රෝස් බෝල් පිටිය පිහිටා ඇත්තේ සදම්ප්ටන් හිය. විසි පන්දහසක් වන ප්‍රේක්ෂකයනට තරග නැරඹිය හැකි මෙම ක්‍රීඩාංගණයේ ලෝක කුසලාන තරග 5ක් පැවැත්වෙනු ඇත.

කවුන්ටි පිටිය

ටෝන්ටන් හි පිහිටා ඇති සමර්සෙට් ප්‍රාන්තයට අයත්වන කවුන්ටි ක්‍රීඩාංගණය අඩු ප්‍රේක්ෂක ප්‍රමාණයකට තරග නැරඹීමේ පහසුකම් පවතී. තරග තුනකට පමණක් සත්කාරකත්වය දක්වන මෙම ක්‍රීඩාංගණයේ තරග නැරඹිය හැක්කේ ප්‍රේක්ෂකයන් 12500කට පමණි.

----------------------

තරග කාලසටහන

සමස්ත ලෝකයටම ක්‍රිකට් උණ ගන්වමින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (30) එංගලන්තයේදී ආරම්භ වෙයි. අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනය මගින් සිව් වසරකට වරක් සංවිධානය කරනු ලබන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ දොළොස් වැනි වතාවටය.

මෙවර තරගාවලිය එංගලන්තය පුරා ක්‍රීඩාංගණ 11ක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය. අද එහි පළමු තරගය වශයෙන් සත්කාරක එංගලන්තය සහ දකුණු අප්‍රිකාව තරග වදී. එම තරගය ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙයි.

එලෙස අද ඇරඹුණ ලෝක කුසලාන මහා මංගල්‍යය පැවැත්වීමට නියමිත කාලය දින හතළිස් එකකි. එම තරග පැවැත්වෙන කාල වකවානුව පුරා සමස්ත ලෝක වාසී ජනතාව ක්‍රිකට් උණුසුමින් දැවෙනු ඇතැයි විශ්වාස කළ හැකිය. ලොව පුරා විවිධ රූපවාහිනී ඔස්සේ විකාශය කෙරෙන ලෝක ක්‍රිකට් මහා මංගල්‍යය සජීව නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලංකා වාසීන්ට උරුමකර දෙන්නේ රාජ්‍ය රූපවාහිනියේ අයි නාලිකාව ඔස්සේය.

 

මාතෘකා