මම තවත් කඩුලු ත්‍රිත්වයක් ලබාගන්න උත්සාහ කරනවා

 ඡායාරූපය:

මම තවත් කඩුලු ත්‍රිත්වයක් ලබාගන්න උත්සාහ කරනවා

ලසිත් මාලිංග

හෙට (30) දිනයේ ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තවත් කඩුලු ත්‍රිත්වයක් දවාගැනීමට තමන් උත්සහ ගන්නා බව සුපිරි ශ්‍රී ලංකා වේග පන්දුයවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි. ඔහු 2007 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේදී පන්දු හතරක් තුළ කඩුලු හතරක් දවාගනිමින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීය.

‘ඇයි මට තවත් කඩුලු ත්‍රිත්වයක් දවාගන්න බැරි. මම මේ තරගාවලියේදී ඒකට උත්සාහ කරනවා. ඇත්තටම එය විශේෂ එකක්’ මාලිංග පවසා සිටී.

එක්දින තරගයන්හි වැඩිම කඩුලුලාභීන් දසදෙනා අතරට පැමිණීමට ඔහුට තවත් එක් කඩුල්ලක් පමණක් දවාගත යුතුය. එම කඩුල්ල දවාගැනීමෙන් අනතුරුව එක්දින පන්දුයවන්නන් අතර සනත් ජයසූරිය හා සමතැන් ගැනීමටද මාලිංගට අවස්ථාව හිමිවෙයි.

‘එංගලන්තයේ ක්‍රීඩා කරද්දී සියලු තත්ත්වයන්ට හුරුවිය යුතු වෙනවා. ඒක හුඟාක් උණුසුම් හෝ තරමක් සීතල වෙන්න පුලුවන්. එංගලන්තයේ ක්‍රීඩා කිරීම පන්දුයවන්නෙක් වශයෙන් ඔබගේ හැකියාවන් පරීක්ෂා කර බැලීමක්’ මාලිංග පවසා තිබේ.

‘අයි.පී.එල්. තරගාවලියයි ලෝක කුසලාන තරගාවලියයි එකිනෙකට වෙනස් ව්‍යුහයන් දෙකක්. ඇත්තටම අයි.පී.එල්. තරගාවලියේ සාර්ථකත්වයට පත්වීම විශ්වාසය වැඩිදියුණු කිරීමක්. අනෙක් කාරණය එංගලන්තයෙයි, ඉන්දියාවෙයි තරග පැවැත්වුණු තත්ත්වයනුත් එකිනෙකට වෙනස්’ ඔහු පෙන්වාදෙයි.

‘පහුගිය අවුරුදුවල අපේ කණ්ඩායම තුළ ලොකු නම් කියැවුණා. නමුත් දැන් ඉන්න හාදයොත් ඉතාම දක්ෂයි. ඔවුන් තමන්ගේ සුදුසු බව ඔප්පු කරන්න බලාගෙන ඉන්නෙ. ප්‍රේක්ෂකයෝ ඔවුන් ගැන අවධානයෙන් සිටිය යුතුයි. ඇත්තටම අපිට හොඳ ක්‍රීඩකයන් පහළොවක් ඉන්නවා. ඔවුන් වැඩි පළපුරුද්දක් ඇති විශිෂ්ට දක්ෂතා සහිත යොවුන් ක්‍රීඩකයන් වශයෙන් බෙදා දක්වන්න පුළුවන්’ ඔහු තවදුරටත් පවසා ඇත.

මාතෘකා