ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා පුහුණු තරගය අද

 ඡායාරූපය:

ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා පුහුණු තරගය අද

පළමු පුහුණු තරගයේදී දිමුත් සහ මැතිව්ස් ලකුණු අතරට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාව සහභාගිවන දෙවැනි සහ අවසන් පුහුණු තරගය අද ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙයි. එය ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්නගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම මුහුණ දෙන තෙවැනි තරගය ලෙස සැලකෙයි. මෙයට පෙර ස්කොට්ලන්තයේ දී තරග දෙකකට සහභාගිවීමට නියමිත වුවද කාලගුණයේ බලපෑම හේතුවෙන් ඔවුන් සහභාගිවූයේ එක් තරගයක් පමණි.

මේ අතර පසුගිය සෙනසුරාදා දක්වා පැවැති පෙර පුහුණු වටයේ තරග කීපයකින් ඇෆ්ගනිස්ථානය, දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වූහ. එහි පළමු පෙර පුහුණු තරගය වශයෙන් පසුගිය 24 වැනිදා පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය අතර බ්‍රිස්ටල්හි පැවැති තරගයෙන් ජය හිමිවුණේ මෙවර ලෝක කුසලානයේ වඩාත් ආධුනික කණ්ඩායම ලෙස සැලකෙන ඇෆ්ගනිස්ථාන කණ්ඩායමටය. එම තරගයයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තානු නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව පිටියට පිවිසි පාකිස්තාන පිතිකරුවෝ අතරින් සාර්ථකම පිතිකරුවා වූයේ බාබර් අෂාම්ය. ඒ ඔහු පන්දු 108 ක් තුළ හයේ පහර දෙකක් සහ හතරේ පහර 10ක් සහිතව ශතකයක් රැස්කීම හේතුවෙනි. බාබර් තම ඉනිමේ ප්‍රහාරක වේගය වශයෙන් 103.7ක් පවත්වාගෙන යාමට සමත්වූ අතර ෂොයිබ් මලික් ලකුණු 44ක් රැස්කරමින් පාකිස්තානු ඉනිමේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා විය. මේ අතර පන්දුවාර 47.5ක් තුළ පාකිස්තානු පිතිකරුවන් සියලු දෙනා ක්‍රීඩාගාරයට හරවා යැවූ ඇෆ්ගනිස්ථාන පන්දුයවන්නෝ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තුළ තමන් සෙසු කණ්ඩායම්වලට අභියෝගයක් එල්ල කළ හැකි කණ්ඩායමක් බව යළිත් සංඥා කළේය. ඒ අතරවාරයේ පාකිස්තාන පිතිකරුවෝ ලකුණු 262ක් ලබාගත්හ.

පිළිතුරු ඉනිම ගොඩනැගීම ඇරඹි ඇෆ්ගන් පිතිකරුවන්ට පාකිස්තානු පන්දුයවන්නන් ලකුණු වේගය පවත්වාගෙන යාමට යම් තර්ජනයක් එල්ල කළද පන්දුවාර 49.4ක් තුළ සිය ජයග්‍රාහී ඉලක්කය සම්පූර්ණ කිරීමට ඇෆ්ගන් පිතිකරුවෝ සමත්වූහ. ඒ සඳහා ඔවුන් වැයකරනු ලැබුවේ කඩුලු 7ක් පමණි. ඇෆ්ගන් පිතිකරුවන් අතරින් හෂමතුල්ලා ෂහාඩි නොදැවී ලකුණු 74ක් රැස්කරමින් ජයග්‍රහණයේ නියමුවා බවට පත්වුණේය. ඔහු තම ඉනිම සඳහා හතරේ පහර හතක් එල්ල කරමින් පන්දු 102කට මුහුණදී කඩුල්ලේ රැඳීසිටි අතර ඔහුට අනගි සහයක් ලබාදෙමින් හෂ්රත් ෂාෂල් ලකුණු 49ක් ද, මොහොමඩ් නැබී (34), රාමත් ෂා (32) රැස්කළහ.

ලකුණු සාරාංශය

පාකිස්තානය 262 (බාබර් අෂාම් 112, ෂොයිබ් මලික් 44, ඉෂාම් උල් හක් 32, මොහොමඩ් නැබී 3/46, රෂීඩ් ඛාන් 2/27, දවාලට් ෂර්දාන් 2/37, හමීඩ් හසන් 1/31, අෆ්ටබ් අලම් 1/47)

ඇෆ්ගනිස්ථානය (පන්දුවාර 49.4 ක් අවසානයේ කඩුලු 7ක් දැවී) 263 (හෂ්මතුල්ලා ෂහීඩි (නොදැවී) 74, හෂ්රත් ෂාෂල් 49, මොහොමඩ් නැබ 34, රාමටත් ෂා 32, මොහොමඩ් ෂාෂාඩ් 23, ෂමයුල්ලා ෂිනාවරි 22, වහාබ් රියාස් 3/46, ඉමාඩ් වෂීම් 2/29, මොහොමඩ් හැෂ්නයින් 1/34, ශාඩබ් ඛාන් 1/64)

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව දකුණු අප්‍රිකාවට ලකුණු 87ක පහසු ජයක්

සෙනසුරාදා පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තීරණය කළේ පළමුව පන්දු රැකීමටය. ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකානු පිලේ ඉහළම ලකුණු ලාභියා වූයේ නායක ෆැෆ් ඩු ප්ලෙසිස් ලකුණු 88ක් රැස්කළේය. ඔහුට අනගි සහයක් ලබාදුන් ආරම්භක පිතිකරු හෂීම් අම්ලා රැස්කළ ලකුණු ප්‍රමාණය 65කි. රැසල් වැන් ඩර් ඩුසේන් ලකුණු 40ක් ඇන්ඩිල් පෙලෙන්ක්වායෝ ලකුණු 35ක් රැස්කිරීමට සමත්වූහ. ශ්‍රී ලංකා පන්දුයවන්නන්ට තරගය පුරා ස්ථාවරවීමට කිසිදු අවසරයක් ලබානොදුන් දකුණු අප්‍රිකානු පිතිකරුවන්ගේ පිතිහරඹය පන්දුවාර පනහ අවසානයේ සනිටුහන් වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 338ක් ලෙසිනි. ඉසුරු උදාන පමණක් යම් පාලනයක් සහිතව පන්දුයැවූ අතර සෙසු පන්දුයවන්නන් අතරින් ධනංජය ද සිල්වා යම් තරමකට පිතිකරුවන් ඇඳබැඳ තබාගත්තේය. සුරංග ලක්මාල් සහ නුවන් ප්‍රදීප් ආරම්භක පන්දුයවනන් යුගලය වශයෙන් කඩුලු 2 බැගින් දවාලූවද ඔවුන්ගේ එක් පන්දුවාරයකට ලකුණු 7 ඉක්මවා රැස්කිරීමට ප්‍රතිවාදී පිතිකරුවෝ සමත් වූහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම ඇරඹි ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩාකළ කුසල් ජනිත් පෙරේරා ලකුණු පුවරුවේ ලකුණු සටහන්ව නොතිබියදී පළමු කඩුල්ල වශයෙන් දැවී ගියේය. ඔහුගේ වගකීම සියතට ගැනීමට පිටියට පිවිසි ළහිරු තිරිමාන්නට කඩුල්ලේ රැඳීමට හැකිවුණේ යන්තමින් තෙවැනි පන්දුවාරය ආරම්භවනතුරු පමණි. ඉන්පසු කුසල් මෙන්ඩි 14 වැනි පන්දුවාරයේ පළමු පන්දුවේදී දැවී ගිය අතර නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකළ දිමුත් කරුණාරත්න පිට පිට තමන් රැස්කළ දෙවැනි අර්ධ ශතකය වාර්තා කළේ ලකුණු 87ක් වශයෙනි. ඔහුගේ කඩුල්ල අහිමිවන විට තිස්වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුව ක්‍රියාත්මක වෙමින් තිබිණි. එවිට ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 4ක් දැවී ලකුණු 170ක් ලෙසය.

ඉන්පසු ධනංජය ද සිල්වා පස්වැනි කඩුල්ල වශයෙන් දැවී ගිය අතර එවිට ලකුණු පුවරුව දැක්වුණේ 199ක් ලෙසය. ඔහු එසෙල දැවීගියේ තිස් හයවැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේදීය. තිස්අට වැනි පන්දුවාරයේ පස්වැනි පන්දුවේදී ජීවන් මෙන්ඩිස් දැවීයද්දී ලකුණු තත්ත්වය කියැවුණේ කඩුලු හයක් දැවී ලකුණු 220ක් ලෙසිනි. ඉන්පසු දැවී ගියේ හොඳින් පන්දුවට පහරදෙමින් සිටි ඇන්ජලෝ මැතිව්ස්ය. ඔහු එලෙස දැවී යද්දී ලකුණු 64ක් රැස්ක සිටියේය. එවිට ලකුණු පුවරුව 235ක් වශයනේ කියැවිණි. මිලින්ද සිරිවර්ධන ඊට පසු පන්දුවේදීම ක්‍රීඩාගාරය වෙත හරවා යැවිණි. ජෙෆ්රි වැන්ඩර්සේ නවවැනි කඩුල්ල වශයෙන් දැවීයනවිට ලකුණු තත්ත්වය දැක්වුණේ කඩුලු නවයක් දැවී ලකුණු 245කි. අවසන් කඩුල්ල ලෙස හතළිස් හතරවැනි පන්දුවාරයේ තෙවැනි පන්දුවේදී සුරංග ලක්මාල් දැවී ගියේය.ලකුණු සාරාංශය

දකුණු අප්‍රිකාව 338 (කඩුලු 7ක් දැවී) (ෆැෆ් ඩු ප්ලෙසිස් 88, හෂිම් අම්ලා 65, රැසල් වැන්ඩර් ඩුසේන් 40, ඇන්ඩිල් පෙලුන්ක්වායෝ 35, ඩ්වේන් ප්‍රිටොරියස් (නොදැවී)25, ක්‍රිස් මොරිස් (නොදැවී) 26, සුරංග ලක්මාල් 2/63, නුවන්න ප්‍රදීප් 2/77, ඉසුරු උදාන 1/42, ජීවන් මෙන්ඩිස් 1/45,ධනංජය ද සිල්වා 1/44)

ශ්‍රී ලංකාව 251 (පන්දුවාර 43.3) (දිමුත් කරුණාරත්න 87, ඇන්ජලෝ මැතිව්ස් 64, කුසල් මෙන්ඩිස් 37, ජීවන් මෙන්ඩිස් 18, ඇන්ඩිල් පෙලන්ක්වායෝ 4/36, ලුන්ගි එන්ගිඩි 2/12, ඉම්රාන් තහීර් 1/31, ඩ්වේන් ප්‍රිට්‍රෝරියස් 1/34, ජේ.පී. ඩුමිනි 1/27, කගිසෝ රබාඩා 1/40)

ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය ඔස්ට්‍රේලියානු පිලට ලකුණු 13ක ජයක්

වසරක දඬුවම් කාලයකින් පසු ජාත්‍යන්තර පිටියට පිවිසි ස්ටීව් ස්මිත් රැස්කළ ශතකයත් සමඟින් සත්කාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 13කින් ජයගැනීමට ඔස්ට්‍රේලියාව සමත්විය. තරගය පසුගිය 25වැනි සෙනසුරාදා පැවැත්වුණේ සදම්පටන්හි හැම්ප්ෂයර්හිදීය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීමේ වාරය තමන් වෙත පවරා ගැනීම එංගලන්ත නායකයාගේ තීරණය විය. ඒ අනුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු පිලේ පළමු කඩුල්ල වශයෙන් ඒරන් පින්ච් දැවී ගියේය. ඉන් අනතුරුව හිටපු උපනායක ඩේවිඩ් වෝනර් සහ ෂොන් මාර්ෂ් එක්ව ඔස්ට්‍රේලියානු ඉනිම ස්ථාවර කිරීම ආරම්භ කළ අතර වෝනර් අතරමඟ දැවී යද්දී ඔහු ලකුණු 43ක් ලකුණු පුවරුවට එක්කර තිබිණි. ෂෝන් මාර්ෂ් ද විසිතුන් වැනි පන්දුවාරයේදී සිය වගකීම අතහැර දැම්මේය. ඒ වනවිට පිටියට එක්ව සිටි ස්ටීවන් ස්මිත් මනා සංයමයෙන් යුතු එහෙත් ප්‍රවේගකාරී යැයි කිවිය හැකි ඉනිමක් ගොඩනංවමින් සිටි අතර ඔහුට උෂ්මාන් කවාජාගෙන් අනගි සහයක් හිමිවිණි. කව්ජා ලකුණු 31කට දැවී යද්දී පන්දුවාර 35.5ක් යැවීමට එංගලන්ත පන්දුයවන්නෝ සමත්ව සිටියහ.

හතළිස් තුන්වැනි පන්දුවාරයේදී මාර්කස් ස්ටොයිනිස්ගේ කඩුල්ල අහිමිවිය. ඉන් අනතුරුව ඇලෙක්ස් කැරී විසින් ස්මිත්ට අනගි සහයක් ලබාදී ලකුණු 30කට දැවී ගියේය.පසුව දැවී ගියේ නේදන් කෝලටර් නීල් ගේ කඩුල්ලයි. එවිට ලකුණු පුවරුව කියැවුණේ පන්දුවාර 48.4ක් තුළ කඩුලු හතක් දැවී ලකුණු 283ක් වශයෙනි. අනතුරුව අවසන් පන්දුවාරයේ පස්වැනි පන්දුවේදී ලකුණු 116ක් රැස්කර සිටි ස්මිත්ගේ ඉනිම අවසන් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සත්කාරක එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ජේම්ස් වින්සි ලකුණු 64ක් රැස්කළේය. ජොස් බට්ලර් ලකුණු 52ක් රැස්කළේ පන්දු 31ක් පමණක් වැයකරමිනි. ක්‍රිස් වොඑක්ස් ලකුණු 40ක් රැස්කරනු ලැබුණේය. එහෙත් ඒ කිසිදු ඉනිමක් ජයග්‍රහණයට තරම් ප්‍රමාණවත් වූයේ නැත. පන්දුයැවීමේදී ජේසන් බ්‍රෙන්ඩ්‍රොප් සහ කේන් රිචර්ඩ්සන් කඩුලු 2 බැගින් දවාලූහ. නේදන් කෝල්ටර්නීල්, ඇඩම් සම්පා, නේදන් ලයන්, මාර්කස් ස්ටොයිනිස් එක් කඩුල්ල බැගින් දවාලූහ.

ලකුණු සාරාංශය

ඔස්ට්‍රේලියාව 297/9 (ස්ටීවන් ස්මිත් 116, ඩේවිඩ් වෝනර් 43, උස්මාන් කවාජා 31, ෂෝන් මාර්ෂ් 30, ඇලෙක්ස් කැරී 30, ලියම් ෆ්ලන්කඩ් 4/69, ටොම් කුරාන් 1/54, මාර්ක් වුඩ් 1/19, ලියම් ඩෝසන් 1/50)

එංගලන්තය (පන්දුවාර 49.3කදී සියලු දෙනා දැවී) 285 ( ජේම්ස් වින්සි 64, ජොස් බට්ලර් 52, ක්‍රිස් වොඑක්ස් 40, ජේසන් රෝයි 32, ජේසන් බ්‍රැන්ඩ්‍රොප් 2/43, කේන් රිචර්ඩ්සන් 2/51)

නවසීලන්තය සහ ඉන්දියාව නවසීලන්ත කණ්ඩායමට කඩුලු 6ක පහසු ජයක්

මෙම තරගය පසුගිය සෙනසුරාදා ලන්ඩන් ඕවල් පිටියේ පැවැත්විණි. කාසියේ වාසිය හිමිකරගත් ඉන්දීය නායකයා වඩාත් ධනාත්මක වෙමින් පන්දුවට පහරදෙන බව තීරණය කළේය. ඒ අනුව ලකුණු අතරට පිවිසීමට සමත්වූයේ රවීන්ද්‍ර ජඩේජා පමණි. ඒ හයේ පහර දෙකක් සහ හතරේ පහර හයක් සමඟින් අර්ධ ශතකයක් රැස්කරමිනි. සෙසු පිතිකරුවන් අතර ලකුණු 30ක් රැස්කිරීමට සමත්වූයේ හර්දික් පාන්ඩේ පමණි. ඒ අනුව පන්දුවාර 39.2ක් තුළ සියලු දෙනා දැවී ඔවුහු ලකුණු 179ක් රැස්කළහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත පිල පන්දුවාර 37.1 කදී ජයග්‍රාහී සීමාව පසුකර ගියහ. කේන් විලියම්සන් ලකුණු 67ක් රැස්කිරීමට සමත්විය. රොස් ටේලර් ලකුණු 71ක් රැස්කළේය.

ලකුණු සාරාංශය

ඉන්දියාව 179(පන්දුවාර 39.2 කදී) (රවීන්ද්‍ර ජඩේජා 54, හර්දික් පාණ්ඩේ 30,කුල්දිප් යාදව් 19,ට්‍රෙන්ට් බෝල්ට් 4/33, ජිමී නිෂාම් 3/26, කොලින් ඩි ග්‍රැන්ඩ්හෝම් 1/12, ලොකී ෆර්ගියුසන් 1/33, ටිම් සවුති 1/26)

නවසීලන්ය 180/4( පන්දුවාර 37.1ක් තුළ) ( රොස් ටේලර් 71, කේන් විලියම්සන් 67, මාර්ටින් ගප්ටිල් 22, ජස්ප්‍රිට් බුම්රා 1/2, හර්දික් පාන්ඩේ 1/26, යුස්වේන්ද්‍ර චාහල් 1/37, රවීන්ද්‍ර ජඩේජා 1/27)

මාතෘකා