ශ්‍රී ලංකා 19න් පහළ පිල ජය ගනී

 ඡායාරූපය:

ශ්‍රී ලංකා 19න් පහළ පිල ජය ගනී

ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ පිල සහ සංචාරක පාකිස්තානු අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර ඊයේ (26) හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 26ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ පිල සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 235ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන අවුරුදු 19න් පහළ පිල පන්දුවාර 47.3කදී සියලුදෙනා දැවී රැස්කරගැනීමට හැකිවූයේ ලකුණු 208ක් පමණි. ශ්‍රී ලංකා පන්දුයවන්නන් අතරින් වඩා සාර්ථක වූ සුධීර තිලකරත්න කඩුලු තුනහක් දවාලූ අතර නවෝද් පරණවිතාන කඩුලු 2කට හිමිකම් කීය. සංචාරක පාකිස්තාන අවුරුදු 19න් පහළ පිල වෙනුවෙන් ආරම්භක පිතිකරු හයිදර් අලී ලකුණු 51 රැස්කර සිටියදී දුවද්දී දැවී ගියේය. ලකුණු අතරට පැමිණි සෙසු පිතිකරුවා වූ රොහේල් නෂීයර් දුවද්දී දැවී ගියේ ලකුණු 47කටය. ෂයිම් අයුබ් ලකුණු 31කට දැවී ගියේය.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා නායකයා තීරණය කළේය. ඒ අනුව නියමිත පන්දුවාර පනහ අවසානයේ ඔවුහු කඩුලු නවයක් දැවී ලකුණු 234ක් රැස්කළ අතර ආරම්භක පිතිකරු යුගලය වන නවෝද් පතිරණ සහ කමිල් මිෂාර එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 122ක සාර්ථක සම්බන්ධතාවයක් ගොඩනැගූහ.

පළමු කඩුල්ල වශයෙන් නවෝද් පතිරණ දැවී ගියේ ලකුණු 54ක් ලබා සිටියදීය. ඉන්පසු මිෂාර හා දෙවැනි කඩුල්ල වෙනුවෙන් එක්වූ මොහොමඩ් ෂමාෂ් ඉනිම ගොඩනැගීමට උත්සුක වුවද මිෂාරගේ කඩුල්ල ලකුණු 65කට දවා ගැනීමට සංචාරකයන් සමත්විය.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව 234/9 ( කමිල් මිශාර 65, නවෝද් පතිරණ 54, මොහොමඩ් ෂමාෂ් 42, නිපුන් ධනංජය 21, මොහොමඩ් තහා 2/27, මොහොමඩ් වසීම් 2/28, මොහොමඩ් ජුනයිඩ් 2/47, සයීම් අයුබ් 1/27)

පාකිස්තානය

(හරිඩර් අලි 51, රොහාලි නෂීර් 47, මොහොමඩ් තහා 36, සයිම් අයුබ් 31, සුධීර තිලකරත්න 3/48, නවෝද් පරණවිතාන 2/31, දිනේෂ් මධුශංක1/34. , අශේන් ඩැනියෙල් 1/30)

මාතෘකා