ශ්‍රී ලංකාව සාර්ථක වන්නට නම් පළමුව දිමුත් ලකුණු අතරට ආ යුතුයි : මුත්තයියා මුරලිදරන්

 ඡායාරූපය:

ශ්‍රී ලංකාව සාර්ථක වන්නට නම් පළමුව දිමුත් ලකුණු අතරට ආ යුතුයි : මුත්තයියා මුරලිදරන්

ලොව වැඩිම ටෙස්ට් කඩුලු දවාගත් පන්දුයවන්නා වනුයේ ශ්‍රී ලංකාව බිහිකළ සුපිරි පිට දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ය. පසුගිය කාල වකවානුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුවූ නැගීම් මෙන්ම දැවැන්ත ඇදවැටීම් සම්බන්ධයෙන් සංවේදී වූවකු ලෙසද මුරලිදරන් දැක්විය හැකිය. ඔහු පසුගිය කාලයේ ගතකළේ ඉන්දියාවේය. ඒ ඉන්දියාවේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරුවා වශයෙනි. ඔහුගේ කණ්ඩායම අවසන් තරගය දක්වා පැමිණීමට සමත්වූ නමුත් අවසන් පන්දුවේදී පරාජයට පත්වූයේ ශ්‍රී ලංකාව බිහිකළ තවත් සුපිරි වේග පන්දුයවන්නකු වන ලසිත් මාලිංගගේ අසම සම පන්දුයැවීමක ප්‍රතිඵල වශයෙනි. මාලිංග ක්‍රීඩාකළ කණ්ඩායමේ පුහුණුකරුවා වූයේද තවත් ශ්‍රී ලාංකිකයකු වූ මහේල ජයවර්ධනයි. මේ එම අයි.පී.එල්. තරග පැවැත්වෙන කාල සීමාව තුළ ඉන්දියාවේ මාධ්‍ය ආයතනයක් සමඟ මුරලිදරන් පැවැත්වූ සාකච්ඡාවකි.

 

 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වශයෙන් දිමුත් කරුණාරත්නගේ පත්කිරීම ඔබ කොහොමද තක්සේරු කරන්නෙ? එය ලෝක කුසලාන තරගාවලියට පෙර සිදුකළ සුවිශාල වෙනස් කිරීමක්. ඔහුට කණ්ඩායම ඉදිරියට රැගෙන යන්න හැකිවේවි කියා ඔබ හිතනවාද?

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය ගැන විවේචනාත්මකව කිසිවක් කියන්න මට අවශ්‍ය නෑ. නමුත් පසුගිය අවුරුදු දෙක තුන තුළ සිද්ධ වෙච්ච දේවල් දිහා බලාගෙන සිටිද්දී අපි නිවැරදි දිශාවට යනවා කියලා මම හිතන්නෙ නෑ. එක එක මිනිස්සු ඇවිත් ක්‍රිකට් පාලනය අත්පත් කරගත්තා. නායකයෝ වෙනස් වුණා. නමුත් අපේ ක්‍රීඩකයෝ ලකුණු අතරට පැමිණියේ නැහැ. ඔවුන්ගේ විශ්වාසය තහවුරු කරගත්තේ නෑ. අපේ ක්‍රමවේදයන් ක්‍රීඩකයන්ව නිර්මාණය කරන්න ප්‍රමාණවත් තරම් දේවල් නොකළ බවයි මගේ හැඟීම. පළමුව නිවැරදි පුහුණු සැලැස්මක් හදාගන්න අවශ්‍යයි. යළි කණ්ඩායම හදාගන්න අවශ්‍ය නම් ලෝක කුසලානයෙන් පස්සෙවත් ඔවුන් මෙය සිදුකළයුතුයි.

 ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ හිටපු දැවැන්තයන් මේ පරිපාලන අර්බුදයන් විසඳ ගන්න උපකාර කරන්නෙ නැද්ද? උදාහරණයකට කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන සහ ඔබ වගේ අය?

මේ තත්ත්වය වෙනස් කරන්න මහේල ඔහුගේ උපරිමයෙන් උත්සහ කළා. නමුත් එය සාර්ථක වුණේ නැහැ. ඉතින් නිස්කාරණේ ඒ වගේ උත්සහයක් ගන්න මම සූදානම් නෑ. ක්‍රිකට් බලධාරීන් ක්‍රියාකරන්නෙ ඔවුන්ට අවශ්‍ය විදිහටයි. යථාර්ථය වෙන්නෙ අපි පරිපාලනයෙන් පරිබාහිර පුද්ගලයෝ කියන එකයි. අපිට මෙම ක්‍රමය ඇතුළෙ මේවා වෙනස් කරන්න අවශ්‍ය බලය අහිමියි.

 ආසියානු කලාපීය රටක් දකුණු අප්‍රිකාව තුළ ටෙස්ට් තරගාවලියක් ජයගත්ත පළමු අවස්ථාව ශ්‍රී ලංකාව හිමිකරගත්තා. එය කණ්ඩායම ලැබූ ජයග්‍රහණයක් නොවෙයිද?

ඔව්. ඒක විශිෂ්ට ජයග්‍රහණයක්. නමුත් ඔවුන්ගෙ සම්පූර්ණ වාර්තාව දිහා බලන්න. තරගවලින් සියයට අනූවක්ම පරාජය වෙනවා නම් කලාතුරකින් තරගයක් ජයගන්න එක ප්‍රමාණවත් නැහැ.

 ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් සහ ක්‍රීඩා සමාජාන්තර ක්‍රිකට් තිබෙනවා. ඒ ආකාරයෙන් පැවැත්වෙන ක්‍රිකට් තරගවලින් තමයි ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් එක් කරන්නෙ. ඒ ක්‍රමවේදය දැන් ක්‍රියාත්මක නැද්ද?

ලෝකයේම ක්‍රිකට් ව්‍යූහය වෙනස් වෙලා. තවදුරටත් පාසල් සහ ක්‍රීඩා සමාජාන්තර ක්‍රිකට් සංස්කෘතිය ජාතික කණ්ඩායමකට ක්‍රීඩකයන් සොයාදෙන ප්‍රධාන මාර්ගය ලෙස සැලකෙන්නෙ නෑ. අපිට හොඳ පළමු පෙළ ක්‍රිකට් ව්‍යුහයක් අවශ්‍ය වෙනවා.

 අර්ජුන රණතුංග වගේ නායකයකු නිර්මාණය කරන්න ශ්‍රී ලංකා ක්‍රිකට් අසමත් වුණාද? එයට ව්‍යතිරේකයක් හැටියට දැන් සලකන්නෙ දිමුත්වයි. ඔහු හොඳ ක්‍රීඩකයෙක් බව ඇත්ත. නමුත් ලෝක කුසලාන කණ්ඩායමක් මෙහෙයවීම වගේ පැත්තෙන් බලද්දී...

ඔබ අහන දේ සාධරණයි. මම ඒ දේ දකින්නේ තවත් ආකාරයකටයි. දිමුත් ශක්තිමත් නායකයෙක්ද නැද්ද කියා මට අවබෝධයක් නෑ. මොකද මම දිමුත්ගේ නායකත්වය තවම දැකලා නැති නිසා. ඔහු කණ්ඩායම මෙහෙයවන ආකාරය මම ප්‍රමාණවත් තරම් දැක නැහැ. අහම්බෙන් වගේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී ඔහුට කණ්ඩායම මෙහෙයවන්න අවස්ථාව උදාවුණා. දැන් ඔහුට එක්දින තරග වෙනුවෙන් වෙනසක් කරන්න අවස්ථාව ලැබිලා තිබෙනවා. නමුත් මේ තරග වර්ග දෙක අතර විශාල වෙනසක් පවතින බව අප අවබෝධ කරගත යුතුයි. හරි ඔහු දැන් නායකයා. නමුත් ඔහු පළමුව ලකුණු රැස්කළ යුතුයි. එතැනදී පිතිකරුවකු වශයෙන් සාර්ථක වෙන්න ඔහු අසමත් වෙනවා නම් ඔහු නිතැතින්ම දුර්වල නායකයකු බවට පත්වෙනවා. හැබැයි අලුත් මුහුණකට බොහෝ නැවුම් දේ කරන්න හැකියාවක් තිබෙනවා කියන එකත් අමතක නොකළ යුතුයි.

 ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහගේ භූමිකාව ගැන මොකද හිතන්නෙ?

මට හිතෙන්නෙ සමහර ක්‍රීඩකයන් සමඟ ඔහුට ප්‍රශ්න තිබෙනවා. මම දන්නෙ නෑ ඒවා කටකතාද නැද්ද කියලා. නමුත් ඔහුට පුහුණුකරු වශයෙන් කණ්ඩායම එකට තියාගන්න බැරි නම් ඒක ඔහුගේ නොහැකියාව. මෙතැනදී මම එක දෙයක් කියන්න කැමතියි. ඒ තමයි ශ්‍රී ලංකාව පිටියේ එළියට එන්නෙ කණ්ඩායමක් වශයෙනුයි. ඒ අවස්ථාවේ ඔවුන්ට එක්ව කටයුතු කරන්න බැරි නම් ඒක ගැටලුවක්. මම ඔවුන්ට දෙන එකම උපදේශය තමයි තනි තනිව ක්‍රීඩා කරන්න යන්න එපා කියන එක.

මාතෘකා