ක්‍රිකට් රස ලොවට බෙදීමේ බලපත 24 දෙනකු අත

 ඡායාරූපය:

ක්‍රිකට් රස ලොවට බෙදීමේ බලපත 24 දෙනකු අත

අයි.සී.සී. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් පැවැත්වෙන මෙවර සටන වඩාත් සංකීර්ණ මුහුණුවරක් ගන්නට ඇති අවකාශය වඩාත් ඉහළය. ඊට වෙසෙසින් ඉවහල්ව ඇත්තේ අවසන් වරට ලෝක කුසලානයක් පවත්වා වසර හතරකට පසුව මෙම තරගාවලිය පැවැත්වෙද්දී ලෝකය තුළ සන්නිවේදන තාක්ෂණයේ ඇතිවී ඇති නව්‍ය වෙනස්කම්ය. දැන් ක්‍රිකට් තරගයක් ගෙදර සිට නැරඹීමේදී එය ක්‍රීඩාංගණයකට ගොස් සජීවීව නැරඹීමට වඩා දස දහස් ගුණයකින් දියුණු හා ගත උණුසුම දනවන බව නොරහසකි.

ඊට ඉවහල්ව ඇති අනෙක් කාරණය වනුයේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් එක්ව තිබෙන නව්‍ය සැලසුම් සම්භාරයය. මේ සියලු නව්‍ය සැලසුම් හා තාක්ෂණය සමඟින් එන 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එසැණින් ලොව පුරා විකාශය කිරීමට ලොව ප්‍රබල රූපවාහිනී විකාශන සමාගමක් දැනටමත් සැලසුම්කර අවසන්ය. එය එම රූපවාහිනිය ඔස්සේ ලබාගන්නා විකාශන අයිතිය ප්‍රකාරව ලොව පුරා ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් රූපවාහිනී තිරමත පෙළගැස්වීමට බොහෝ රූපවාහිනී ආයතන ඉදිරිපත්ව සිටී.

එවැනි අසමසම උණුසුමක් සහිත 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබඳ සජීවී කථනයන් ඉදිරිපත් කිරීමේ අවසරය ඇත්තේද ක්‍රිකට් විස්තර කථකයන් 24 දෙනෙකුට පමණි. ඒ තරගාවලියේ රූපගතකිරීම් හිමිකරගෙන ඇති රූපවාහිනී විකාශන ආයතනය විසින් නම්කර ඇති විස්තර විචාරකයන්ටය. ඒ පිරිස අතරට ශ්‍රී ලංකාව බිහිකළ සුපිරි පිතිකරුවකු සහ නායකයකු වූ කුමාර් සංගක්කාර ද ඇතුළත්ය.

අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනය විසින් මෙම විස්තර විචාරකයන් කවුරුන්ද යන්න පසුගිය මැයි 16දා නිවේදනය කරනු ලැබිණි. ලොව පුරා බිලියනයකට අධික ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ඇමැතීමේ සෘජු අවස්ථාව ඒ අනුව එකී විස්තර කථකයන්ට හිමිවනු ඇත.

අයි.සී.සී. ලෝක ශූරතාවක් ජයගත් ආසන්නම කණ්ඩායම ලෙස ගැනෙන ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයකුද මෙම විස්තර විචාරකයන් අතරට එක්ව සිටී. ඔහු මයිකල් ක්ලාක්ය. ක්ලාක් මෙවර ලෝක කුසලාන විස්තර කථනයට එක්වන්නේ සිය පළමු ලෝක කුසලාන විචාරය වශයෙනි.

මෙම විස්තර විචාරයේ යෙදෙන කණ්ඩායමට මයිකල් ක්ලාක්, නසාර් හුසේන්, ඉයන් බිෂොප්, සව්රව් ගංගුලි, මෙලනි ජෝන්ස්, කුමාර් සංගක්කාර, මයිකල් ඇතර්ටන්, ඇලිසන් මිචෙල්, බ්‍රෙන්ඩන් මැකලම්, ග්‍රැහැම් ස්මිත්, වසීම් අක්‍රම්, ෂෝන් පොලොක්, මයිකල් ස්ලේටර්, මාර්ක් නිකොලොස්, මයිකල් හොල්ඩින්ග්ස්, ඉසා ගුආ, පුමී මබන්ග්වා, සංජේ මන්ජේකාර්, හර්ෂා බොග්ලේ, සයිමන් ඩූල්, ඉයන් ස්මිත්, රමීෂ් රාජා, ආතර් අලී ඛාන්, ඉයන් වාර්ඩ් ඇතුළත්ය.

මෙවර එංගලන්තය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වන ලොව ප්‍රකට ක්‍රිකට් විචාරකයකු වන හිටපු එංගලන්ත ක්‍රිකට් නායක නසාර් හුසේන් තරගාවලිය සම්බන්ධයෙන් පවසා ඇත්තේ එහි උණුසුම තදින් දැනෙමින් ඇති බවය. මැයි මාසයේ අගදී ඇරඹෙන ක්‍රිකට් වසන්තයට මුහුණ දීමට සමස්ත එංගලන්ත ජනතාවම සිටිනුයේ දැඩි උනන්දුවෙන් බව ඔහු ප්‍රකාශ කර ඇත. ‘මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වඩාත් ආකර්ශනීය තරගාවලිය බවට පත්වෙනවා. ඒක අනිවාර්යයි. මේ සුවිශේෂත්වය ඇසින් දැක සාක්ෂිකරුවකු වනතෙක් ඉන්න බැරිනිසා මට එය දැන්ම ප්‍රකාශ කළ යුතුයි’ යැයි පවසා තිබේ.

කුමාර් සංගක්කාර ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ විශිෂ්ටතම අයි.සී.සී. ක්‍රිකට් තරගාවලිය සංවිධානය වනු ඇත්තේ මෙවර බවයි. ‘එංගලන්ත කණ්ඩායමත් ඉතාමත් හොඳයි. ඒ වගේම අපිට ඉතාම විශිෂ්ට තරගාවලියක් දැකගැනීමට අවස්ථාව උදාවේවි‘ යැයි සංගක්කාර ප්‍රකාශකර ඇත.

ලෝක කුසලාන තරග විකාශය හා එක්වන පාකිස්තානයේ හිටපු සුපිරි වේග පන්දුයවන ක්‍රීඩක වසීම් අක්‍රම් පවසා ඇත්තේ මෙවර ලෝක කුසලානය 1992 ලෝක කුසලානයේම අනුරුවක් බවයි. ‘ඒ තරග ක්‍රමවේදය අපූරුයි. ඕනෑම කණ්ඩායමකට අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට අවස්ථාවක් නිර්මාණය කර තිබෙනවා. මෙවර තරගාවලියේදී අපිට හොඳ තරගකාරිත්වයක් දැකගැනීමට අවස්ථාව උදාවෙන බව විශ්වාසයි’ යනුවෙන් ඔහු පවසන්නේ එහෙයිනි.

මේ අනුව දින හතළිස් හයක් පුරා දිග හැරෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග හතළිස් අටේ විස්තර කථනයට දායක වන්නට මෙම කණ්ඩායම අයි.සී.සී.යෙන් භෞතිස්ම ලැබ ඇත. අවම වශයෙන් කැමරා කෝණ 32ක් ඔස්සේ සියලු තරග විකාශය කිරීමට කටයුතු යොදාතිබීම එහි ඇති තවත් විශේෂත්වයකි. ‘උකුසු ඇස්’ කැමරා ලෙසින් කටයුතු කරන අධෝරක්ත චලනයන් පරීක්ෂා කළ හැකි කැමරා අටක්ද ඊට අැතුළත්ය. ඉදිරිපස හා පසුපස දර්ශනයවන කඩුලු කැමරා මෙන්ම ස්පයිඩර් කැමරා වලින් විකාශන කටයුතු සංයුක්ත කර ඇතැයි දැනටමත් තරග විකාශය කරනු ලබන ආයතනය පවසා තිබේ.

ඉතා සියුම් පරීක්ෂණ සිදුකළ හැකි ආකාරයෙන් කැමරා පද්ධතියක් යොදාගන්නා හෙයින් මෙවර තරගාවලියේ තීරණාත්මක අවස්ථාව මැණවින් විසඳීමේ අවස්ථාව තෙවැනි විනිසුරුට හිමිවන්නාසේම විස්තර විචාරකයන්ටද ස්වකීය මතවාදය ප්‍රේක්ෂකයන් අතරට රැගෙන ඒමට හැකියාව උදාකර දෙයි. ඊට අතිරේකව ඩ්‍රෝන වර්ගයේ කැමරා පද්ධතියක පහසුකම් සලසා ගැනීමටද අයි.සී.සී.ය කටයුතු කර ඇත්තේ සියලු ක්‍රීඩාංගණයන්ගේ දර්ශන ඉහළ අහසේ සිට ලබාගත හැකිවන පරිද්දෙනි. ඊට අමතරව ක්‍රීඩාංගණ මට්ටමේ සිට වීඩියෝ දර්ශන ලබාගත හැකි පරිදි කැමරා පද්ධතියකින්ද මෙවර තරගාවලිය සංයුක්තය. මේ සියලු කරුණ සලකා බලන කල අයි.සී.සී. ලෝක කුසලානය ලොව පුරා විකාශය කිරීම අති සියුම් හා විශිෂ්ට තාක්ෂණයෙන් යුක්ත වන බව නොඅනුමානය.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා